Home » Blog » බස යෙදෙන අයුරු

බස යෙදෙන අයුරු

by thanushika
0 comments

නාම පදයි ළමා කවියයි

නාම පද

“සප්‍රාණික සියලුම සතුන් හා අප්‍රාණික සියල්ල හැඳීන්වීමට භාවිත වන නාම” නාම පද ලෙස නිර්වචනය කළ හැකි ය.

පුද්ගලයකු, තැනක්, දෙයක්, පිළිබඳ අර්ථයක් දෙන පද නාම පද වශයෙන් හැඳීන්විය හැකි ය.

නාම පද වර්ග කිහිපයක් තිබේ.

ප්‍රාණවාචී නාම පද සහ අප්‍රාණවාචී නාම පද වශයෙන් ද නාම පද වර්ග කළ හැකි වේ.

ප්‍රාණවාචී නාම පද යටතෙහි පුද්ගල නාම පද, සත්ත්ව නාම පද එක් වේ. අප්‍රාණවාචී නාම පද යටතෙහි ද්‍රව්‍ය නාම පද, ස්ථාන නාම පද එක් වේ. ගුණ නාම පද වශයෙන් ද නාම පද වර්ගයක් තිබේ.

සිංහල භාෂාවෙහි ඇති පද අතරින් ඉතා විශාල සංඛ්‍යාවක් ඇති පද වර්ගය වන්නේ නාම පදයි.

වලාකුළේ

පුංචි පුංචි වලාකුළේ
කොහෙද යන්නෙ වලාකුළේ
පාවි පාවි අහස් තලේ
කොහෙද යන්නෙ වලාකුළේ

සුදු පාටයි හුරුබුහුටියි
පුළුන් වගේ අපට පෙනෙයි
වැහි දවසට කළු පාටයි
පායන විට නිල් පාටයි

වැහි බිංදුත් අපට ගෙනෙයි
හිම පියලිත් බිමට දමයි
සුළං සමඟ පාවී යයි
වලාකුළේ ගමන් හැඩයි

රටක් වගේ විටෙක පෙනෙයි
බැටළුවකුගෙ රුවක් මවයි
නෙක නෙක හැඩ අපට මවයි
වලාකුළේ ඔබ කදිමයි

මෙම කවියෙන් හමු වූ නාම පද

වලාකුළ – ද්‍රව්‍ය නාම පද

අහස් තලේ – ස්ථාන නාම පද

පුළුන් – ද්‍රව්‍ය නාම පද

වැහි බිංදු – ද්‍රව්‍ය නාම පද

හිම පියලි – ද්‍රව්‍ය නාම පද

බැටළුවා – සත්ත්ව නාම පද

හුරුබුහුටි – ගුණ නාම පද

පුංචි – ගුණ නාම පද

පිරුළක් සැදුණු හැටි

සිංහ හම පොරවාගත් බූරුවා වගේ

තැනට හෙවත් අවස්ථාවට ගැළපෙන ආකාරයට විශාල අර්ථයක් ප්‍රකාශ කිරීම වෙනුවට කෙටි වැකියක් යොදාගැනීම සිංහල භාෂාවේ බහුලව සිදු කරනු ලැබේ. මෙය ප්‍රස්තාව පිරුළු ලෙස හඳුන්වයි. ”සුදුසු අවස්ථාවට ප්‍රයෝජන ලබා ගැනීම සඳහා අනුන්ගෙන් ලබා ගත් වැකි” යන තේරුම ද ප්‍රස්තාව පිරුළු හැඳීන්වීමට යෙදිය හැකි ය . මෙම පිරුළු ඇතැම් විට උපහාසාත්මක ප්‍රකාශ ඉදිරිපත් කිරීමට ද යොදාගනී. මෙම ප්‍රස්තාව පිරුළු බොහොමයක් බිහිවීමට පසුබිම් වූ ජන කතන්දර ද තිබේ. අද අපි “සිංහ හම පොරවාගත් බූරුවා වගේ” යන ප්‍රස්තාව පිරුළට පසුබිම් වූ ජන කතන්දරය හඳුනා ගනිමු.

එක්තරා ගමක ගොවියකුට අයිතිව බූරුවෙක් සිටියා. එක දවසක් මේ බූරුවා කෑම සොයමින් කැලෑවේ ඇවිද ගියා. එහෙම ඇවිදගෙන ගිය බූරුවාට කෑලෑවේ වැටී තිබී මිය ගිය සිංහයකුගේ හමක් හමු වුණා.

“මගේ මේ බූරු හමට වැඩිය හොඳයිනේ මේ බූරු හම” එසේ සිතූ බූරුවා සිංහ හම පොරවා ගත්තා.

ඊට පස්සේ මේ බූරුවා දිය කඩිත්තක් ළඟට ඇවිදගෙන ගියා. දිය කඩිත්තේ පැහැදිලි වතුරෙන් බූරුවාට තමන්ගේ ඡායාව පෙනුණා. සිංහ හම නිසා තමන්ට වෙනදාට වඩා තේජාන්විත පෙනුමක් ලැබී ඇති බව බූරුවාට පෙනුණා.

“මට මේ සිංහ හමෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් වේවි” එසේ සිතූ බූරුවා සිංහ හම දමාගෙනම කැලෑවේ ඇවිද ගියා. සිංහ හමට රැවටුණු ගොඩක් සත්තු සිතුවේ මේ ඉන්නේ ඇත්තටම සිංහයෙක් කියලයි. මේ නිසා මුවන්, ගොනුන්, කොටියන්, වලසුන් ආදී බොහෝ සතුන් සිංහ හම පොරවාගත් බූරුවා දැක බිය වී පලා ගියා.

බූරුවා එයින් දැඩි සතුටක් ලැබුවා. මෙසේ ඇවිද ගිය බූරුවා, ගව රංචුවක් තණකොළ බුදිමින් සිටින තණ පිට්ටනියකට ළඟා වුණා.

“ඔන්න සිංහයෙක්” කියා බියපත් වූ ගවයන් ඈතට දිව ගියා. මේ අතරේ ගොවියා, බූරුවා සොයමින් කැලෑව දෙසට ආවා. ගොවියා දුටු බූරුවා ඔහුවත් රවටා බිය කරන්න සිතුවා.

ඉතින් බූරුවා ගොවියා ඉදිරියට පැන සිංහයකු මෙන් ගොරවන්නට උත්සාහ කළා.

ඒත් ගොවියා බය වුණේ නැහැ. ගොවියා සිංහ හමට යටින් සැඟවුණු බූරු කන් දෙක දුටුවා.

“ආ මේ ඉන්නේ මගේ සිංහ බූරු පැටියා” එහෙම කියලා ගොවියා අතේ තිබුණු කෝටුවෙන් බූරුවාට පහරක් ගැසුවා. එවිට බූරුවා සුපුරුදු බූරු හඬින් කෑගසන්න පටන් ගත්තා.

“සිංහ හම පොරවා ගත්තත් උඹ තවම අර මෝඩ බූරු පැටියාම තමයි” එහෙම කියමින් ගොවියා හිනා වුණා.

එදා සිට කෙනෙක් තවත් කෙනකු ලෙස ව්‍යාජව කටයුතු කරන්නට ගොස් අසාර්ථක වූ විට ගැමියන් “සිංහ හම පොරවාගත් බූරුවා වගේ” යනුවෙන් පැවසීමට පුරුදු වී සිටිනවා.

ඊසොප්ගේ උපමා කතා

නිදහසේ අගය

ගමේ බල්ලන් බොහෝ සෙයින් අවදියෙන් හා සෝදිසියෙන් සිටි නිසා කෑම ඉතා සුළු ප්‍රමාණයක් ලැබුණු වෘකයෙක් සිටියේ ය. ‌ මේ වෘකයාගේ ශරීරයේ ඇත්තටම තිබුණේ සම සහ ඇටකටු පමණයි. ඒ නිසා වෘකයා සිටියේ දැඩි ලෙස කලකිරීමෙන්.

එක් රාත්‍රියක මෙම වෘකයාට නිවෙසක සිට මඳක් දුරින් ඉබාගාතේ ඇවිද ගිය මහත ශරීරයක් සහිත වූ බල්ලෙක් හමු විය. වෘකයාට බල්ලාව එතැනදී කෑමට සිතුණත් බල්ලාගේ ශක්තිමත් බව දැක වෘකයා එම උත්සාහය අත්හැර දැමුවේ ය. වෘකයා, බල්ලාට ඉතා නිහතමානීව කතා කළේ ය. බල්ලාගේ කදිම පෙනුම ගැන වෘකයා, බල්ලාට ප්‍රශංසා කළේ ය. එය අසා බල්ලා මෙසේ පැවසුවේ ය. “ඔබට අවශ්‍ය නම් ඔබටත් මං වගේ හොඳීන් පෝෂණය ලබන්න පුළුවන්. ඔය කැලෑවට වෙලා ඉන්න එක අතහරින්න. ඔබ කැලෑවේ ජීවත් වනවිට ඔබට ලැබෙන සෑම ආහාර වේලක් සඳහාම ඔබ දැඩි ලෙස සටන් කළ යුතුයි. මගේ ආදර්ශය අනුගමනය කරන්න, එවිට ඔබටත් කදිම ලස්සන පෙනුමක් ලැබේවි.”

“මම මොනවද කරන්න ඕනෑ?” වෘකයා ඇසුවේ ය.

“ලොකු දේවල් කරන්න ඕනෑ නැහැ” බල්ලා පිළිතුරු දුන්නේ ය. “යාචකයන්ට බුරන්න ඕනෑ. ගෙදර අයට හිංසා කරන්න එන අයව ලුහුබඳීන්න ඕනෑ. සොරුන්ව පන්නා දමන්න ඕනෑ . ඒ වෙනුවට ඔබට සෑම ආකාරයකම රසවත් ආහාර ලැබෙනවා. කුකුල් මස් , කුකුල් මස් කටු, පැණි රස, කේක් සහ තවත් බොහෝ දේ ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි කාරුණික වචන සහ ආදරයත් ලැබෙනවා”

වෘකයාට එය අසා දැඩි සතුටක් දැනුණි. එහෙත් එක්වරම වෘකයාට බල්ලාගේ ගෙලෙහි හිසකෙස් ගැලවී ගොස් ඇති බවත් සම පැලී ඇති බවත් පෙනුණේ ය.

“මොකද්ද ඔය බෙල්ලෙ තියෙන්නෙ?”

“කිසිම දෙයක් නැහැ” බල්ලා පිළිතුරු දුන්නේ ය.

“මොනවා! මොකුත් නෑ! එහෙනම් මොකක්ද ඔය බෙල්ලේ තිබෙන සලකුණ?”

වෘකයා පුදුමයෙන් ඇසුවේ ය.

“ඔහ්, ඒක මේ සුළු දෙයක්නේ!” බල්ලා පැවසුවේ ය.

“ඒත් කරුණාකර මට කියන්න ඒ මොකක්ද කියලා”

වෘකයා පැවසුවේ ය.

“සමහරවිට මගේ දම්වැල සවිකර ඇති කොලරයේ සලකුණ වෙන්න ඇති ඔබට පෙනෙන්නේ ”

බල්ලා පැවසුවේ ය

“මොනවා! දම්වැලක්!” වෘකයා කෑගැසුවේ ය. ඒ කියන්නේ ඔයාව ගැට ගසලත් තබනවද? ඔයා කැමැති තැනකට යන්න දෙන්නෙත් නැද්ද?” වෘකයා පුදුමයෙන් ඇසුවේ ය.

“හැමදාම නෑ! සමහර දවසට සමහර වෙලාවට ගැට ගසලා තබනවා. ඒත් ඉතින් මොකක්ද ගැටලුව?” බල්ලා පැවසුවේ ය.

“මොනවා! මොකුත් නෑ!” වෘකයා නැවතත් පුදුමයෙන් ඇසුවේ ය.

“ඔහ්, මට නම් ඒ්ක සුළු දෙයක්!” බල්ලා නැවතත් පැවසුවේ ය.

” මොන තරම් රසවත් කෑම ලැබුණත් මට වැඩක් නැහැ නිදහස නැතිනම්. සිතූ වේලාවක සිතෙන තැනක ඇවිද යමින් මං කොයිතරම් නිදහසේ ඉන්නවද? මට මගේ සුපුරුදු කැලෑවේ නිදහස් ජීවිතය වටිනවා” එසේ පැවසූ වෘකයා වනාන්තරයට දිව ගියේ ය.

ආදර්ශය

නිදහස තරම් වටිනා දෙයක් තවත් නැත.

පරිවර්තනය – හර්ෂණී ගමගේ

 


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department