ලන්දේසීන්ගෙන් අපට ලැබුණු විශේෂිත දේවල්
රෝම ලන්දේසි නීතිය
රෝම ලන්දේසි නීතිය ක්‍රියාත්මක වූයේ ලන්දේසීන්ගේ පැමිණීමත් සමඟ ය. අද දිනයේදී ක්‍රියාත්මක වන්නේ මේ නීතියයි. මේ නීතිය වෙනත් ක්‍රමවේදවලට අනුව වෙනස් වුවත්, මේ නීතිය අපේ රටේ නීති කටයුතුවලදී භාවිතයට ගනු ලබයි. මේ නිසා රෝම ලන්දේසි නීතිය ලන්දේසීන්ගෙන් ලැබුණු දායාදයක් ලෙස ද සලකනු ලබයි.
ලන්දේසි සංස්කෘතියෙන් අපට ලැබුණු දායාද
මැද මිදුල් සහිත ගෘහ නිර්මාණ ශිල්පය අපේ රටට දායද කළේ ලන්දේසීන් විසිනි. රේන්ද,බෝරිච්චි, සොල්දරය, ඉස්තෝප්පුව, ඉස්කෝලය ආදී වචන ද අච්චාරු, කොකිස් වැනි ආහාර වර්ග ද අපේ සංස්කෘතියට එක් වූයේ ලන්දේසීන් ගෙනි.
කුරුඳු සම්බන්ධ නීති රීති
ලන්දේසීහු කුරුඳු වගාව බොහෝසෙයින් ප්‍රිය කළහ. මේ නිසා කුරුඳු ඉඩම්වල ජීවත් වන බොහෝ දෙනා නිශ්චිත කුරුඳු ප්‍රමාණයක් ලන්දේසි ආණ්ඩුවට ගෙවිය යුතු බවට ලන්දේසීන් තීරණ කළ බව සඳහන් වේ. මීගමුව, කළුතර, සල්පිටි කෝරලේ සහ ගාල්ල යන ප්‍රදේශවල කුරුඳු වගා කිරීමට ලන්දේසීන් තීරණය කළ බව සඳහන් වේ. කුරුඳුවලට අමතර ගම්මිරිස්, කෝපි, එනසල්, උක් වැනි භෝගයන් ද වගා කිරීමට ලන්දේසීහු කටයුතු කළහ. පසුකාලීනව මේ භෝග ලංකාවේ ආර්ථික උත්පාදන මාර්ග ලෙස යොදා ගැනීමට ද ඔවුහු ක්‍රියා කළහ.
ලන්දේසීන්ගේ පාලන ප්‍රතිපත්ති
ලන්දේසීන් ද මුලින්ම මුහුදුබඩ ප්‍රදේශ තමන්ගේ සීමාවට නතු කරගත් අතර, පසුව ඔවුන් තමන්ගේ පාලනය පහසු වන ආකාරයට ඒවා බෙදා වෙන් කරගැනීමට තීරණය කළ ආකාරය පැහැදිලිව පෙනෙන්නට තිබිණි. මේ අනුව පාලනය කිරීමේ පහසුව සඳහා කොටස් තුනකට ඔවුහු බෙදූහ.
කොළඹ කොමාන්ඩරිය
කල්පිටියේ සිට බෙන්තර දක්වා වූ කොටස හා මීගමුව, කළුතර බළකොටුව ද මල්වාන, හංවැල්ල, අඟුරුවාතොට, පිටිගල, හතර කෝරලය, සත් කෝරලය, සබරගමුවේ කොටසකට ද අයත් විය.
ගාල්ල කොමාන්ඩරිය
මාපලගම සහ කටුවාන යන ප්‍රදේශ ඇතුළත් කලාපය. කොළඹ කොමාන්ඩරය පාලනය වූයේ දිසාපතිවරයකු යටතේ ය. කුරුඳු දෙපාර්තමේන්තුව පිහිටා තිබෙන්නේ කොළඹ ය. එහි පාලන කටයුතු සිදු වූයේ දිසාපති යටතේ සිටි මහ බද්දේ කපිතාන් නම් නිලධාරියා මඟිනි.
යාපනය කොමාන්ඩරිය
මන්නාරම සිට ත්‍රිකුණාමලය දක්වා ඍජු රේඛාවක් ඇන්දොත් ඊට උතුරින් ඇති භූමි ප්‍රදේශයට අයත් වූ වන්නි ප්‍රදේශයට යාපනය හා උතුරේ කුඩා දූපත් සියල්ල ද ඇතුළත් වේ.
ශ්‍රී ලංකාව පාලනය කළ ලන්දේසි ජාතික ආණ්ඩුකාරවරු
ලංකාවේ පාලන බලය ලන්දේසීන් අතට පත් වූ වකවානුවේදී ලන්දේසි ජාතික ආණ්ඩුකාරවරු ලංකාව පාලනය කළහ. ඔවුන්ගේ නම් දැන ගැනීම සඳහා අපි ඔබට ඉදිරිපත් කරන්නෙමු.
දෙවැනි රාජසිංහ රජ සමයේ සිටි ලන්දේසි ආණ්ඩුකාරවරු
විලියම් යාකොබ් කොස්ටර් (1640 )
යන් හයිසන් පයාට් (1640 -1646)
යෝආන් මාට්සූකර් (1646 – 1652)
යාකොබ් ෆන් කිට්න්ස්ටයින් (1652 – 1653)
ආද්‍රියාන් ෆන්ඩර් මැසිඩන් (1643 – 1662)
රයිකොලොෆ් ෆන්හුන්ස් (1662 – 1663)
යාකොබ් හුස්ටාර්ට් ( 1663 – 1664)
රයිකොලොෆ් ෆන්හුන්ස් ( 1665 – 1679)
ලෝරන් පැසිලි (1679 – 1692)
දෙවැනි විමලධර්මසූරිය රජ සමයේ සිටි ආණ්ඩුකාරවරු
තෝමස් ෆන්රේ (1692- 1699 )
හෙරිට් ද හේර (1699- 1702)
කොර්නේලිස් යන් සීමොන්ස් (1703 -1707)
ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ සමයේ සිටි ලන්දේසි ආණ්ඩුකාරවරු
හෙන්ද්‍රික් බේකර් (1707- 1716)
ඉසාක් ඔගුස්ටයින් රූම්ෆ් ( 1716- 1723)
යෝහැන්ස් හොර්ටන්බර්ග් ( 1723 – 1725)
යොහාන් පාවුළු ( 1725 – 1726)
පීටර් ෆැම්ස්ටි (1726- 1729)
ස්තෙපානුස් ෆෙර්සලවස් (1729 – 1732)
දිදෙරික් ෆන් දොම්බර්ග් (1733- 1736)
ගුටායිස් විලෙම් බාරොන් ෆන් ඉම්හොස් (1736-1740)
ශ්‍රී විජය රාජසිංහ රජ සමයේ සිටි ලන්දේසි ආණ්ඩුකාරවරු
විලෙම් මොරිට්ස් බ්‍රැවනික් (1740 – 1742 )
දානියෙන් ඔෆර්බෙන් ( 1742 – 1743)
ජුලියස් ෆාලන්නැයින් ෆාන් හොලනස් (1743)
කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයේ සිටි ලන්දේසි ආණ්ඩුකාරවරු
නොරාර්ඩ් යො ආන් ෆොලාන්ඩ් (1751 – 1752)
යො ආන් හිඩ්බන් ලෝටෙස් (1752 – 1756)
යන් ගොයිඩර් (1756- 1761)
ලුබර්ටි යන් බාරොන් ෆන් එක් (1761 – 1765)
රාජාධි රාජසිංහ රජ සමයේ සිටි ආණ්ඩුකාරවරු
ඉමෙන් විලෙම් ෆල්ක් (1765 – 1785)
විලෙම් යාකොබ් ෆන්ද ග්‍රාෆ් (1785 – 1790)
යොහාන් හෙරාර්ඩ් අගල්බීක් (1794 – 1796)
උඩරට රාජධානිය තුළ පෘතුගීසි බලය පැතිරවීමේ ප්‍රයත්නයක් ලෙස ක්‍රියාත්මක කරන ලද සටන් ව්‍යාපාර හතර
දන්තුරේ සටන
1594දී පෘතුගීසි කපිතාන් ජෙනරාල් පේරෝ ලෝපෙස් ද සූසා යටතේ සිදු කළ ආක්‍රමණයේදී කුසුමාසන දේවිය උඩරට රැජන වශයෙන් පත් කරන ලදි. එහෙත් විදේශිකයන් විසින් බලයට පත් කළ තැනැත්තියක රැජන වශයෙන් පිළිගැනීමට මැළි වූ උඩරැටියෝ පළමුවැනි විමලධර්ම සූරිය රජුට සහය දුන්හ. ලෝපෙස් ද සූසාට තම හමුදාවත් සමඟ පසුබැසීමට සිදුවිය. 1594 ඔක්තෝබර් මාසයේදී දන්තුරේ වෙලේදී පෘතුගීසි හමුදාව හා උඩරැටියන් අතර මහත් ගැටුමක් ඇති විය. මෙම සටනින් පෘතුගීසි හමුදාවම විනාශයට පත් වූ අතර, ආක්‍රමණය මෙහෙය වූ පේරෝ ලෝපෙස් ද සූසා පවා මරණයට පත් විය. එහිදී කුසුමාසන දේවිය උඩරැටියන්ගේ අත්අඩංගුවට පත් වූ අතර, විමලධර්ම සූරිය රජතුමා විසින් ඇය විවාහ කරගන්නා ලදි. මේ විවාහය නිසා උඩරටට නව රාජ වංශයක් බිහි විය. උඩරට රාජධානියේ තමන්ට ගැති පාලනයක් පිහිටුවීමට පෘතුගීසින් දැරූ උත්සාහය අසාර්ථක වූයේ ඔවුන්ට අන්ත පරාජයක් අත්කර දෙමිනි. දන්තුරේ සටනින් පෘතුගීසින් පරාජය කිරීමට පළමුවැනි විමලධර්මසූරිය රජතුමාට හැකියාව ලැබුණි.
බලන සටන
පේරෝ ලෝපේස් ද සූසා මරණයට පත්වීමෙන් පසුව පෘතුගීසීන් විසින් දොන් ජෙරනිමෝ ද අසවේදු මෙරට කපිතාන් ජෙනරාල් වශයෙන් පත්කර එවන ලදි. දන්තුරේදී පෘතුගීසින් පරාජය වීමත් සමඟ එදිරිල්ලේ රාල යටතේ පහතරට ප්‍රදේශවල පෘතුගීසි විරෝධී කැරැල්ලක් ඇති විය. මේ කැරැල්ලට විමලධර්මසූරිය රජුගේ සහාය ලැබුණි. වර්ෂ 1602දී ගෝවෙන් අමතර හමුදාව ගෙන්වා ගත් අසවේදු දහස් ගණනක හමුදාවක් සහිතව උඩරට ආක්‍රමණය කළේ ය. එහෙත් පෘතුගීසි හමුදාවට ළඟා වීමට හැකි වූයේ බලන කපොල්ල දක්වා පමණි. එහිදී විමලධර්මසූරිය රජුගේ උපායක් අනුව සතුරු හමුදාව වට කළ උඩරැටියෝ පෘතුගීසීන්ට දරුණු ප්‍රහාරයක් එල්ල කළහ. එහිදී සටනට ගොස් සිටි පහත රැටියෝ ද රජුගේ පැත්තට එකතු වූහ. උඩරැටියන් එල්ල කළ ප්‍රහාර නිසා පෘතුගීසින් සැලකිය යුතු පිරිසක් මරුමුවට පත් වූ අතර, ඔවුන්ගේ අවි ආයුධ උඩරැටියන් අතට පත් විය. ඔවුහු මල්වාන හරහා කොළඹට පසු බැස්සහ. එහෙත් උඩරට සඳහා විටින් විට ආක්‍රමණ සිදුකරන ලදි.
රන්දෙනිගල සටන
මෙරට පෘතුගීසි කපිතාන් ජෙනරාල්වරයකු වශයෙන් කටයුතු කළ කොන්ස්තන්තීනු ද ඌව ප්‍රදේශය හරහා උඩරට ආක්‍රමණය කිරීම නිසා රන්දෙනිගල සටන ඇති විය. වර්ෂ 1930 ජූලි මාසයේදී 600ක පමණ පෘතුගීසි භට පිරිසකගේ සහ තවත් හාරදහස් පන්සීයක පමණ කුලී හමුදාවක් සහිතව කොන්ස්තන් තිනෝ ද සාගේ නායකත්වයෙන් මෙම ආක්‍රමණය සිදු විය. මෙහිදී බදුල්ල නගරය අල්ලා එය විනාශකර දමන ලදි. පෘතුගීසින්ට එරෙහි ප්‍රහාරය ආරම්භකර ඇත. සෙනරත් රජුගේ පුතකු වූ මහා අස්තානා කුමරු උඩරට හමුදාවට නායකත්වය සැපයුවේ ය. ශක්තිමත් වූ උඩරට හමුදාව එල්ල කළ ප්‍රහාර හේතුවෙන් අසරණ වූ පෘතුගීසීහු වැල්ලවාය අසල රන්දෙනිගලට පසුබැස්සහ. එහිදී පෘතුගීසින් වටකොට උඩරැටියන් එල්ල කළ ප්‍රහාර නිසා පෘතුගීසි ජාතිකයන් තුන්සිය පනහක් පමණ ජීවිතක්ෂයට පත් වූහ. තවත් පිරිසක් අත්අඩංගුවට ද ගත් අතර, එහිදී කපිතාන් ජෙනරාල් කොස්තන්තීනූ ද සා පවා මරණයට පත් විය.
ගන්නෝරුව සටන
වර්ෂ 1638 මාර්තු මාසයේදී එවකට මෙරට පෘතුගීසි කපිතාන් ජෙනරාල් වරයකු වූ දියෝගෝ ද මේලෝ විසින් නැවත වරක් උඩරට ආක්‍රමණය කරන ලදි. දහසක පමණ පෘතුගීසි භට පිරිසක් සහ තවත් දහස් ගණනක කුලී හමුදාවක් සහිතව ගමන් ගත් පෘතුගීසීහු වැඩි අපහසුවකින් තොරව මහනුවර නගරයට ඇතුළු වූහ. සෙනරත් රජුගෙන් පසු බලයට පැමිණ සිටි දෙවැනි රාජසිංහ රජු මේ අවස්ථාවේදී උපායශීලිව නගරයෙන් ඈත් විය. අනතුරුව කල්යල් බලා රජුගේ නායකත්වය යටතේ උඩරට හමුදාව විසින් පෘතුගීසින් වට කරන ලදි. ගන්නෝරුවේදී දෙපාර්ශ්වය අතර දරුණු සටනක් සිදුවිය. උඩරැටියන්ට සුපුරුදු ලෙස එල්ල කළ ප්‍රහාර නිසා පෘතුගීසීහු මෙම සටනින් ද අන්ත පරාජයක් ලැබූහ. සටන මෙහෙය වූ දියෝගෝ ද මේ ලෝ පවා ජීවිතක්ෂයට පත් විය. මෙහිදී විනාශ නොවී ඉතිරි වූ පෘතුගීසීන් සංඛ්‍යාව ගැන විවිධ වාර්තා තිබේ. මෙලෙස උඩරට බලය අල්ලා ගැනීම සඳහා පෘතුගීසීන් විසින් සිදු කරන ලද ආක්‍රමණ සියල්ලම අසාර්ථක වී උඩරට රාජධානිය තවදුරටත් ආරක්ෂා විය.
ශ්වේතා