Home » Blog » පෘතුගීසි-ලන්දේසි- ඉංග්‍රීසි පාලන කාලයේ තොරතුරු

පෘතුගීසි-ලන්දේසි- ඉංග්‍රීසි පාලන කාලයේ තොරතුරු

by thanushika
0 comments

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය වන අපේ රට ඈත අතීතයේ වසර ගණනාවක් තිස්සේ විදේශීය ජාතිකයන් කිහිප දෙනෙක් යටතේම පාලනය විය. එහිදී පෘතුගීසීන්, ලන්දේසීන් හා ඉංග්‍රීසීන් මෙරටට පැමිණ මෙරට පාලනය කළ බවට ඉතිහාසය සාක්ෂි දරයි. එහිදී අපේ රටේ ජනතාවට බොහෝ ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දීමට සිදු විය. ශ්‍රී ලාංකික ජනතාව වර්ෂ 1948දී එම යටත් විජිත තත්ත්වයෙන් මිදුණි. අද අපි ඒ කාලයේ මෙරට පාලනය තිබූ ආකාරය විමසා බලමු.

ශ්‍රී ලංකාවට පෘතුගීසීන්ගේ පැමිණීම

පෘතුගීසීන් ලංකාවට පැමිණියේ 1505 වර්ෂයේදී ය. එලෙස 1505 වර්ෂයේ නොවැම්බර් මස 15 වැනි දින එවකට ලංකාව පාලනය කළ 8 වැනි වීර පරාක්‍රමබාහු රජතුමා හමුවීමට එතුමාගේ රාජ පුරුෂයෝ එතුමා සමීපයට පැමිණියහ.1453 වර්ෂයේදී තුර්කීන් කොන්ස්තන්තිනෝපල් නගරය අල්ලා ගැනීමත් සමඟ එම ප්‍රදේශවල සිටි ජනයා දේශගවේෂණවල නියැළෙමින් ඔවුන්ට ජීවත් වීමට කුළුබඩු ප්‍රවාහනය කිරීමට වෙළෙඳ නගර සොයමින් ගියහ. එලෙස සිදු වූ දේශගවේෂණයේ ප්‍රතිඵලයක් ලෙස පෘතුගීසීහු ඉන්දියාවට පැමිණියහ. එයින් පසුව ඉන්දියන් සාගරය අවට තිබූ දූපත් සඳහා අවධානය යොමු වීමත් සමඟ ෆ්‍රැන්සිස්කෝ ද අල්මේදාගේ පුතා වන ලොරෙන්සෝ ද අල්මේදා නායකත්වය යටතේ යාත්‍රා කළ නාවික කණ්ඩායමක් දරුණු කුණාටුවකට හසුවී මෙරට ගාලු වරායට සේන්දු වූහ. ඒ ආකාරයට පෘතුගීසීහු මෙරටට පැමිණීහ. පසුව මෙරට ජනතාව දැඩි වද හිංසාවලට ලක් කරමින් ගැති පාලනයක් ගෙන ගියහ.

හත්වැනි බුවනෙකබාහු රජු හා මායාදුන්නේ රජු අතර ගැටුම් කිහිපයක් ඇති විය. පසුව බුවනෙකබාහු රජුගේ මරණයෙන් පසුව පෘතුගීසි ආරක්‍ෂාව මධ්‍යයේ ධර්මපාල කුමරු කෝට්ටේ පාලකයා බවට පත් වූයේ ය. පසුව මෙරට පාලනය කළ දක්ෂ කීර්තිමත් පාලකයන් කිහිපදෙනකු විසින් දන්තුරේ, බලන, රන්දෙනිගල, මුල්ලේරියා හා ගන්මෝරු යන සටන් ක්‍රියාත්මකකර පෘතුගීසීන් සම්පූර්ණයෙන්ම මෙරටින් පලවා හැරීමට කටයුතු කරන ලදි. ඔවුන්ව මෙරටින් 1658 වර්ෂයේදී පලවා හැරිමට මෙරට ජනයාගේ සංවිධාන ශක්තිය,කාර්ය ශක්තිය හේතු විය.

ශ්‍රී ලංකාවට ලන්දේසීන්ගේ පැමිණීම

ලන්දේසීන්ගේ මවුරට වනුයේ ඕලන්දයයි. පෘතුගීසීන් පැමිණ ශත වර්ෂයකට පසු ලන්දේසීහු ආසියාවට පැමිණියහ. ඒ වන විටත් ඕලන්ද සමාගම් කිහිපයක් පෙරදිග බලය පතුරවා සිටි නිසා ලන්දේසීන්ට බලය පැතිරවීමට හැකියාව නොලැබුණි. එහෙත් 1602 වර්ෂයේදී ලන්දේසීහු පෙරදිග ඕලන්ද වෙළෙඳ සමාගම ආරම්භ කළහ. ලන්දේසීන් ආරම්භ කළ පෙරදිග වෙළෙඳ සමාගමේ මූලස්ථානය වූයේ ජාවා දූපතේ බතාවියයි. පළමු වැනි වතාවට වර්ෂ 1602දී ජොරිස් වෑන් ස්පිල්බර්ජන් නම් ලන්දේසී ජාතික දූතයෙක් පැමිණ පළමුවැනි විමලධර්මසූරිය රජු හමු වූයේ ය. මෙලෙස ඇති වූ දූත ගමන් සාර්ථක නොවීය. පසුව රජ වූ දෙවැනි රාජසිංහ රජු යනු ලන්දේසීන් සමඟ ඉතා සමීප සබඳතා පැවැත් වූ අයෙකි. ඔහු ලන්දේසීන් සමඟ ලිපි හා තෑගී හුවමාරු සිදුකර ඇත. ඉන්පසුව උපරිම ආර්ථික වාසි ලබා ගැනීම ලන්දේසීන්ගේ ප්‍රමුඛ අභිප්‍රාය විය. පසුව උඩරට හා ලන්දේසීන් අතර, ගැටුම් රාශියක් ඇති විය. එහිදී ඔවුහු ක්ෂණික ප්‍රහාර එල්ල කළහ. පසුව වර්ෂ1765දී ලන්දේසීන් විසින් උඩරට නැවත වරක් ආක්‍රමණය කරනු ලැබූ අතර, වසර කිහිපයකට පසු කීර්ති ශ්‍රී රාජසිංහ රජු ඔවුන් සමඟ සාම ගිවිසුමක් අත්සන් කළේ ය. එහිදී උඩරැටියන්ගේ සාම්ප්‍රදායික වෙළෙඳ මාර්ගවලට ද පහර වැදුණි. මෙලෙස ලන්දේසීන් පලවා හැරීම සඳහා රජතුමා විසින් ඉංග්‍රීසීන් ගෙන්වා ගන්න ලදි. ඒ සඳහා ‘ඉඟුරු දී මිරිස් ගත්තා වැනි’ යැයි ප්‍රසිද්ධ කියමනක් ද සෑදී තිබේ.

ඉංග්‍රීසීන් මෙරටට පැමිණීම

ලන්දේසීන් මෙරටින් පලවා හැරීම සඳහා ඉංග්‍රීසීන් ගෙන්වා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස මෙරට ජනතාවට බොහෝ ගැටලුකාරී තත්ත්වයන් බොහෝමයකට මුහුණ දීමට සිදු විය. ඉංග්‍රීසීහු ආසියාවට පැමිණි මුල් කාලයේ අග්නිදිග ආසියාතික ප්‍රදේශ සමඟ තම වෙළෙද සබඳතා තර කරගැනීමට උත්සාහ කළෝ ය. පසුව ඉතා උපායශීලිව කටයුතු කළ ඉංග්‍රීසීන් විසින් මදුරාසිය,බොම්බාය හා කල්කටාව ඇතුළු ප්‍රදේශ කිහිපයක් අල්ලා ගන්නා ලදි. ශ්‍රී ලංකාවේ පිහිටීමත් ශ්‍රී ලංකාවෙන් කුරුඳු ඇතුළු වටිනා වෙළෙඳ ද්‍රව්‍ය ලබා ගැනීමත් ඉංග්‍රීසීන්ගේ අවධානය මෙරටට යොමු වීමට හේතු විය. පසුව ඉංග්‍රීසීන් හා උඩරට අතර වෙළෙඳ සබඳතා කිහිපයක්ම ඇති විය. 1762දී ජෝන් පයිබස් පැමිණීම හා 1782දී හියු බොයිඩ් පැමිණීම එයින් කිහිපයකි. 1796 වර්ෂයේදී ඉංග්‍රීසිහු පෙරදිග ඉන්දිය වෙළෙඳ මාර්ගය දිගේ පැමිණ දිවයිනේ මුහුදු බඩ ප්‍රදේශ අල්ලා ගත්හ. ඊට පසු ඔවුහු වර්ෂ 1815දී උඩරට රාජධානිය අල්ලා ගත්හ. මෙලෙස විවිධ ආකාරයේ සටන්වල නියැළී ඉංග්‍රීසීන් ද මෙරටින් පලවා හැරීමට ශ්‍රී ලාංකික ජනතාව සමත් වූහ.

මෙලෙස පෘතුගීසි, ලන්දේසී හා ඉංග්‍රීසි යන යටත් විජිත ජාතීන්ගෙන් මෙරට සහමුලින්ම 1948 වර්ෂයේදී නිදහස ලබාගෙන ඇත.එය ශ්‍රී ලංකා ඉතිහාසයේ වටිනා සංධිස්ථානයකි.ඒ සමඟම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයක් ලැබුණු බැවින් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය මඟින් දේශපාලන කටයුතුවලට සම්බන්ධ වීමේ අවස්ථාවන් ලාංකිකයන්ට හිමි විය. එසේ අප ලබා ගත් නිදහස සමරනු ලබන්නේ පෙබරවාරි 4 වැනි දින ය. එම නිසා 2025 මෙම වර්ෂයේදී අප විසින් සමරනු ලබන්නේ 77 වැනි නිදහස් සැමරුමයි.

ඉතින් ඔබ සියලු දෙනාටම මෙලෙස ලබා ගත් නිදහස ආරක්ෂා කරගනිමින් නිදහස් රටක් ලෙස කාලය ගත කිරීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරමි.ලක්වාසී ඔබ සියලු දෙනාටම කරදරවලින් තොර සුබම සුබ නිදහස් දිනයක් වේවා!

යටත්විජිත සමයේ සිටි ඉංග්‍රීසි ආණ්ඩුකාරවරු

ෆ්‍රෙඩ්රික් නෝර්ත් ආණ්ඩුකාරවරයා

ෆ්‍රෙඩ්රික් නෝර්ත් 1798 දී ශ්‍රී ලංකාවේ පත් වූ පළමුවැනි ආණ්ඩුකාරවරයා වන අතර, ඔහු බ්‍රිතාන්‍ය රදල පවුලක සාමාජිකයෙක් විය. මොහු විසින් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය පාලනය ස්ථාපිත කිරීම සඳහා උඩරට යටත්කර ගැනීමේ අරමුණින් වර්ෂ 1803දී හමුදා මෙහෙයුමක් දියත් කරන ලදි. එහෙත් එය අසාර්ථක මෙහෙයුමක් විය. එකල ප්‍රධාන මුදල් ඉපැයීමේ මාර්ගයක් වන මුතු වෙළෙඳාමේදී මුතු කැණීම් සඳහා අධීක්ෂණය කරන ලද්දෙ මොහු විසිනි. ඩොරික් බංගලාව ෆ්‍රෙඩ්රික් නෝර්ත් ආණ්ඩුකාරවරයාගේ නිල නිවෙස ලෙස ගොඩනඟා ගෙන තිබූ බව ද පැහැදිලි වේ. ඔහුගේ සේවා කාලය වනුයේ වර්ෂ 1798 සිට 1805 දක්වා කාල සීමාවයි.

තෝමස් මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා

ප්‍රථම ආණ්ඩුකාරවරයා වූ ෆ්‍රෙඩ්රික් නෝර්ත් ආණ්ඩුකාරවරයා උඩරට අල්ලා ගැනීම සඳහා දියත් කළ ක්‍රියාමාර්ගය අසාර්ථක වීම නිසා මීළඟට පත් කරන ලද්දේ තෝමස් මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා ය. ඔහු ද වංශවත් පවුලක සාමාජිකයකු වූ අතර, දක්ෂ හමුදා නිලධාරියකු ලෙස ද ප්‍රසිද්ධියට පත් වී ඇත. මොහු උඩරට රජු සමඟ සුහදව කටයුතු කළ නිසා රට පුරාම සංචාරයකර, ජනතාව පිළිබඳ මනා අවබෝධයක් ලබා ගත්තේ ය. ඔහු විසින් අපරාධ නඩු විස¼දීම සඳහා ද ජූරි සභාවක් ආරම්භ කරන ලදි. ෆ්‍රෙඩ්රික් නෝර්ත් ආණ්ඩුකාරවරයා අවලංගු කරන ලද රාජකාරි ක්‍රමය ද මොහු විසින් නැවත ආරම්භ කරන ලදි.

රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා

ඔහු 1802 වර්ෂයේදී පත් වූ ආණ්ඩුකාරවරයා විය. ඔහු ද ඉතා දක්ෂ තීක්ෂණ හමුදා නිලධාරියෙක් විය. වසර දෙදහසක් පමණ පැවැති සිංහල රාජධානිය සම්පූර්ණයෙන් තමන් යටතට ගැනීමට මොහුට හැකියාව ලැබුණි. මෙම ආණ්ඩුකාරවරයාගේ පාලන සමයේදී සිංහලේ රජුට විරුද්ධව කුමන්ත්‍රණය කළ වරදට පිළිමතලව්වේගේ හිස ගසා මරණයට පත් කරන ලදි. ඉංග්‍රීසීන් යටතට පත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඇතුළු පවුල් ක්‍රි. ව. 1816දී මදුරාසියට නැව් නැංවීම ද සිදු විය. ඔහුගේ ආණ්ඩුකාර සමය 1822දී අවසන් විය.

එඩ්වඩ් පැජට් ආණ්ඩුකාරවරයා

මොහු මෙරටට පැමිණි හතර වැනි ආණ්ඩුකාරවරයා ලෙස අපට පෙන්වා දිය හැකි ය. ඔහු ද නිර්භීත හමුදා සෙබළෙක් විය. ක්‍රියාන්විතයක් අතරතුරදී ඔහුට ඔහුගේ දකුණු අත අහිමි වීම ද සිදු විය. කෙසේ වෙතත් ඔහුට ලංකාවේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කිරීමට ලැබුණේ මාස නවයක් වැනි කෙටි කාලයක් පමණි.

එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයා

ඔහු 1824දී බලයට පත් විය. කොළඹ නගරය ඇතුළු අනෙකුත් සෑම ප්‍රධාන නගරයක් හා යා කිරීමේ හා මහනුවර මුහුදුබඩ ප්‍රදේශ යා කිරීමේ පුරෝගාමියා ලෙස ද අපට ඔහු පෙන්වා දිය හැකි ය. හදිසි අවස්ථාවලදී තම සේනා පිටත්කර හැරීමට පහසු වන පරිදි මාර්ග ඉදිකිරීමේ ප්‍රතිපත්තියක් ද ඔහු විසින් අනුගමනය කරන ලදි. ඔහුගේ පාලන කාලය ද වර්ෂ 1824න් පසුව අවසන් විය.

ශ්වේතා ගිමානි


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department