එක් උද්‍යානයක තිබූ ගස්වැල් අතරේ ඉතා අලංකාර රෝස පඳුරක් ද තිබිණි. එහි දීප්තිමත් රතු පැහැති රෝස මල් පිපුණු නිසා රෝස පඳුර සිටියේ බෙහෙවින් උඩඟුව ය. ඒ අසල පතොක් ගසක් ද විය. එතරම් කදිම පෙනුමක් නොතිබූ පතොක් ගස තමන් අසල සිටීම ගැන රෝස පඳුර එතරම් කැමැත්තක් දැක් වූයේ නැත. මේ නිසා රෝස පඳුර දිනපතාම පතොක් ගසට අවමන් වන පරිදි කතා කළේ ය. එහෙත් පතොක් ගස මේ සියල්ල නිහඬව ඉවසා සිටියේ ය. ඒ අවට තිබූ අනෙක් සියලු ගස්, වැල්, මල් පඳුරු එක් වී රෝස ගසෙහි මෙම නරක පුරුද්ද නැවැත්වීමට උත්සාහ කළහ. එහෙත් උඩඟු රෝස මල එය නැවැත්වූයේ නැත. වසන්ත ඍතුව ගෙවී ගොස් ගිම්හාන ඍතුව උදා විය. වර්ෂාව ක්‍රමයෙන් අඩු වූ අතර, හිරු රශ්මිය අධික විය. ජලය අඩුවෙන් ලැබෙන්නට ලැබෙන්නට උද්‍යානයේ ගස් වැල් පැළෑටි සියල්ල මැල වී යන්නට පටන් ගත්තේ ය. රෝස පඳුරේ ද මල් අවපැහැ ගැන්වුණු අතර, පත්‍ර ද කහ පැහැ ගැන් වී මැලවෙන්නට විය. ගේ කුරුල්ලෙක් පැමිණ පතොක් ගසට තම හොට ගිල්වා ජලය උරා ගන්නා ආකාරය රෝස පඳුර දුටුවේ ය. උදව් ඉල්ලීමට ලජ්ජාවක් දැනුණත්, ජලය නොමැතිව බෙහෙවින් වියළී ගොස් සිටි නිසා රෝස පඳුර, ගේ කුරුල්ලාට කතාකර ජලය ඉල්ලුවේ ය. එය දුටු පතොක් ගස රෝස පඳුරට ද ජලය දෙන්නට තරම් කාරුණික විය. ගේ කුරුල්ලා තම හොටයට පතොක් ගසෙන් ජලය උරා රැගෙන ගොස් රෝස පඳුරට දුන්නේ ය. ඉන්පසු රෝස පඳුර, පතොක් ගස සමඟ මිත්‍ර විය.
බාහිර පෙනුමෙන් කෙනකුගේ වටිනාකම මැනීම නොකළ යුතු ය.
පරිවර්තනය – හර්ෂණී ගමගේ