සෑම කෙනකුගෙන්ම ඈත්වූ කොන්වූ ගමක අකුරු කිරීමට කැමැති කුඩා දරුවන් පිරිසකි. ඔවුන්ගේ පීඩාව මෙන්ම නැති බැරිකම් තේරුම්ගත් ආදරණීය ගුරුවරයකුගේ ආදරණීය ආමන්ත්‍රණයක් ‘ගුරු ගීතය’ නමින් අප කා අතරත් ජනප්‍රිය වූයේ මීට වසර ගණනාවකට පෙර සිට ය. අකුරු ඉගෙන ගැනීමට කැමැති අලුත් ලෝකයක් දැකීමට කැමැති අල්තීනායි ඇතුළු කුඩා දරුවන් පිරිසකට අකුරු ඉගැන්වූ තරුණ ගුරුවරයා වූයේ දුයිෂෙන් ය. ගුරුගීතය කෘතිය චිංගීස් අයිස්මාතව්ගේ නිර්මාණයක් වන අතර, මෙහි පරිවර්තකයා වූයේ දැදිගම වී. රුද්‍රිගු ය. රුසියාවේ පැවැති සුන්දරත්වය ඒ අයුරින්ම චිත්ත රූප මැවෙන ආකාරයට නිර්මාණය කිරීමට අයිස්මාතව් සමත් වූයේ ය. පොප්ලර් ගස් අතර සෑදූ අපූරු පාසල ගැන කියන මේ කතා පුවත වර්තමානයේ අලංකාර චිත්‍රපටයක් ලෙස ඔබට නැරැඹීමට අවස්ථාව උදා වී තිබේ. අප ඒ පිළිබඳ ඔබට කියන කතාවයි මේ.
ගුරුවරයා සහ සිසුවා අතර ඇති සබඳතාව
ගුරු ගීතයේ ගුරුවරයා දරුවන්ට ඉගැන්නුවේ ඔවුන්ටම ආවේණික වූ කුඩා අයිලයක ය. එහි පාසලක තිබෙන පහසුකම් නොතිබුණු අතර, දූයිෂෙන්ට හැකි වූයේ ළමයින්ට හෝඩිය කියා දීමට හා ජීවත්වන වටපිටාව පිළිබඳ කියාදීමට පමණි. වටපිටාව කියාදීමෙන් සහ ඔහු සමඟ එක්ව වැඩ කිරීමෙන් ඔවුන් බොහෝ දේ තේරුම් ගත් බව මෙයින් පැහැදිලි වූයේ එහි තිබූ දෙබස් මඟිනි. සෑමවිටම ගුරුවරයා දරුවන්ගේ හදවත් හඳුනාගෙන කටයුතු කළ කෙනකු ලෙස මේ කතාවෙන් නිරූපණය වූයේ ය. ඕනෑම කරුණක් ගුරුවරයාගෙන් දැනගෙන ඉගෙන ගැනීමේ සුහද බවක් දරුවන් හා ගුරුවරයා අතර ගොඩනැඟී තිබිණි. විටෙක දුයිෂෙන් දරුවන්ට උගන්වන්මින් සිටින අවස්ථාවේදී එක් දරුවෙක් ඔහුගෙන් මෙසේ ප්‍රශ්න කරයි. දුයිෂෙන්ට ඉගැන්නූවෙත් ලෙනින් ද? එවැනි සිතේ නැඟෙන තාර්කික ඕනෑම ප්‍රශ්නයක් දරුවකුට ගුරුවරයාගෙන් ඇසීමේ නිදහස එකල තිබුණු බව මෙයින් පැහැදිලි වෙයි.
ජයග්‍රහණය කළ සිසුවියක් නැවත පාසල් ජීවිතය දෙසට හැරී බැලීම
අල්තිනායි කුඩා ගම්මානයක සිට අකුරුකර තම ජීවිතය ජය ගත් ගැහැනියකි. ඕනෑම ගැහැනියකට හෝ පිරිමියකුට මෙවැනි අත්දැකීමක් තිබිය හැකි ය. පාසල් කාලයේදී තමන් ඉගෙන ගත් අවධියට සිතින් යෑමේ හැකියාවක් ඕනෑම කෙනකුට තිබිය හැකි ය. මේ කාලයේදී තමන්ට උදව් කළ අය මෙන්ම තමන්ට නපුරුකම් කළ අය ද ඔවුන්ට නිතැතින්ම මතක් වේ. මේ මතක ආවර්ජණාවේදී අල්තිනායි අමතක නොවූ චරිතය වූයේ දුයිෂෙන් ය. ඇයට අගේ පළමුවැනි පශ්චාත් උපාධි සංග්‍රහය පිළිගන්වනු ලැබුවේ මොස්කව්හිදී ය. ඒ විශාල ජයග්‍රහණය හිමි වූ වෙලාවේදී අල්තිනායිට සිහිපත් වූයේ තමන් හැදී වැඩුණු අයිලයයි. කොතරම් උසස් තනතුරක සිටියත් තමන් මූලිකව අධ්‍යාපනය ලැබූ පාසල හෝ ස්ථානය අමතක නොකර නිරන්තර සිහිපත් කිරීමේ හැඟීමක් අල්තිනායිට තිබිණි.
මූලික අධ්‍යාපනය ලැබූ පාසලට පිවිසීම
ගුරු ගීතය කෘතියේ තමන් ඉගෙන ගත් පාසල පිළිබඳ සිහිපත් කරන අල්තීනායිගේ අදහස් කතුවරයා මෙලෙස ලියා තිබේ.” මා පශ්චාද් උපාධිය දිනාගත් විගසම යුද්ධය ආරම්භ විය. වරෙක මම මොස්කව් සිට ප්රූන්සේ නගරයට යමින් සිටියෙමි. මගේ ගුරුතුමා මට ආයුබෝවන් කියා ඇරලූ ඒ දුම්රියපොළට අපේ දුම්රිය පැමිණි පසු මම දුම්රියෙන් බැස්සෙමි. අපේ අයිලය හරහා රජයේ ගොවිපොළට යන කරත්තයකින් අයිලයට යෑමට මට අවස්ථාව ලැබිම වාසනාවකි.” අල්තීනායි තමන් ඉගෙන ගත් පාසලට යන තෙක් කිසියම් සිතුවිලි දාමය නික්මෙමින් කාලය ගත කළා ය. ඇයට තමන්ගේ පාසල දැක ගන්නා තෙක් ඉවසිල්ලක් නොතිබිණි.
කළගුණ සැලකීමට ඇති කැමැත්ත
”දුයිෂෙන් ඔබට ස්තූතියි. දුයිෂෙන් ඔබ මට කෙතරම් උදව් කළා ද? අමතක කළේ නැහැ කල්පනාවෙන් වැඩ කළා. ඒ ගස් හරියට ඔබ වගේ යැයි තොල මැතුරුවෙමි. ” මේ අල්තීනායි තම ගමට යන මොහොතයි. ඇගේ සිතට මුලින්ම සිහිපත් වන්නේ මේ සියල්ල බලා සිටි පොප්ලර් ගස් ය. පොප්ලර් ගස්වලට සියල්ල මතක ඇති යැයි අල්තීනායිගේ සිහියට නැඟෙයි. අල්තීනායි එකවරක් හෝ දෙවරක් එසේ කියයි. ඇය ගමට එන අතර, ඒ සුන්දර අතීතයට සිතින් පිය නඟයි. ඒ සිහිපත් වීම කෙතරම් අව්‍යාජ ද යන්න චිත්‍රපටයේ රූප රාමුවලින් වඩාත් පැහැදිලි වෙයි.
ගුරු ගීතය චිත්‍රපටයක් කිරීමට හේතු වූ සාධක
ගුරු ගීතය චිත්‍රපටයක් කිරීමට හේතු වූ සාධක පිළිබඳ උපාලි ගම්ලත් මහතා විස්තර කළේ ය. ඔහු අධ්‍යාපනය ලැබුවේ මොරටුව විශ්වවිද්‍යාලයේ ය. එලෙස අධ්‍යාපන ලබන අවස්ථාවලදී කෙටි නාට්‍ය කිරීමට ද ඔහුට භාග්‍ය උදා වූයේ ය. අපරාජිතයෝ සහ මහා මාරියා වේදිකා නාට්‍යවලින් අනතුරුව උපාලි මහතාගේ අදහස වූයේ චිත්‍රපට ක්ෂේත්රයට ප්‍රවේශ වීමට ය. එම නිසා ඔහු ඉන්දියාවට ගොස් චිත්‍රපට පිළිබඳ විවිධ දේවල් අධ්‍යයනය කළේ ය. එයින් පසු සීගිරිය, පොලොන්නරුව ආදී ස්ථානවල වෘතාන්ත චිත්‍රපට කිරීමට ද ඔහු යොමු වූයේ ය. ඔහුට අතීතයේදී ළෙන්ගතු වූ ගුරුවරුන්ට උපහාරයක් දැක්වීම වෙනුවෙන් ගුරු ගීතයේ පිටපත ලියා අධ්‍යක්ෂණය කළ බව ද ඔහු කීවේ ය. හොරණ තක්ෂිලා විද්‍යාලයේ ඉගෙන ගන්නා අවධියේදී ඔහුට ගණිතය විෂය ඉගැන්වූ ඔහුගේ සිත් ගත් වැලිකල ගුරුවරයා පිළිබඳ මතකය අවදි කරමින් මේ චිත්‍රපටය කළ බව ද ප්‍රකාශ කළේ ය. දුයිෂෙන් යනු ද කිසිවක් ගැන නොසිතා සිය වෘත්තීයමය ජීවිතයේදී සිය ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් කැප වීමෙන් කටයුතු කළ ගුරුවරයෙකි. එවැනි ගුරුවරුන් වර්තමානයේ ද සිටින අතර, ඔවුන් කිසිවිටකත් අමතක කළ නොහැකි ය. ඕනෑම කෙනකුට පාසල් කාලයේදී අමතක කිරීමට නොහැකි දුයිෂෙන් කෙනකු සිටිනවාට සැකයක් නොමැත. එවැනි ගුරුවරුන් පාසල් කාලයේදී පූජනීයත්වයට පත් වෙයි. දුයිෂෙයින් ද එවැනිම ගුරුවරයෙකි. මෙලෙස නිර්මාණය කළ ගුරු ගීතය ඔස්ට්‍රේලියාව, ඉතාලිය, කැනඩාව, ඉන්දියාව, නෝර්වේ වැනි රටවල තිර ගත කෙරුණි. මෙම චිත්‍රපටයේ සංගීත ලෙලුම් රත්නායකගේ නිර්මාණය. ගායනය කළේ කිත්සිරි ජයසේකර ය. ගීතයේ පද රචනය නුවන් ජූඩ් ලියනගේ ය.
බාධක ජයගත් ආකාරය
ගුරු ගීතය නිර්මාණය කිරීමට අවශ්‍ය පසුබිම කොහිදැයි තෝරා ගැනීමට අධ්‍යක්ෂකවරයාට අවශ්‍ය වූයේ ය. මේ සඳහා ඔහු හිමාල කඳු ප්‍රදේශය ආශ්රිත නේපාලය තෝරා ගත්තේ ය. එහි සුන්දරත්වය ඒ අයුරින්ම චිත්‍රපටයට යොදවා ගැනීම අපහසු විය. එහෙත් ඒ සුන්දරත්වය නොමැකෙන ලෙස නිර්මාණයට ගොනුකර ගැනීමටවත් ඔහු සමත් වූයේ ය. අකුරු කිරීමට පමණක් නොව, කුසට අහරක් ගැනීමවත් තරම් හැකියාවක් නොමැති ජනයාගෙන් සැදුම්ලත් ග්‍රාමීය ප්‍රදේශයක දරුවන් පිරිසක් තෝරාගෙන චිත්‍රපටයට යොදා ගැනීමට උපාලි ගම්ලත් සමත් වූයේ ය. මේ පරිසරයේ ඇති කර්කශ තත්ත්වය නිසා ඇතැම් අවස්ථාවලදී එම ප්‍රදේශයේ ගැවසීම තරමක් අපහසු විය. එතරම්ම ඒ ප්‍රදේශය සීතල විය. මේ අපහසුතාව විඳ දරාගෙන චිත්‍රපටය කිරීමට අධ්යක්ෂවරයා සමත් වූයේ ය. මේ සඳහා ගුරු ගීතයේ රංගනයේ යෙදුණු නළු නිළියන්ගේ ද සහාය ලැබිණි. කාර්යය කෙතරම් අසීරු වුවත්, චිත්‍රපටය නිර්මාණශීලිව අවසන් කිරීමට අධ්යක්ෂවරයා දැඩි අධිෂ්ඨානයෙන් යුතුව කටයුතු කළේ ය.
කෘතියෙන් ගත හැකි වන ආදර්ශය
ඕනෑම සිසුවියකට හෝ සිසුවකුට අතීතය අමතක කරමින් වර්තමානයකට පිවිසිය නොහැකි ය. සෑම සිසුවකු මෙන් සිසුවියක් ද තම ශිෂ්‍ය ජීවිතයේදී තමන්ට වඩාත් හොඳීන් ඉගැන්වූ ගුරුවරයා පිළිබඳ මතකයක් තම ජීවිතයට එක්කර ගත යුතුයි. එනම් ඕනෑම කෙනකුගේ සිතේ ගුරු උපහාරයක් තිබිය යුතුයි. වර්තමානයේ සාර්ථක බව ලැබී ඇත්තේ අතීතයේ ගුරුවරුන් කළ කැපවීම නිසා බව ඕනෑම කෙනකු සිය මතකයේ තබා ගත යුතු ය. අල්තීනායිට අයිලයට එන විට ද සිය ගුරුවරයා වූ දුයිෂෙන් සිහිපත් වන්නේ ඒ නිසා ය.
මෙම චිත්‍රපටය නිර්මාණයේදී මේ වෙනුවෙන් දායකත්වය දැරූ සියලුම ශිල්පීන්ගේ කාර්යභාරය බෙහෙවින්ම අගය කරමු.
රූපාන්ති බුලත්සිංහල