වර්තමානයේ බොහෝ දරුවන් තාක්ෂණය සමඟ ඒකාබද්ධ වෙලා වැඩ කිරීම සුලබ දසුනක් වී තිබේ. එහෙත් එය බොහෝ වේලාවට සීමා වී තිබෙන්නේ කොළඹ ප්රදේශයටයි. ගම්බද ප්‍රදේශවල දරුවන් තවමත් සොබාදහමේ නිදහස විඳීමට පුරුදු පුහුණු වී තිබේ. මේ තත්ත්වය ගුරුවරු මෙන්ම මව්පියන් ද තේරුම් ගැනීමට අවශ්‍යයි. සොබාදහම සමඟ බද්ධ වූ විට නැතහොත් සොබාදහම සමඟ මිතුරු වූ විට දරුවන්ගේ මනස නිරවුල් වේ. එමෙන්ම ඔවුන්ගේ නිර්මාණශීලි බව අවදි වේ. මේ තත්ත්වය තේරුම් ගත් විදුහල්පතිනියක් පාලනය කරන පාසලක් පිළිබඳ කීමටයි අපේ මේ සූදානම. ඒ හම්බන්තොට දිස්ත්‍රික්කයේ අරන්වෙල මහා විද්‍යාලය පිළිබඳයි. ඉතින් දුවේ පුතේ, අපි ඒ කතාව පිළිබඳ අහමු නේද?
” අපේ පාසල ක්‍රමයෙන් දියුණු වුණු පාසලක්. අපේ පාසල පිහිටා තිබෙන්නේ දුෂ්කර ප්‍රදේශයක වුවත්, හැම දරුවකුම මහත් ඕනෑකමෙන් වැඩ කරනවා. ඒක ගැන මට තිබෙන්නේ නිහතමානී ආඩම්බරයක්. අපේ පාසල පළමු ශ්‍රේණියේ සිට 12 වැනි ශ්‍රේණිය දක්වා තිබුණත්, අපොස. උසස්. පෙළ හදාරන දරුවන් වෙනුවෙන් තිබෙන්නේ කලා විෂයන් පමණයි. ඒ නිසා කලා විෂයන් කරන්න කැමැති සීමිත පිරිසක් විතරයි අපේ පාසලේ ඉතිරි වන්නේ. 2003 වසරේදී මම මේ පාසලේ ගුරුවරියක් ලෙස සේවය කළා. ඊට පස්සේ මම මේ පාසලේම විදුහල්පතිනිය වෙලා සේවයට පැමිණියා. මගේ මතකයේ විදිහට ඒ 2017 අවුරුද්දේදි තමයි. ඒ නිසා මේ පාසල පිළිබඳ මට මුල ඉඳලාම අවබෝධයක් තිබුණා. බොහෝ දරුවන් දක්ෂතාව අනුව ඉදිරියට යන්න ගොඩක් කැමැතියි. ඒත් ඒ දරුවන්ට ඊට අවශ්‍ය පහසුකම් නැහැ. අපේ පාසලෙන් පහේ ශිෂ්‍යත්වය සමත් වෙන දරුවන් වෙන පාසල්වලට යනවා. ඉතිරි වන දරුවන්ගෙන් තමයි අපේ පාසල ඉදිරියට යන්නේ.”
” අපො.ස. සාපෙළ සමත් වෙන දරුවන්ගෙන් කලා විෂයයන් කරන්න කැමැති දරුවන් අපේ පාසලේ ඉතිරි වෙනවා. අනෙක් විෂය ධාරාවලින් උසස් පෙළ හදාරන්න කැමැති දරුවන් වෙනත් පාසල්වලට යනවා. පසුගිය සාමාන්‍ය පෙළ විභාගයට දරුවන් දාහත් දෙනකු ඉඳගත්තා. එයින් දරුවන් හය දෙනකුට ඒ හයයි බී දෙකයි තිබුණා. ඒ ගැන මට දැනෙන්නේ ලොකු සතුටක්.”
” අපේ පාසලේ ඉන්න සෑම දරුවකු වගේම පරිසරයට ගොඩක් ආදරෙයි. සමහර වෙලාවට මමත් ඒ අයත් එක්ක හරි හරියට වැඩ කරනවා. වැඩිහිටියන් ඔවුන්ගේ වැඩවලට සහභාගි වෙනවාට දරුවන් ගොඩක් කැමැතියි. ඒ නිසා තමයි මම දරුවන්ගේ දේවල්වලට අවධානය යොමු කරන්නේ. දරුවන් කැමැති අපි ඔවුන් එක්ක වැඩ කරනවාටයි. මම හිතන්නේ එතකොට තමයි ඔවුන්ට තේරෙන්නේ අපි ඔවුන් එක්ක ඉන්නවා කියලා. මේ නිසා හැකියාව ලැබෙන සෑම වෙලාවකම අපි දරුවන් එක්ක එකතුවෙලා වැඩ කරන්න ඕනේ. ඒක ඔවුන්ට ලොකු ශක්තියක්.”
” අපේ පාසලේ චිත්‍ර නැටුම්, සංගීතය කියන සෞන්දර්ය විෂයයන් තුනම තිබෙනවා. මේ විෂයයන් දරුවන්ගේ කැමැත්ත මත තෝරාගෙන ඔවුන් කැමැති පරිදි හදාරනවා. හදවතක් ඇති දරුවන් නිර්මාණය වන්නේ සෞන්දර්යට සහ ක්‍රීඩාවට යොමු වීමෙන්. ඒ නිසා දරුවන් සෞන්දර්ය විෂයන් සඳහා යොමු කරන්නම අවශ්‍යයි. ක්‍රීඩාවෙන් අපට ජය පැරදුම පිළිබඳ අවබෝධයක් ලබා දෙනවා. මේ නිසා ඒකත් අපේ ජීවිතයට අවශ්‍යයි. හැබැයි වර්තමානයේ මවුපියන් නම් මේ ගැන සැලකිලිමත් වෙනවා. විනය, දැනුම මෙන්ම මිනිසත්කමෙන් පිරිපුන් පිරිසක් වර්තමාන සමාජයට අවශ්‍යයි කියලා තමයි මම හිතන්නේ. මගේ අරමුණත් එවැනි දරුවන් පිරිසක් බිහි කිරීමයි. දරුවන්ට දැනුම පමණක් ලබාදීම වර්තමානයට මදි. ඒ නිසා පාසලේදිම ඔවුන්ට මිනිසත්බව කියලා දෙන්න අවශ්‍යයි. අපි හැකි සෑම වෙලාවකම ඒ වෙනුවෙන් කැප වෙනවා.”
පාසලක් ලෙස ඉදිරියට යෑමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ඔවුන්ට ලැබේවා යැයි මිහිර වෙතින්
අපි සුබ පතමු.
රූපාන්ති බුලත්සිංහල