මිහිර කියවන දුවලා පුතාලට මතක ඇති පසුගිය සතියේ ළමා පුවත් පිටුවෙහි මිහිමවගේ උපන් දින සැමරුම පිළිබඳ පුවතක් පළ වුණා. එම උපන්දින සැමරුම පිළිබඳ විශේෂාංග ලිපියකුයි අද පළ වන්නේ.
ආදරණීය දුවේ පුතේ, අද අපි කතා කරන්න යන්නෙ පසුගිය දවසක තිබුණ හරි අපූරු සැමරීමක් පිළිබඳයි. අපගේ පෘථිවියේ උපන්දිනය වසර 400කට පමණ පෙර එවකට සිටි අය පිළිගනු ලැබුවේ ජනවාරි පළමුවැනිදා ලෙසයි. එතෙක් මෙතෙක් පෘථිවියේ පිහිටීම වෙනස් වී ගොස් පෘථිවියේ උපන්දිනය ලෙසට යෙදී ඇත්තේ 2025 ජනවාරි 4 වැනිදායි. එම නිමිත්ත මූලික කරගෙන පෘථිවියේ ජන්ම දිනය හෙවත් උපන්දිනය සැමරීමේ ඓතිහාසික අවස්ථාව තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා මහතාගේ අදහසකට අනුව එම දවසේදී සිදු කරන ලදි. කෝටි 450ක් වයසැති පෘථිවිය හෙවත් මිහිකතගේ උපන්දිනය ජනවාරි 04 වැනි දින අපගේ තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා මහතාගේ රාජගිරියේ සපුමල් පෙදෙසේ “තාරකා නිවසේදී” පැවැත්වුණි. මෙවැනි උපන්දින සාදයක් අප උපන් මහපොළොව වෙනුවෙන් පවත්වා ඇත්තේ ප්‍රථම වතාවටයි. මෙම ඓතිහාසික අවස්ථාවට සම්බන්ධ වීමට ‘තරු විදුනෙත’ අපටත් හැකියාව ලැබුණ. එහිදී එතුමා සමඟ කෙරුණ සංවාදයකි මේ.
තාරකා විද්‍යාඥතුමනි, මේ පෘථිවි මාතාවගේ උපන්දිනය සැමරීම සදහා ඔබතුමාට අදහසක් ආවේ කොහොමද?
ඔව්, අපේ දුවලා පුතාලට මුලින්ම කියන්න ඕන, අපේ පෘථිවිය ඉලිප්සාකාර හෙවත් අණ්ඩාකාර කක්ෂයක් අනුගමනය කරමින් තමා වටා පැයකට කි. මී. 1,666ක වේගයකින් යුතුවයි කැරකෙන්නේ. මෙහිදී කි.මී. 40,000ක වට ප්‍රමාණයක් ගමන් කිරීම සඳහා පැය 24ක කාලයක් ගත වෙනවා. රැය, දවල් කාලය ඇති වෙන්නේ මේ හේතුවෙන්. මෙහිදී අප පෘථිවිය, සූර්යයා වටා පැයකට කි.මී. 108,000ක වේගයකින් යුතුව දින 365.25ක වාර්ෂික ගමනක යෙදී සිටිනවා. මේ ගමනේදී පෘථිවිය එක් අවස්ථාවකදී සූර්යයාට බොහෝ ළංවීමත්, තවත් අවස්ථාවකදී බොහෝ ඈත්වීමත් සිදු වෙනවා. අදින් වසර තුන් හාර සියයකට පෙරදී එවකට ඉතාලියේ සිටි ග්‍රෙගරි පාප්තුමා විසින් දැන් තිබෙන කැලැන්ඩරය නිර්මාණය කිරිමේදී අපගේ පෘථිවිය සූර්යයාට වැඩියෙන්ම ළං වීම සිදු වුණේ ජනවාරි 1 වැනිදා ය. අවුරුද්දේ පළමු දවස ලෙස ජනවාරි 1 යොදා ගැනුණේ එබැවිනි. එහෙත් අද වන විට තත්ත්වය ක්‍රමයෙන් වෙනස් වී ගොස් අපගේ පෘථිවිය සූර්යයාට උපරිම ලෙස ළඟාවීම සිදු වනුයේ පෙර පරිදි ජනවාරි 01 වැනිදා නොව ජනවාරි 04 වැනි දාටය. එබැවින් නූතන යුගයේදී පෘථිවියේ ගමන ගැන තාරකා විද්‍යානුකූලව බලද්දී දින දර්ශනය හෙවත් කැලැන්ඩරයේ මුල්ම දවස ලෙස පිහිටනුයේ ජනවාරි 4 වැනිදා ය.
ඔබතුමාට, පෘථිවිය ගැන මේ වගේ විශේෂ වැඩක් කරන්න හිතුණේ ඇයි?
සූර්යයාට අයත් ග්‍රහයන් අතර විශේෂ තැනක් අපේ පෘථිවියට හිමි වී පවතිනවා. මෙහිදී පෘථිවියට සාගර, වනාන්තර, කාන්තාර සහ කඳු දක්වා විවිධ පරිසරයන් තිබෙන අතර, ශාක, සතුන් සහ මිනිසුන්ට සුවපහසු නිවහනක් සපයනවා. පෘථිවි වායුගෝලයේ හානිකර කිරණවලින් අපව ආරක්ෂා කරන අතර, ජීවිතයට සුදුසු උණුසුමක් පවත්වා ගැනීමට උපකාරී වෙනවා. මිරිදිය, ඛනිජ ලවණ සහ සාරවත් පස වැනි වටිනා සම්පත් ද පෘථිවිය මතට ලබාදී තිබෙනවා. ඉතින් මෙවැනි විශිෂ්ට සේවා සපයන අපගේ පෘථිවි මාතාවට කෘතගුණ සැලකීමට මට අදහසක් ආවා. ඒකයි මම මේ දේ කළේ.
මෙම උපන්දින සැමරුමේ වැඩසටහන කොහොමද සිද්ධ වුණේ?
ජනවාරි 4 වැනිදා සවස අප පෘථිවිය සූර්යයාට ළඟාවන වේලාව බලලා පෘථිවියේ හැඩයට හදපු ලස්සන කේක් එකක් කපලා තමයි අපි පෘථිවි මාතාවගේ උපන් දිනය සැමරුවේ.
මිහිර ළමා පුවත්පතේ ‘තරු විදුනෙත’ බලන දුවලා පුතාලට කියන්න තියෙන්නෙ කුමක්ද?
අපේ දුවලා පුතාලා ආසයි නේද අජටාකාශගාමියකු වගේ අභ්‍යවකාශයට ගිහිල්ලා රවුමක් ගහලා අභ්‍යවකාශයේ තිබෙන දේවල් දැකලා බලලා ආපහු පොළොවට එන්න? ඉතින් ඇත්ත වශයෙන්ම එවැනි ගමනක් යන්න වෙන්නෙ රොකට් යවන ආයතනවලට ලොකු ගණනක් ගෙවලයි.
ඇත්ත වශයෙන්ම බැලුවොත් අපි ජීවත් වෙන්නේ අජටාකාශ යානාවක. මම මුලදි කිව්වා අපි සූර්යයා වටා යන්නේ පැයට කිලෝමීටර් එක්ලක්ෂ අසූදහසක වේගයකින් කියලා. ඔයාලාත් හිතලා බලන්න පෘථිවිය අපට සියලු පහසුකමක්ම සපයනවා. අජටාකාශ යානයේදී කෑමබීම, ඉඳුම් හිටුම්, ආරක්ෂාව ආදී සියලු දේවල් සැපයූවත් අපි අජටාකාශ යානාවල ගියොත් අපි හිරවෙලා යන්නේ. එහෙත් අසීමිත විදිහට මේ පොළොවෙ ඉඳගෙන කාලා බීලා අපට සුවසේ විශාල අභ්‍යවකාශ චාරිකාවක යෑමට අවස්ථාව සලසා තිබෙනවා. ඒක ගොඩක් අයට තේරෙන්නේ නැතුව ඇති. මොකද පෘථිවියේ වායුගෝලය නිසා අපට නියම ආකාරයෙන් අභ්‍යවකාශය පෙනෙන්නේ නෑ.
ඇත්තටම අජටාකාශගාමියෙක් වෙන්න අවශ්‍ය නම් හොඳට ඉගෙන ගන්න වෙනවා. ඉගෙන ගෙන විතරක් මදි. හොඳ ශරීර සෞඛ්‍යයක් තිබෙන්නත් ඕන. හොඳ දැනුමක් තිබෙන්නත් ඕනේ. අජටාකාශ ආයතනයකට සම්බන්ධ වෙලා තමයි අජටාකාශගාමීයෙක් වෙන්න අවස්ථාව උදාකර ගන්න පුළුවන්. ඉතින් ඔයාලාත් හොඳට ඉගෙන ගන්න කියලා මම ඉල්ලනවා.
රුසින් තත්සර
මොරටුව විශ්වවිද්‍යාලය