Home » Blog » දුරුතු පොහොයේ වැදගත්කම

දුරුතු පොහොයේ වැදගත්කම

by thanushika
0 comments

ආදරණීය දුවේ පුතේ, වසරක් ගෙවී නව වසරක් ආරම්භයත් සමඟ උදාවන පළමු පොහොය වන්නේ දුරුතු පුන් පොහෝ දිනයයි. එවන් දිනක සිදු වූ අසිරිමත් මෙන්ම ඉතාම වැදගත් සිද්ධීන් හා අවස්ථා කෙරෙහි අවධානය යොමු කිරීම මෙම ලිපියේ අරමුණයි. මේ තොරතුරු දුවලා පුතාලා හැමදෙනාම හොඳින් සිතට ධාරණය කරගන්නා මෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා.

සීතල දුරුතු මහේ පුන්සඳ කිරණින් මුළු මිහිතලයම ආලෝකවත් කෙරෙන දුරුතු පොහොය ලක්වැසි ජනතාවගේ නැණ පහන් දැල්වීමට මහෝපකාරි වූ පොහෝ දිනයයි. වසරේ මුල්ම පොහොය වන්නේ ද දුරුතු පුර පසළොස්වක පොහොය දිනයයි. ලොව්තුරු බුදුපියාණන් වහන්සේගේ බුද්ධත්වයෙන් නවවැනි මස ප්‍රථම ලංකාගමනය සිදු වූයේ අද වැනි පොහෝ දිනක ය.

මහියංගණයේ මහානාග උයනේ සිටි යක්ෂයෝ ඉතා බලවත් පිරිසක් වූහ. කෙලෙස්වලින් යුතු යක්ෂ ගෝත්‍රිකයෝ එක්රැස් වී සාකච්ඡා කළහ. ඒ අතරවාරයේ ලොව්තුරු බුදුන්වහන්සේ අනෝතප්ත විල් තෙරින් නැඟීි මේ යක්ෂ සේනාව සිටි ස්ථානයේ අහස පුරා සවණක් ගණ බුදුරැස් විහිදුවමින් වැඩ සිටි සේක. එම අවස්ථාව යක්ෂ ගෝත්‍රිකයන්ට පි‍්‍රයමනාප දසුනක් නොවී ය. ඔවුහු කිපී සටනට ආහ. එහෙත් සටන සාර්ථක

නොවී ය. බුදුරජාණන් වහන්සේ පෙළහර පාමින් ඔවුහු දමනය කිරීමට කටයුතු කළහ.

එවිට යක්ෂ ගෝත්‍රිකයන්ගේ තේජස බලය බිඳී ගොස් තම පිරිසට අභයදානය දෙන මෙන් ඉල්ලා සිටියහ. ඉන්පසු බුදුරජාණන් වහන්සේ යක්ෂ ගෝත්‍රිකයන්ට අභයදානය දී, ගිරි දිවයිනට පලායෑමේ අවස්ථාව උදාකරලූහ. එම ස්ථානයට සපැමිණි සුමන සමන් දිව්‍ය රාජයාණෝ දහම් පද ඇසීමෙන් සෝවාන් වූහ. අනතුරුව වැඳුම් පිදුම් කිරීම උදෙසා යම් පූජා වස්තුවක් බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලූ විට උන්වහන්සේ තම කේශධාතු මිටක් සුමන සමන් දෙව්රජුට ලබාදුන් සේක. එම කේශධාතු එම ස්ථානයට නිදන් කරමින් මහියංගණ චෛත්‍යයේ ආරම්භය

සිදු කරන ලදි. පසුකාලීනව එය පියවර කිහිපයක් ඔස්සේ වර්ධනය වී වර්තමානයේ විශාල බැතිමතුන් පිරිසකගේ ගෞරවයට පාත්‍රවන මියුගුණ හෙවත් මහියංගණ චෛත්‍යය රාජයා බිහි විය.

දුරුතු පොහොය වැදගත් වීමට හේතු සාධක වන තවත් කරුණක් වන්නේ බුදුපියාණන් වහන්සේ බිම්සර රජතුමාට ලබාදුන් ප්‍රතිඥාව ක්‍රියාත්මක කිරීමයි. බුදුරජාණන් වහන්සේ නදී කාශ්‍යප, ගයා කාශ්‍යප, සහ උරුවේල කාශ්‍යප යන ජටිල රහත් පිරිස සමඟ රජගහනුවර වැඩියේ දුරුතු පොහොය දිනක ය. එහිදී මහා නාරද කාශ්‍යප ජාතක දේශනාව සහ චතුරාර්ය සත්‍ය දේශනාව අසා බිම්සර රජතුමා ප්‍රමුඛ පිරිස සෝවාන් වූහ.

බුදු සසුනේ ප්‍රථම ආරාම පූජාව සිදුවූයේ ද දුරුතු පුන් පොහෝ දිනක ය. බිම්බිසාර රජතුමා වේළුවනාරාමය බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට පූජා කළේ ය. බුදුසමයෙහි ආගමනය ලැබීමට පෙර ලක්දිව ජීවත් වූ යක්ෂ, නාග වැනි ගෝත්‍රික කණ්ඩායම් තම ආධිපත්‍යය බලවත්ව ක්‍රියාත්මක කළ ද බුදුරජාණන් වහන්සේගේ ආගමනය සමඟ ඔවුන්ගේ නිරර්ථක ක්‍රියා (අර්ථයක් නොමැති ක්‍රියා) නැවතිණි. එහෙත් එම පේ‍්‍රත කණ්ඩායම් උදෙසා පින් අනුමෝදන් කරවීමේ චාරිත්‍රය ඇරැඹුවේ ද දුරුතු පුන් පොහෝ දිනක ය.

ශ්‍රී ලංකා බෞද්ධ ඉතිහාසයේ කැලණි වෙහෙරට හිමිවන්නේ නොමඳ ස්ථානයකි. එසේම ගෞරවයකි. කැලණිය විහාරස්ථානය පාදක කරමින් වාර්ෂිකව පැවැත්වෙන මහා පෙරහර පැවැත්වෙන්නේ ද දුරුතු පොහොය දිනකදී ය. සමස්ත ජනතාවගේ ආදර ගෞරවයට පාත්‍ර වූ මෙම කැලණි පෙරහර අපේ සංස්කෘතික අංග බොහොමයක්ම ප්‍රදර්ශනය වන සාම්ප්‍රදායික පෙරහරක් ලෙස ද හඳුන්වා දිය හැකි ය.

මෙම කරුණු නිසා දුරුතු පොහොය ඉතා වැදගත් පොහොය දිනයක් ලෙස බෞද්ධ ජනයා සලකනු ලබයි.

සන්ධ්‍යා ප්‍රියදර්ශනි අතුකෝරළ


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department