පලා වර්ග කෑමෙන් අපේ රුව ලස්සන වෙනවා. ඒ වගේම අපේ ශරීරයට විටමින් ලැබෙනවා. අපේ සමෙහි නිරෝගී බවට විතරක් නෙවෙයි කේශ වර්ධනයටත් පලා වර්ග ඉතා වැදගත්. සමහර දුවලා පුතාලා පලා වර්ග කෑමට කැමැත්තක් දක්වන්නේ නැහැ. අම්මා, තාත්තා නැතිනම් වැඩිහිටියකුගේ ඇවිටිලි කිරීම නිසාම ඔබ පලා වර්ග කෑමට කැමැත්තක් දක්වනවා ඇති. එහෙත් දුවේ පුතේ, පලා කියන්නේ අපේ ශරීරයට ඉතා ගුණැති කෑමක්. එනිසා අද මිහිර පෝස්ටරයෙන් අපි පලා වර්ග පිළිබඳ පුංචි ඔබ දැනුම්වත් කරන්නෙමු.
සාරණ
සාරණ ආහාරයට ගත් විට ලේ පිරිසුදු වෙයි. සම පැහැපත් වේ. ඇස්වලට හිතකර මෙය මලබද්ධය ඇතිවීම වළක්වයි. මූත්‍රා ආසාදනවලට ලක්වීම වළක්වයි. එමෙන්ම මූත්‍රාශයේ ගල් ඇතිවීම ද වළක්වයි. බුද්ධිය වර්ධනය වෙයි. මේ නිසා කුඩා ළමයින්ට ඉතා ගුණදායි පලා වර්ගයකි. තද කොළ පැහැති සිහින් දිගැටි පත්‍ර ඇති සාරණ, පරිප්පු දමා පිසගත්විට රසවත් ආහාරයකි.
කංකුං
කංකුං බත් සමඟ ආහාරයට ගැනීමෙන් ශරීර ශක්තිය වර්ධනය වනබව පැරැන්නන්ගේ විශ්වාසයයි. කංකුං අර්ශස් රෝගයට ද ගුණදායක අතර, ලේ පිරිසුදු කරයි. එමෙන්ම කංකුං ආහාරයට ගැනීමෙන් පහසුවෙන් මල පහ කිරීමට හැකියාවක් ඇති බව ද වෛද්‍ය මතයයි. අප්‍රාණික සිරුරකට කංකුං ඉස්ම පානය කිරීම මඟින් ශක්තිමත් බව ලැබේ. මෙම පලා වර්ගයේ විටමින් ඒ, ඕ, සහ ඛ් අඩංගු ය. ව්‍යංජනයක් ලෙස පිසගැනීමෙන් හෝ තෙල් දැමීමෙන් යන කුමන ආකාරයකට පිළියෙල කළත් කංකුං රසවත් ආහාරයකි.
මුගුණුවැන්න
මුගුණුවැන්න මඳක් තිත්ත රසයෙන් යුතු වුවත්, ගුණදායක ආහාරයකි. තෙලෙන් හෝ කිරි දමා පිස ගත්තත් මෙය රසවත් පලා වර්ගයකි. මෙහි විටමින් මෙන්ම කැල්සියම් ද අඩංගු වේ. එමෙන්ම මුගුණුවැන්න යකඩවලින් පොහොසත් ය. ඕවලාකාර හැඩයකින් යුක්ත පත්‍ර සහිත මෙම ශාකය පඳුරු සහ වැල් වශයෙන් ද තිබේ.
කිරි අඟුණ
මේ පලා වර්ගය ඖෂධීය කොළ වර්ගයකි. මෙහි කොළ දිලිසෙන ස්වභාවයෙන් යුක්ත වන අතර, රෝග රැසකට ගුණදායක ආහාරයකි. සෙම් රෝගය, සුදු කබර රෝගය, අර්ශස් රෝගය, වණ ගෙඩි ,අජීර්ණ, ඉදිමුම් සඳහා මෙය වඩාත් ගුණදායක ය. එමෙන්ම මානසික ආතතිය ඉහළ අය සඳහා කිරි අඟුණ ගුණදායක ඔසුවකි. කිරි අඟුණ මැල්ලුමක් ලෙස මෙන්ම මිටි කිරි දමා ව්‍යංජනයක් ලෙස ද පිළියෙල කළ හැකි ය.
තම්පලා
මෙහි පත්‍ර තනිව පිස ආහාරයට ගැනීමට හැකියාවක් ඇති අතර, පරිප්පු සමඟ මිශ්‍රකර ආහාරයට ගැනීම වඩාත් ගුණදායක වෙයි. මේ පත්‍ර වර්ගය ආහාරයට ගැනීමෙන් රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව බහුල වේ. එමෙන්ම ශරීරයේ ලේ වැඩීමට ගුණදායක ආහාරයකි. මෙමඟින් මලබද්ධය දුරු කරන අතර, දහදිය දුගඳ නැති කරයි. නාගරික පරිසරයක පෝච්චිවල වගා කිරීමට හැකි ය. ගම්බද පරිසරයේ බිම පාත්ති වශයෙන් සකසා වගා කිරීමට හැකියාව තිබේ.
තෙබු කොළ
තෙබු කොළ මැල්ලුමක් ලෙස ද පිළයෙල කරගත හැකි ය. මිටි කිරිවලින් පිසගත් කළ තවත් රසවත් ය. දියවැඩියාවට පමණක් නොව තවත් රෝග ගණනාවකට ද ඔසුවක් වන ගුණයක් මෙහි තිබේ. තෙබු ආහාරයට ගැනීමෙන් ශරීරයේ අධික උෂ්ණත්වය පාලනය කරන අතර, සිරුර සිසිල් කරයි. කුඩා ගෙවත්තක වුවත්, වගා කරගත හැකි මේ කොළ වර්ගය නිතර නිතර ආහාරයට ගැනීම සුදුසු නැත.
පැෂන් කොළ
පැෂන් කොළවල ඇති කෙඳී මඟින් මල සහ මූත්‍රා පිට කිරීම පහසු කරන අතර, අර්ශස් රෝගයට ද කදිම ඔසුවකි. ආහාර මාර්ගයේ ඇති වන බොහෝ රෝගී තත්ත්වයන් මෙය ආහාරයට ගැනීම නිසා වැළකෙයි. මේවා ආහාරයට ගැනීමෙන් පිළිකාමය සෛල වර්ධනයට ඇති ඉඩකඩ වැළකෙයි. අනෙකුත් කොළ සමඟ මිශ්‍ර කිරීමෙන් කවලම් පලා මැල්ලුමක් ලෙස ද ආහාරයට එකතු කරගැනීම වැදගත් වෙයි. එමෙන්ම මේ පැෂන් කොළප්රතිඔක්සිකාරක ගුණයෙන් යුතු වේ. රසවත් මෙන්ම ගුණවත් බවින් ඉහළ පැෂන් කොළ ගෙවත්තක වුවත් වගා කිරීමට හැකියාව තිබේ.
හාතාවාරිය
හාතාවාරිය කොළ කැඳ සෑදීමට ගනු ලබන අතර, සිහින්ව ලියා පොල් දමා ගත් විට රසවත් මැල්ලුමකි. මඳක් තිත්ත රසයෙන් යුතු වුවත්, මෙම මැල්ලුම ඉතා ගුණදායක ය. තද කොළ පැහැයෙන් යුතු සිහින් දිගටි කොළ නිසා ආහාර දිරවීමේදී පහසුවක් ගෙන දෙයි. සෙම් රෝග, කැස්ස, හිසේ කැක්කුම , මලබද්ධය දුරුකර ආහාර ගැනීම පහසු කරයි. සමෙහි ඇති ලප කැළැල් මකා දමා ශරීරය සිසිල් කිරීමේ ගුණයක් හාතාවාරිය කොළවල තිබෙයි.
කෙකටිය
කෙකටිය කොළ, තෙල් දැමූ විට රසවත් ආහාරයකි. මෙම පැළෑටිය ගංගාවල මෙන්ම ඇළ දොළවල ද වැඩෙයි. පඳුරු වශයෙන් වර්ධනය වීම නිසා දිය මත පාවෙන ස්වරූපයක් පෙන්නුම් කරයි. මෙහි මල් සුදු පාටට හුරු බවක් ගනියි. මල් ද දිගටි හැඩයකින් යුතු ය. මේ කොළ කෑමෙන් සිරුරට සිසිලසක් ගෙනෙ දෙයි. එමෙන්ම ආහාර ගැනීමේ රුචිකත්වය වැඩි කිරීමේ හැකියාවක් ද තිබේ. ගම්බද ජනතාවගේ රසවත් ආහාරයක් වන කෙකටිය නගරබද ජනතාව එතරම් ජනප්‍රිය නොකරයි. මේ කොළ ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් යුක්ත වෙයි.
ඉරමුසු
වැලක් ලෙස එතෙමින් වැඩෙන පැළෑටියකි. ඉරමුසු කැඳ ගුණයෙන් ඉහළ ය. කුෂ්ඨයක් ඇති අවස්ථාවලදී ඉරමුසු මුල් තම්බා බීම වඩාත් හොඳ ය. මූත්‍රා දැවිල්ලට මෙන්ම යටි බඩේ අමාරු සඳහා ද ඉරමුසු ගුණදායක ඔසුවකි. පත්‍රය මතුපිට සුදු පාට ඉරක් ඇති සිහින් දිගටි කොළය නිසා ඉරමුසු පැළෑටිය හඳුනා ගැනීම ඉතාමත් පහසු ය. කොළ කැඳ සෑදීමට මෙන්ම මෙහි ඉස්ම විවිධ කෂාය වර්ගවලට ද ඉතා ගුණදායක ය.
මොනරකුඩුම්බිය කොළ
මේ පැළෑටිය සෑම පළාතකම වැවෙන අතර, කැඳ සඳහා ඉතා වැදගත් පැළෑටියකි. මේ පැළෑටියේ නිල් සහ සුදු මලක් තිබේ. මොනරකුඩුම්බිය කැඳ අනෙකුත් ඔසු සමඟ මුසුකර ආහාරයට ගැනීමෙන් ශල්‍යකර්මයකින් තොරව මූත්‍රාශ ගල් දිය කරගැනීමේ හැකියාවක් තිබේ. මොනරකුඩුම්බිය තම්බා පානය කිරීමෙන් පහසුවෙන් මූත්‍රා පිට කිරීමට හැකියාව ලැබේ. අර්ශස් සහ පණු රෝග සඳහා මොනරකුඩුම්බිය කොළ ඉතා ගුණදායක ය. එමෙන්ම කලක් හොඳ නොවී පවතින තුවාලවල මස් ලියලෑමට ද මොනරකුඩුම්බිය කොළ ගුණදායක වේ.
ගොටුකොළ
වැල් ගොටුකොළ සහ ගස් ගොටුකොළ වශයෙන් ගොටුකොළ වර්ග දෙකකි. ගස් ගොටුකොළවල පත්‍ර ප්‍රමාණයෙන් විශාල අතර, වැල් ගොටුකොළවල පත්‍ර ඉතා කුඩා ය. පීනස් රෝගයට මෙන්ම සෙම් රෝගවලට ද ගොටුකොළ ඉතා ගුණදායක වෙයි. මූත්‍රා රෝග සමනය වීමට මෙන්ම සම පැහැපත්වීමට ද ගොටුකොළ ආහාරයට ගැනීම අවශ්‍ය වෙයි. උම්බලකඩ සහ වැඩිපුර රතු ලූනු යෙදූ ගොටුකොළ සම්බෝලය ඉතා රසවත් ය. විශේෂයෙන් අධ්‍යාපන ලබන දරුවන්ගේ ඥාන වර්ධනයට ගොටුකොළ ආහාරයට ගැනීම යෝග්‍ය වෙයි.