ආදරණීය දුවේ පුතේ,
ශ්‍රී ලංකාවේ පිහිටි ඓතිහාසික වශයෙන් වැදගත්කමක් උසුලන වලව්වක් පිළිබඳ තොරතුරු කියන්නයි අද මේ සූදානම. ඒ තමයි එක්නැළිගොඩ වලව්ව. දඹදෙණි රාජධානි යුගය දක්වා දිවයන ඉතිහාසයක් ඇති මෙම වලව්ව රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට ප්‍රදේශයේ පිහිටා ඇත.
අක් රක් කුරුප්පු මහීපාල වික්‍රමසිංහ බස්නායක මුදියන්සේලාගේ යන පෙළපත් නාමයෙන් හැඳීන්වෙන මෙම පරම්පරාවේ ආරම්භකයා වන්නේ දෙවැනි පරාක්‍රමබාහු රජුගේ අගමැතිවරයා වූ ආර්ය නම් පුද්ගලයා ය.
වර්තමානයේ දැකිය හැකි එක්නැළිගොඩ වලව්ව ඉදිකර ඇත්තේ 1829 දී ය. එක්නැළිගොඩ කළු බස්නායක නිලමේ විසින් 1800දී හෝ ඒ ආසන්න කාලයේදී ඉදි කරන ලද වලව්ව ගරා වැටෙමින් තිබූ නිසා දෙවැනි දිසාව විසින් වර්තමානයේ දැකිය හැකි වලව්ව ඉදිකර තිබේ. මෙම වලව්ව ඉදිකර ඇත්තේ සබරගමු සමන් මහා දේවාලයේ රාජකාරිකරුවන් ලවා ය. මෙහි දක්නට හැකි ගෘහ නිර්මාණ ලක්ෂණ බොහෝ දුරට ඕලන්ද ගෘහ නිර්මාණ ලක්ෂණ හා සමපාත වෙයි. එහි වහල ඉතා ශක්තිමත් දැවයෙන් නිර්මාණය කර ඇති අතර, බිත්ති සාදා ඇත්තේ කළුගල් හා මැටි යොදා ගැනීමෙනි. සිංහල උළු සෙවිලිකර ඇත. බිත්ති බැ¼දීම සඳහා හුඹස් මැටි සහ හුනු බඹර පැණි හා උක් පැණි සමඟ මිශ්‍රකර සාදා ගත් බදාමයක් යොදාගෙන තිබේ. එහි ගෙබිමෙහි පිඟන් ගඩොල් අතුරා ඇති අතර, ඒවා සකස් කර ඇත්තේ වළං සෑදීම සඳහා යොදා ගන්නා මැටි විශේෂයකිනි.
මෙය තනි මහලක් වශයෙන් සාදා ඇත. එහි කොටසක පමණක් සොල්දරයක් තබා ඇති අතර, එය අතීතයේදී අවි ආයුධ ගබඩා කිරීම සඳහා භාවිතකර තිබේ. මෙහි අඩි 60ක් දිග හා අඩි හතක පළලෙන් යුත් විවෘත ආලින්දයක් ඉදිරිපස කොටසේ ඇති අතර, අඟල් දහ අටක වට ප්‍රමාණයෙන් යුත් විශාල කුලුනු හතක් දැකිය හැකි ය. පිටුපසින් තවත් ආලින්දයකි.
ඉදිරිපස තවත් අඩි දහයක පළලෙන් යුතු ආලින්දයකි. එහි ද දැවයෙන් කළ කණු දැකිය හැකි ය. එයට යාබදව අතීතයේදී දග්ගෙයි නැටුම් පැවැත්වූ අඩි අසූවක දිගින් හා අඩි හතළිහක පළලින් යුතු විශාල මැද මිදුලක් දක්නට ලැබේ. ඒවාට අමතරව කාර්යාලයක්, උපස්ථායක කාමරයක්, අමුත්තන් සඳහා වෙන් වූ ආලින්දයක්, නිදන කාමර හතක්, විශේෂ අමුත්තන් සඳහා වෙන් වූ ආලින්දයක්, කෑම කාමරයක්, බුදු කුටියක්, පවුලේ අය සඳහා වෙන් වූ ආලින්දයක්, ගබඩාවක්, දරුවන් සඳහා වූ කෑම කාමරයක්, වැසිකිළියක්, සේවක සේවිකාවන් සඳහා නිදන කාමර, මුළුතැන්ගෙය, මැද මිදුල යන කොටස් ද මෙම වලව්වෙහි පිහිටා ඇත. වර්තමානයේ පවා නිවෙසක දැකිය හැකි දිගින් වැඩිම කෑම මේසය දක්නට හැක්කේ මෙම වලව්වේ ය. වර්තමානයේ මෙම වලව්වේ හිමිකාරීත්වය සල්පිටි කෝරළේ වාසල මුදලි ජොහාන් පවුලස් පීරිස් දැරණියගල සමරසිංහ සිරිවර්ධනයන්ගෙන් පැවත ගෙන එන දැරණියගල පරපුර සතු ය.
ලක්නා නිරෝෂිමාලා