Home » Blog »  රට රටවල ජනතාව නව වසරක උදාව සමරන අයුරු

 රට රටවල ජනතාව නව වසරක උදාව සමරන අයුරු

by thanushika
0 comments

විවිධ රටවල ජනතාව නව වසරේ උදාව සමරන ආකාරය එකිනෙකට වෙනස් ය. මෙහිදී ඔවුහු තම තමන්ගේ රටට ආවේණික වූ චාරිත්‍ර ඉටු කරති. එම චාරිත්‍ර සමරන වේලාව ද ඔවුහුම තීරණය කරති. මේ අනුව එකිනෙකට වෙනස්ම වූ ක්‍රමවේද ඔවුහු අනුගමනය කරති. මේ අයුරින් විවිධ පිළිවෙත් අනුගමනය කරන රටවල් කිහිපයක් පිළිබඳ ඔබට කියන්නයි මේ සූදානම. ඉතින් දුවේ පුතේ, මිහිර පෝස්ටරයෙන් අප මේ කියන කතාව කියවලා බලන්නකෝ. ඒ චාරිත්‍ර අපේ රටට අනුව නම් අරුම පුදුම ඒවා වේවි.

ස්විට්සර්ලන්තය

ස්විට්සර්ලන්තයේ නව අවුරුදු උදාව සමරන්නේ අලුත්ම ආකාරයකට ය. මෙහිදී ඔවුහු ද නව අවුරුදු උදාව සැමරීම සඳහා අලුත් චාරිත්‍රයක් අනුගමනය කරති. එහිදී ඔවුන් කරන්නේ තමන්ගේ නිවෙසේම සාදාගත් අයිස් ක්‍රීම් නිවෙස පුරා ඉස සුබාසිරි පැතීමයි. මේ චාරිත්‍රය ඉටු කිරීම සඳහා විශේෂයෙන්ම සහභාගි වන්නේ කුඩා දරුවන් ය. ඔවුහු මේ අවස්ථාව සෙල්ලම් කරමින් ඉතා ප්‍රීතියෙන් සමරති.

ඩෙන්මාර්කය

ඩෙන්මාර්කයේ වැඩිහිටියන් මෙන්ම දරුවෝ ද චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳ සැලකිලිමත් වෙති. මෙහිදී ගෙවී ගිය අවුරුද්දේ තිබුණු වස් දොස් හැර, නව අවුරුද්ද පිළිගැනීමට ජනතාව සූදානම් වෙති. මේ වෙනුවෙන් ඔවුහු අපූරු චාරිත්‍රයක් කරති. ඒ තමන්ගේ ගෙදර ඇති පරණ පිඟන් බිඳ දැමීමයි. මෙය සිදු කරන්නේ අවුරුදු උදා වෙන මධ්‍යම රාත්‍රියේදියි. ඩෙන්මාර්කයේ වැසියෝ සිය නිවෙසේ ඉදිරි දොර අසල මේ චාරිත්‍රය සිදු කරති. මේ නිසා නව අවුරුදු උදාවෙන දිනයේදී රාත්‍රියේදී මහත් ශබ්දයක් ඇසෙයි.

බොලීවියාව

නව වසර උදා වීම වෙනුවෙන් බොලීවියානුවෝ අමුතු උත්සවයක් සූදානම් කරති. ඒ තමයි කේක් පිරිනැමීමේ උත්සවය. ඒ උත්සවයේදී බොලීවියානු වැසියෝ කේක් සූදානම් කරති. මේ සූදානම් කරන කේක් අතරේ කාසි තැබූ කේක් එකක් ද තිබේ. එම කේක් එක ලැබුණු පුද්ගලයා අවුරුද්දේම වාසනාවන්තයා ලෙස බොලීවියානුවෝ විශ්වාස කරති.

බෙල්ජියම

බෙල්ජියම කෘෂිකර්මය මූලික කරගත් රටකි. මේ නිසා ඔවුන් අවුරුද්ද ලබන අවස්ථාවේදී මුලින්ම කරනුයේ ගවමඩුවට ගොස් ගවයන්ට සුබ පැතීමයි. මෙහිදී එලෙස ඔවුන් සුබ පතන්නේ ගවයා ඉටු කරන කෘෂිකාර්මික සේවය නිසා ය. මෙය ඔවුන්ගේ නව වසරේ ප්‍රධාන චාරිත්‍රයක් ලෙස ඔවුහු සලකති.

ස්පාඤ්ඤය

මෙහි ජනතාව ඝන්ඨාර නාදයක් අපේක්ෂාවෙන් කාලය ගත කරති. මෙහිදී මොවුහු මිදි ගෙඩි දොළහක් සකස් කරගෙන සිටිති. මේ නාදය ඇසීමත් සමඟ ඔවුහු තමන් සකසාගෙන ඇති මිදි ආහාරයට ගනිති. මෙහිදී වර්ෂයේ මාස දොළහම සෞභාග්‍ය උතුරා යන එකක් යැයි ස්පාඤ්ඤයේ වැසියෝ විශ්වාස කරති.

ඉරාකය

ඉරාකයේ වැසියෝ නව අවුරුදු උදාව සැමරීමට ගිනි මැළයකින් අනෙක් පසට පනිති. මෙය ඉරාක වැසියන් කරන්නේ තමන් වාසයක කරන ස්ථානයේ සාදාගත් කුඩා ගිනි මැළයකට ඉහළින් පැන සිය වස්දොස් යන ලෙස ප්‍රාර්ථනා කිරීමෙන් ය.

චිලී

චිලී රටේ ජනතාව නව අවුරුදු උදාව වෙනුවෙන් සිදුකරන්නේ අලුත්ම චාරිත්‍රයකි. මේ චාරිත්‍රයේදී ඔවුහු පැරැණි අවුරුද්දේ රාත්‍රියේදී කනත්තක නිදා ගනිති. මෙහිදී ඔවුන් එලෙස කරනුයේ නව වසරේදී ඔවුන්ගේ නෑදෑයන් තනි නොකරන බවට පොරොන්දු වෙමිනි. මෙය ඉතා භයානක චාරිත්‍රයක් යැයි ඔබට සිතෙයි. එහෙත් මේ චාරිත්‍රය චිලී වැසියන් අතර ජනප්‍රිය ය.

ජපානය

නව අවුරුදු උදාවේදී ජපානයේ වැසියෝ නව චාරිත්‍රයකට පිවිසෙති. ඔවුහු සීනුවක් ගෙන නාද කිරීමට පටන් ගනිති. මෙහිදී සීනුව එකසිය අට වතාවක් නාද කිරීමෙන් ජනතාවට සෙත් ප්‍රාර්ථනා කරති. සීනුව නාද කිරීමෙන් නපුරු බලවේග පලා යනවා ඇතැයි ඔවුහු විශ්වාස කරති. නපුරු බලවේග පලවා හැරීමෙන් පසු ලබන්නා වූ නව වසර සුබ වසරක් වේවි යැයි ජපානයේ වැසියෝ විශ්වාස කරති.

ඉක්වදෝරය

ඉක්වදෝරයේ වැසියන් නව වසර සමරන්නේ නවතම ආකාරයකටයි. මෙහිදී ඔවුහු පඹයකු සාදති.

ඒ පඹයා සියලුදෙනාම එකතුවී පුලුස්සා දමති.මෙහිදී පසුගිය වසරේ වස් දොස් පහවී යාවී යැයි ඉක්වදෝර් වැසියෝ විශ්වාස කරති. එළඹෙන්නා වූ නව වසර ඉතා සෞභාග්‍යයෙන් පිරුණු වසරක් යැයි මොවුහු විශ්වාස කරති.

ප්‍රංශය


ප්‍රංශ වැසියන් අලුත් අවුරුදු උදාව සමරන්නේ අලුත්ම ආකාරයකට ය. එහිදී ඔවුහු අලුත්ම පෑන් කේක් එකක් පිළියෙල කරති. සියලුම ආකාරයේ පැණි වර්ග යොදා සාදන මේ පෑන් කේක් එක ඉතා රසවත් ය. මේ රසවත් පෑන් කේක් එක තමන්ගේ අසල්වැසියන්ට පිරිනැමීමෙන් ඔවුන්ට ආශිර්වාද කිරීම ප්‍රංශයේ පැරැණි චාරිත්‍රයකි. මේ චාරිත්‍රයට ද කුඩා දරුවෝ බෙහෙවින් කැමැත්තක් දක්වති.


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department