මාර්ටින් වික්‍රමසිංහ සූරීන් සිය ගණනක් පොත් ලියා කොග්ගල මහා ප්‍රාඥයා බවට පත්වූවා සේම කැලණි ගංමිටියාවතින් කඩුවෙල මූලික කරගෙන කවිය අවිය කරගත්, පොත් සිය ගණනක් ලියූ ගත්කතුවරයකු ද බිහි වී තිබේ. ළමා ලෝකයේ ප්රමුඛ වූ මෙතුමා ඇලඩින්ගේ පුදුම පහන, මහ දැනමුත්තා හා ගෝලයෝ රොත්ත, අන්දරේ හා රජ වාසල කවටයෝ, වැනීසියේ වෙළෙන්දා ආදී ළමා කතාවල නිර්මාතෘවරයා ය. ඉතිහාසය, පුරාවෘත්ත හා ජනශ්රැති පිළිබඳ මනා අවබෝධයක් තිබූ වී. ඩී. ද ලැනරෝල් සූරීන් ද, පොත් සිය ගණන් ලියු පෙරළිකාර ගත් කතුවරයෙකි. ශ්‍රී ලංකාවේ පළමු කෙටි කතාව වූ දිනමිණ පුවත්පතේ 1923 පළ වූ “උපාසක මහත්තයා” එතුමාගේ නිර්මාණයකි. කොල්ලුපිටියේ ජිනරජ පාසලේ විදුහල්පතිවරයා ලෙසත්,
එම්. ඩී. ගුණසේන සමාගම් ප්‍රකාශන අංශයේ ප්‍රධානියා ලෙසත්, සිංහල බෞද්ධයා පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා ලෙසත්, ඇලඩින්ගේ පුදුම පහන, මහ දැනමුත්තා හා ගෝලයෝ රොත්ත, අන්දරේ හා රජ වාසල, සින්බෑඩ් නැවියා, වෙස්සන්තර කාව්‍ය, වැනීසියේ වෙළෙන්දා, පවුලේ වාසනාව, උපාසක බළලා, මාගේ පුත්‍රයා, මහත්මා ගාන්ධි ආදර්ශ කතා, කැකිල්ලේ රජ්ජුරුවෝ, කතා මල්දම, කවීන්ද්‍රයා, ළමා කවි කළඹ, සිංහල කාව්‍ය, ගොයම් කවි, මලාවි සන්දේශය, සිංහල ජන කවි, දෑ කවි කළඹ, බටහිර මාණික්‍යය, තොවිල් කවි, හපන්කම්, මෝඩකම් සහ පුරසාරකම්, අමල් බිසෝ, කුමාර් ශික්ෂා, පියසිරිගේ පාසල් සමය, මසුරු සිටාමෝ, වීදුර පණ්ඩිතයෝ, අතීත කතා රත්නය, යටගිය දවස, සිල් මෝල, මිහිරි වදන්, කවටයෝ, මදුරු සංදේශය, ලංකා ඉතිහාසය, තරුණියන්ට අවවාදය, ප්‍රාථමික නිශ්ශබ්ද කියවීම, නාගමාණිකාව හා කතා, උපාසක බළලා, ලංකා පුරාවෘත්ත ආදී වශයෙන්
පොත් සිය ගණනක් ලියූ වී. ඩී. ද ලැනරෝල් ශී‍්‍රමතාණන්ගේ සීයා ප්‍රංශයේ ආදිපාදිවරයකු වූ නැන්ක්ලැටර්ස් ඩක් ඩී. ලානරෝල් වර්ෂ 1670 මාර්තු 30 වැනි දින ත්‍රිකුණාමල වරයෙන් ලංකාවට සේන්දු වී මහනුවර රජ මාලිගාව බලා පිටත් විය. එහිදී රාජ උදහසට ලක්ව දෙවැනි රාජසිංහ රජුගේ දඬුවමට ලක් වූවත් 1687දී දෙවැනි රාජසිංහ රජු මිය ගියෙන් අභිනවයෙන් පත් වූ 2 වැනි විමලධර්මසූරිය මහරජතුමා වෙත පඬුරු පාක්කුඩම් පිරිනමා මිතුරු වී මහනුවර රාජධානියේ සත්කෝරලයේ උඩ කෝට්ටේ මුල්ලේ රාජගුරු මුදියන්සේගේ දියණිය සමඟ විවාහ විය. ඔවුනට ජේමිස් ඩක් ඩී. ලානරොල් නම් පුතුණුවන් ලැබිණි. පසු කලෙක ඔහු තම නම් වෙනස් කරගත් අතර, ඩක් ඩී. වෙනුවට ඩියුක් ලෙසත්. ලානරොල් වෙනුවට ලැනරෝල් ලෙසත්, සිංහල බෞද්ධයෙක් බවට පත්විය.
මෙකල මහනුවර සුදුහුම්පල රජමහා විහාරයේ විහාරාධිපතීන් වහන්සේ වූ කඩුවෙල අත්තදස්සි හිමියන් ළඟින් ඇසුර කළ නිසාදෝ ජේමිස් ලැනරෝල් පහතරට කඩුවෙලට නුදුරින් වූ මුල්ලේරියාවේ පදිංචිව සිටි කටුගම්පලගේ දෝන ලූසියානා ද සිල්වා සමඟ විවාහ වී
කඩුවෙල නගර ආසන්නයේ ඇති කෙතෙවත්තේ පදිංචි විය. ඒ අනුව, ඔහුගේ පුතා හෙවත් අපේ කතානායකයා වික්ටර් ඩියුක් ද ලැනරෝල් 1893 දෙසැම්බර් 25 උපත ලැබීය. ඔහුට පසු ජුලියස් ද ලැනරෝල් (සිංහල ඉංග්‍රීසි ශබ්ද කෝෂයේ ප්‍රථම කර්තෘ) සැමුවෙල් ඩියුක් ලැනරෝල් (ගත් කතුවරයෙක්), කුලසිංහ ඩියුක් ලැනරෝල් (කොළඹ ආනන්ද විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ විදුහල්පති) සහෝදරයන් 3 දෙනෙක් ඉපදුණු අතර, ඔවුන් සියලු දෙනාම සිංහල සාහිත්‍යයට අමරණීය සේවයක් කරනලද ලැනරෝල්වරුන් ලෙස ඉතිහාසයට එක් වී ඇත. බෝමිරිය ආණ්ඩුව ද්විභාෂා පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබූ මෙතුමා, පසුව කොළඹ තර්ස්ටන් පාරේ පිහිටා තිබූ ආණ්ඩුවේ ගුරු අභ්‍යාස විද්‍යාලයෙන් පුහුණුව ලැබීය. අනතුරුව හික්කඩුව ද්විභාෂා පාසලේ ගුරු පත්වීමක් ලැබ සේවය කළ අතර, එයින් ඉවත් වී ශ්‍රී විජය පාසලේ විදුහල්පතිවරයා වශයෙන් සේවය කළේ ය. අනතුරුව, කොල්ලුපිටිය පොල්වත්තේ ජිනරාජ බෞද්ධ පාසලේ විදුහල්පතිවරයා ලෙස පත් විය. ඉන් පසු පූර්ණකාලීනව ලේඛන කලාවට යොමු වූ මෙතුමා සිළුමිණ හා ලංකාදීප පුවත්පත්වල කර්තෘවරයා වශයෙන් ද, අනතුරුව සිංහල බෞද්ධයා පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා වශයෙන් ද ශී‍්‍රමත් අනගාරික ධර්මපාලතුමා සමඟ සම්බන්ධ වී සිංහල ජාතියේත් සම්බුද්ධ ශාසනයේත් චිරස්ථීතිය වෙනුවෙන් අනුපමේය සේවයක් ඉටු කළේ ය.
හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් තම මිත්‍රයා වී. ඩී. ද ලැනරෝල් පිළිබඳ ඔහුගේ ”උපන්දා සිට” කෘතියේ සඳහන් කරමින් ඔහු ඉතා ලෙන්ගතුව තමන් සමඟ කටයුතු කළ බව දක්වයි.
මෙලෙස සිංහල සාහිත්‍යය වෙනුවෙන් පොත් 100ක් පමණ ලියූ මෙතුමා ළමයි වෙනුවෙන් පොත් ලියු ප්‍රමුඛයකු ලෙස ද, කවිය අවිය කරගෙන කටයුතු කළ ලේඛකයකු ලෙස ද, ඉතිහාසය පිළිබඳ මනා අවබෝධයකින් “ලංකා ඉතිහාසය” ලංකා පුරාවෘත්ත වැනි ග්රන්ථ ඉදිරිපත් කිරීමෙන් ද, මදුර සංදේශය, මලව සංදේශය වැනි ප්‍රකට සාහිත්‍ය කෘති ඉදිරිපත් කරමින් තම යුතුකම් නොපිරිහෙලා ඉටු කළ මිනිසකු ලෙස ද, ඉතිහාසයට එක් වී සිටියි.
මොහු 1977 ජූනි මාසයේ 20 වැනිදා අභාවප්‍රාප්ත වූයේ ය
දේශබන්දු චන්දන උපාලි පෙරේරා