ගහ කොළ නැති ප්‍රදේශක සිටීමට සිදු වුවහොත් ඔබට කුමන හැඟීමක් ඇති වේද? ඔබට හිතාගන්නවත් බැහැ නේද? ඉතින් දුවේ පුතේ, අපට සෙත සහ සුවය සලසන බොහෝ ගහ කොළ අප ජීවත් වෙන පරිසරයේ තිබෙනවා. මේ ගහ කොළ පිළිබඳ ඔබට අවබෝධයක් මේ වන විටත් තිබෙනවා ඇති. අද අප ඔබට කියන්න සූදානම් වන්නේ එම ගහ කොළ වැවෙන ප්‍රදේශ අනුව බෙදා වෙන් කිරීම පිළිබඳයි. ඒ කියන්නේ ස්වාභාවික වෘක්ෂලතා කලාප පිළිබඳයි. ඉතින් දුවේ පුතේ, කියවලා බලන්නකෝ මේ ගැන කතාව.
නිවර්තන තෙත් සදාහරිත වනාන්තර
වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 2500ට වඩා වැඩි මුහුදු මට්ටමේ සිට උස මීටර් 1000ක් පමණ වූ තෙත් කාලගුණයක් සහිත ප්‍රදේශවල වැවෙන වනාන්තර මෙම වර්ගයට අයත් වේ. මෙම වනාන්තර පිහිටි ප්‍රදේශවල සාමාන්‍ය උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් 25ට වඩා අඩුවන අතර, සාපේක්ෂ ආර්ද්‍රතාව 75% – 85%ත් අතර වේ.
මෙම වනාන්තරවල දක්නට ලැබෙන විශේෂත්වයන් මෙසේ ය. මෙම වනාන්තරවල ශාක ස්තර කිහිපයකට බෙදී පවතියි. වඩාත්ම උස ශාක මීටර් 45ක් තරම් උසට වැඩෙන අතර, ඒවා වනාන්තරයේ තැනින් තැන දක්නට ලැබේ. ඒවගේම මීටර් 30ක් පමණ උසට වැඩෙන තුරු මුදුන් සහිත වියනක් දක්නට ඇත. වියන් ස්තරයට යටින් යටි වියනක් දක්නට ඇත. ඊට පහළින් පඳුරු ස්තරය දැක ගත හැකියි. එයින් පසු යටි වගාව හෙවත් බිම් වැස්ම දක්නට ලැබේ.
මෙම වනාන්තරවලට උදාහරණ ලෙස සිංහරාජය, නාකියාදෙණිය, විහාර කැලේ, කන්නෙලිය වැනි වනාන්තර දැක්විය හැකියි. අපේ රටේ භූමි ප්‍රමාණයෙන් 2.14%ක ප්‍රමාණයක් පුරා මෙම වනාන්තර පැතිරී තිබේ.
කඳුකර වනාන්තර
වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 1800ට වඩා වැඩි මුහුදු මට්ටමේ සිට මීටර් 1500ට වඩා වැඩි වූ ප්‍රදේශවල දක්නට ලැබෙන වනාන්තර මේ නමින් හැඳීන් වේ. මෙම වනාන්තර පිහිටි ප්‍රදේශවල සාමාන්‍ය උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 15ක් පමණ වේ. එහි ශාක මීටර් 10 – 15ක් පමණ උස් වන අතර, කඳ සහ අතු ඇඹරුණු සහ ගැට සහිත ස්වරූපයක් ගනී. වියන් ස්තරයකුත්, ඊට යටින් පිහිටි කුඩා ශාක සහිත පඳුරු ස්තරයකුත් දක්නට ඇත. හග්ගල, කිකිළියාමාන, මීපිලිමාන වැනි ප්‍රදේශවල පිහිටි වනාන්තර මෙම වර්ගයට අයත් වන අතර, අපේ රටේ මුළු භූමි ප්‍රමාණයෙන් 0.05ක පමණ ප්‍රදේශයක පැතිර පවතී.
උප කඳුකර වනාන්තර
වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 1800ට වඩා අඩු, මුහුදු මට්ටමින් මීටර් 1000ත් 1500ත් අතර පිහිටි ප්‍රදේශවල පැතිර පවත්නා වනාන්තර මේ නමින් හැඳීන්වෙයි. මෙම වනාන්තර පිහිටි ප්‍රදේශවල සාමාන්‍ය උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 15-20ක් පමණ වන අතර, එහි උබ්බේරිය, ගුරුකීන, දොඹ වර්ග ආදිය බහුලව වැවේ. දිවයිනේ ප්‍රධාන ගංගා කිහිපයක් මෙම උප කඳුකර වනාන්තරවලින් ආරම්භ වන අතර, ජෛව විවිධත්වය අතින් මෙම කලාපය ඉතා වැදගත් ස්ථානයක් උසුලයි. මෙම උප කඳුකර වනාන්තරයකට උදාහරණ ලෙස සමනල කඳු වැටි ආශ්‍රිත වනාන්තරය දැක්විය හැකි අතර, ශ්‍රී ලංකාවේ මුළු බිම් ප්‍රමාණයෙන් 1.04%ක් පමණ ප්‍රදේශයක පැතිරී පවතී.
තෙත් මෝසම් වනාන්තර
වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 1800 – 2500 අතර හා මුහුදු මට්ටමේ සිට උස මීටර් 1000ට වඩා පහළ ප්‍රදේශවල දක්නට ලැබෙන වනාන්තර මේ නමින් හැඳීන්වේ. කුරුණෑගල, මොනරාගල යන ප්‍රදේශවල මෙම වනාන්තර දක්නට ලැබෙන අතර, එයින් වැඩි ප්‍රමාණයක් එළිකර ජනාවාස හා කෘෂිකාර්මික යෝජනා ක්‍රම ඇතිකර තිබේ. මෙහි ඇති ශාක විශේෂ අතර, වල් දෙල්, මිල්ල, පිහිඹිය, මොර ආදිය බහුලව දක්නට ලැබෙන අතර, ශ්‍රී ලංකාවේ මුළු භූමි ප්‍රමාණයෙන් 3.68%ක් වැසී ඇත්තේ මෙම වනාන්තරවලිනි.
වියළි මෝසම් වනාන්තර
වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 1000 – 1800 අතර සහ මුහුදු මට්ටමේ සිට උස මීටර් 600 ට වඩා අඩු ප්‍රදේශවල වැවෙන වනාන්තර වර්ග මීට අයත් ය. වසරේ උපරිම වර්ෂාපතනයක් ඔක්තෝබර් හා ජනවාරි මාසවලදී ලැබෙන අතර, මාස 3 -6 දක්වා කාලයක් අධික වියළි කාලයක් පවතී. අපේ රටේ මුළු බිම් ප්‍රමාණයෙන් 16.45%ක් පුරා මෙම කලාපය පැතිර පවතී.
කඩොලාන වනාන්තර
කඩොලාන වෙරළබඩ පරිසරයට අනුවර්තනය වූ වෘක්ෂලතා විශේෂයකි. පාරිසරික හා ආර්ථික වශයෙන් වැදගත් මෙම කඩොලාන අපේ රටේ මුළු බිම් ප්‍රමාණයෙන් 0.13%ක් තරම් ය. එය හෙක්ටයාර්වලින් නම් 10,000ක පමණ ප්‍රදේශයක පැතිර තිබේ. මේ පරිසර පද්ධතියට පමණක් ආවේණික කඩොලාන සත්‍ය කඩොලාන ලෙස හැඳීන්වෙන අතර, අනෙකුත් පරිසර පද්ධතීන්ගේ ද පවතින කඩොලාන ශාක ආශ්‍රිත කඩොලාන ලෙස හැඳීන්වේ. කළපු ගං මෝය ඛාදනය වළකයි. මසුන්, පක්ෂීන් හා තවත් බොහෝ ජලජ ජීවීන්ගේ බෝවීමේ වර්ධනයට සුදුසු පරිසරයක් වීම වැනි පාරිසරික වශයෙන් ඉතා වැදගත් කමක් උසුලන මේ කඩොලාන වනාන්තර වෙරළ ඛාදනයෙන් ආරක්ෂා කරයි.
ගංගාධාර ආශ්‍රිත වනාන්තර
වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 1000 – 1800ත් අතර, මුහුදු මට්ටමේ සිට උස මීටර් 600ට වඩා අඩු ප්‍රදේශවලට ගංගා ආශ්‍රිත පිටාර තැනිතලා හා ගංගා නිම්නවල විසිරී ඇති වනාන්තර මේ නමින් හැඳීන් වේ. කුඹුක්, මී, කොට්ටන්, ගැඩුම වැනි ශාක මෙහි විශේෂයෙන් දක්නට ඇත.
ලඳු කැලෑ
වයඹ දිග ප්‍රදේශයේ පුත්තලම දිස්ත්‍රික්කයේත්, ගිනිකොන දිග ප්‍රදේශයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ලඳු කැලෑ රොදවල් බහුලව දක්නට ලැබෙන අතර, මෙම කැලෑ ප්‍රදේශවල වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 1250ක් පමණ වේ. ජලය අඩු පරිසරයක ජීවත්වීමට හැකි වන පරිදි පත්‍ර කුඩාවට පිහිටි කටු පඳුරු සහිත ශාක මෙම වන රොදවල දැකගත හැකි ය. රණවරා, කරඹ, එරමිණියා වැනි ශාක මෙම ප්‍රදේශවල බහුලව වැඩෙයි.
නිශාරා බමුණුසිංහ