Home » Blog » Big Ben

Big Ben

( බිග් බෙන් ඔරලෝසු කුලුන)

by thanushika
0 comments

බිග් බෙන් ඔරලෝසු කුලුන ලන්ඩන් නුවර වෙස්ට්මිනිස්ටර්හි පිහිටා ඇත. මෙය මහා සීනුව ලෙස ද හඳුන්වනු ලබයි. සරලව ඔරලෝසු කුලුන ලෙස මෙය හැඳීන්වූවත් වර්ෂ 2012දී දෙවැනි එලිසබෙත් රැජනගේ දියමන්ති ජුබිලිය සනිටුහන් කිරීම සඳහා  Elizabeth Tower ලෙස නම් කෙරුණි . ශ්‍රීමත් චාල්ස් බැරී සහ ඔගස්ටස් ජුගින් විසින් මෙම ඔරලෝසු කුලුන නිර්මාණයකර ඇත. බිග් බෙන් ඔරලෝසුවේ ඉදිකිරීම් වර්ෂ 1859දී නිම කෙරුණි. මෙය ගල් කැටයම්වලින් සරසා ඇති අතර, එක්සත් රාජධානියේ සහ ඇන්ග්ලෝ-වේල්ස් ටියුඩර් රාජවංශයේ ජාතීන් හතරට අදාළ සංකේතවලින් සරසා ඇත. ඉතින් මේ සූදානම පුංචි දූලා පුතාලට බිග් බෙන් ඔරලෝසු කුලුන පිළිබඳ තොරතුරු රැගෙන එන්නයි.

එලිසබෙත් කුලුන ප්‍රථමයෙන් ඔරලෝසු කණුවක් ලෙස නම් කරන ලද අතර, පසුව මෙය බිග් බෙන් ලෙස ජනපි‍්‍රය වී ඇත. පැරැණි මාලිගය ඔක්තෝබර් 16 වැනි දින ගින්නෙන් විනාශ විය. එයින් පසු වෙස්ට්මිනිස්ටර්හි නව මාලිගාවක් සඳහා චාල්ස් බැරීගේ සැලසුමේ කොටසක් ලෙස මෙම ඔරලෝසු කුලුන ඉදි කෙරුණි. මෙම ඔරලෝසු කුලුනේ ඉදිකිරීම් වර්ෂ 1843 සැප්තැම්බර් 28 වැනි දින ආරම්භ විය. ගොඩනැඟිලි කොන්ත්‍රාත්කරුවන් වූයේ තෝමස් ග්‍රිසෙල් සහ මෝර්ටන් පෙටෝ ය. පාර්ලිමේන්තු ලේඛනාගාරයේ ලියා ඇති තුණ්ඩුවක සටහන් වන්නේ පෙටෝගේ ලේලියගේ සහෝදරිය වන එමිලිට මෙහි මුල් ගල තැබීමේ ගෞරවය හිමි වූ බවයි.

බිග් බෙන් ඔරලෝසු කුලුන එක්සත් රාජධානියේ තුන්වැනි උසම ඔරලෝසු කුලුනයි. මෙම ඔරලෝසු කුලුන අඩි 316ක් පමණ උසකින් යුක්ත වේ. මෙහි පාදම හතරැස් වන අතර, සෑම පැත්තකින්ම අඩි 40ක ප්‍රමාණයේ, අඩි 12 ඝනකමක් ඇති කොන්ක්‍රීට් අත්තිවාරමක් මත මෙම කුලුන රැඳෙයි. ඔරලෝසුවේ මුහුණතෙහි විෂ්කම්භය අඩි 22.5ක් පමණ වේ. මෙම කුලුනේ මුදුන වාත්තු යකඩ වහලවල් සිය ගණනකින් ආවරණය වී තිබේ. ඔරලෝසු කාමරය දක්වා ගල් පඩි 290ක් සහිත සර්පිලාකාර පඩිපෙළක් ඇත. එයින් පසු බෙල්ෆ්රි වෙත ළඟා වීමට ගල් පඩි 44ක් සහ තවත් අමතර ගල් පඩි 59ක් කොත මුදුනට තිබේ. බෙල්ෆ්‍රි සහ අයර්ටන් ආලෝකයට ඉහළින් එක්සත් රාජධානියේ රටවල් හතරේ ජාතික ලාංඡනවලින් සරසා ඇති පලිහ 52ක් ඇත. පාර්ලිමේන්තුවේ සභා දෙකම සංකේතවත් කරන පෝට්කුලිස් සහ fleurs-de-lis  මෙහි තිබේ.

ප්‍රධාන සීනුව ග්‍රේට් බෙල් ලෙස හඳුන්වන අතර, එය බිග් බෙන් ලෙස ද හඳුන්වයි. කුලුනේ ඇති විශාලතම සීනුව සහ වෙස්ට්මිනිස්ටර් මහා ඔරලෝසුවේ කොටස වේ.එය E-natural ලෙස ශබ්ද කරයි .වික්ටෝරියා රැජනට ගෞරවයක් වශයෙන් සීනුව මුලින් “වික්ටෝරියා” හෝ “රාජකීය වික්ටෝරියා” ලෙස හඳුන්වා ඇති බව කියැවේ. එහෙත් පාර්ලිමේන්තු විවාදයකදී මන්ත්‍රීවරයකු විසින් සීනුවෙහි වත්මන් අන්වර්ථ නාමය ලෙස “බිග් බෙන්” ලෙස යෝජනා කරන ලදි. සීනුව වර්ෂ 1858 අප්‍රේල් 10 වැනි දින එWhitechapel Bell Foundry හි ටොන් 13.5ක සීනුවක් ලෙස ප්‍රතිනිර්මාණය කරන ලදි.

බිග් බෙන් ඔරලෝසුවේ නාදය අවස්ථා හතරකදී රජවරුන්ගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවවලදී භාවිතකර ඇත. පළමුව වර්ෂ 1910 දී VII එඩ්වඩ් රජුගේ අවමංගල්‍යයේදී, දෙවනුව වර්ෂ 1936 දී V වැනි ජෝර්ජ් රජුගේ අවමංගල්‍ය උත්සවයේදී, තෙවනුව වර්ෂ 1952 දී හයවැනි ජෝර්ජ් රජුගේ අවමංගල්‍ය උත්සවයේදී සහ අවසාන වශයෙන් වර්ෂ 2022දී II  එලිසබෙත් රැජනගේ අවමංගල්‍ය උත්සවයේදී වශයෙනි.

චතුරි ලක්ෂිකා


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department