කුඩා කැස්බෑවෙක් මුහුද අද්දර වාඩි වී ආයාසයකින් තොරව පියාසර කරන කුරුල්ලන් දෙස ආශාවෙන් බලා සිටියේ ය.
ඉහළ අහසේ වලාකුළු අතරින් එම කුරුල්ලෝ අලංකාර ලෙස පාවී ගියහ.
“ඉහළ සිට ලෝකය දෙස බලමින් ඉතා සැහැල්ලුවෙන් වාතය හරහා පියාසර කිරීම පුදුමාකාර හැඟීමක් ගෙන දෙනවා වෙන්න ඕනෑ”
කැස්බෑවා සිතුවේ ය. ” මම මගේ බර කටුව ඇතුළේ සිරවෙලා වෙහෙස මහන්සි වී වැලි අතරින් බඩගාගෙන යනවා. මේ ජීවිතය කෙතරම් අසාධාරණ ද?”
ඒ අසලින් පියාසර කළ රාජාලියෙක් දුක්මුසුව සිටි කැස්බෑවා දැක ඒ අසලට ගොඩ බැස්සේ ය.
“ආයුබෝවන්, කුඩා කැස්බෑවා!” රාජාලියා පැවසීය. “ඇයි ඔයා දුකෙන් වගේ ඉන්නේ? මොකක් හරි ප්රශ්නයක් ද?”
“මම හිතන්නේ නැහැ ඔයාට තේරෙයි කියලා” කැස්බෑවා පිළිතුරු දුන්නේය. “ඔයා ඉතා ආඩම්බර කුරුල්ලෙක්.
ඔයා ආයාසයක් නොදරාම ඉහළ අහසට නැඟී සිටිනවා. ඔයාගේ බලවත් පියාපත් සමඟ වාතය හරහා ලිස්සා යනවා. මේ අතරෙදි මට පුළුවන් මුළු දවසක්ම යන්තම් මීටරයක් විතර දුරක් ඇවිදින්න විතරයි. ඔයාට පුළුවන් ද මට පියාසර කරන්න උගන්වන්න? එතකොට මටත් ඔයාට වගේ වාතය හරහා ඉහළට නැඟෙන්න පුළුවන්. ඉහළ ඉඳන් ලෝකය බලන්න පුළුවන්”
එය අසා රාජාලියාට සැකයක් සිතුණි. “එය කිසි විටෙකත් සාර්ථක වෙන එකක් නැහැ” රාජාලියා පැවසීය. “ඔයාට පියාපත් නැහැ. ඉතින් ඔයාට පියාපත් නොමැතිව පියාසර කරන්න හැකියාවක් නැහැ”
එහෙම කියන්න එපා!” කැස්බෑවා පැවසුවේ ය. “සමහරවිට පියාඹන්නේ කොහොමද කියලා මට කවදාවත් උගන්වලා නැති නිසා වෙන්න ඇති.
ඉගෙන ගත්තොත් මට පියාසර කරන්න පුළුවන් වන බව මට විශ්වාසයි! ”
කැස්බෑවා පැවසුවේ ය.
රාජාලියාට එම ඉල්ලීම ප්රතික්ෂේප කළ නොහැකිවන ලෙසින් දෑස් විශාලකර කැස්බෑවා, රාජාලියා දෙස බැලුවේ ය.
ඉන්පසු රාජාලියා තමන්ගේ නියපොතුවලින් කැස්බෑවා රැගෙන පියාපත් විහිදුවා, ඉහළ අහසට නැඟුණේ ය.
කැස්බෑවා ප්රීතියෙන් රාජාලියා සමඟ රැ¼දී සිටියේ ය. “මම, බිම ඉඳන් මවා ගත්තට වඩා මෙතැන ලස්සනයිනේ!” කැස්බෑවා සතුටින් පැවසුවේය. “දැන් මට යන්න දෙන්න. මට තනියම පියාඹන්න පුළුවන්.” කැස්බෑවා රාජාලියාට පැවසුවේ ය.
” මං කියන දේ අහන්න!” රාජාලියා පැවසුවේ ය. “ඔයාට පියාපත් කිසිවක් නැහැ ”
එහෙත් රාජාලියාට බාධා කරමින් කැස්බෑවා මහ හඬින් කෑගැසුවේය. “මාව අතාරින්න !”
එයින් පුදුමයට පත් වූ රාජාලියා කුඩා කැස්බෑවා අත හැර දැමූ අතර, කැස්බෑවා තෙත ගෝණියක් මෙන් පහළට වැටුණේ ය.
වාසනාවට කැස්බෑවා වැටුණේ විශාල ජලාශයකටයි. ඒ නිසා කැස්බෑවාට විශාල අනතුරක් සිදු වූයේ නැත. ටික වේලාවක් තම කටුව තුළ සැඟ වී සිටි කැස්බෑවා නැවත හිස එළියට දමා වටපිට බැලුවේය. එවිට රාජාලියා, කැස්බෑවා අසලට පියාඹා ආවේ ය.
කැස්බෑවාට තුවාලයක් සිදු නොවී ඇති බව දුටු විට රාජාලියාට සහනයක් දැනුණි.
“නුවණැති රාජාලියා, ඔබ නිවැරැදියි. සමහර දේවල් මට කොච්චර ඕනෑ වුණත් ඒ සියලු දේ කරන්න බැහැ කියලා මට වැටහුණා” කුඩා කැස්බෑවා පැවසුවේ ය.
ඇතැම් දේවල් පවතින ආකාරයටම පවතින බවත් ඒවා කිසිවිටෙකත් වෙනස් කළ නොහැකි බවත් අප වටහා ගත යුතු ය.
පරිවර්තනය – හර්ෂණී ගමගේ