මේ දවස්වල නම් එක දිගටම වැස්ස. වැස්සෙ වුණත් තෙමීගෙන ඉස්කෝලෙ යන්න පුංචි බිංදු ගොඩක් ආසයි. පාසලේ ගොඩක් ළමයි ඒ දවස්වලට පාසල් එන්නේ නැහැ. ගෙදරට වෙලා ඉන්නේ වැස්සට තෙමෙන්න තිබෙන අකැමැත්ත නිසාමයි. ඒත් ඉතින් ගෙදරට වෙලා හිටියා කියලා හැමදාම පාසල් පැමිණීමට ලැබෙන තෑග්ග ලැබෙන්නේ නැහැනේ. බිංදු එහෙම කල්පනා කළා.
දැනුම, ආකල්ප, කුසලතා යන අංශ තුනම වැදගත් වෙන්න ඕනේ. එහෙම වුණේ නැත්නම් වැඩිහිටිවූවිට ඒක ප්‍රශ්නයක්. පන්ති භාර ගුරුතුමිය තමයි එහෙම කිව්වේ. පාසලෙදි වගේම යන එන තැන්වලදි ප්‍රවේශම් වෙන්න පුංචි අපි දැන ගන්න ඕනේ. හැම වෙලාවකම සිදුවීමක් සමබර කරගෙන ගෙනියන්න පුංචි කාලයේදි අපි දැන ගන්න අවශ්‍යයි. සෙල්ලම් කළත්, පන්ති කාමරයේ හිටියත් අනතුරක් නැති අයුරෙන් රැකෙන්න අප දැන ගන්න අවශ්‍යයි. එකපාරක් බිංදුගේ පන්තියේ ළමයකුගේ අත කැපුණා. ඒ වෙලාවෙදි බිංදු දුවලා ගිහිල්ලා අත උඩට හිටින ලෙස අල්ලා ගත්තා. ඊට පස්සේ අතේ තිබුණ පිරිසුදු ලේන්සුවෙන් ඒ ළමයාගේ අත බැඳගෙන තමයි දොස්තර මාමා ළඟට එක්කගෙන ගියේ. බිංදු කළ වැඩේ ගැන පන්ති භාර ටීචර් හිටියේ හරිම සන්තෝෂයෙන්.” ඇයි බිංදු ඒ ළමයාගේ අත උඩ අතට ඉස්සුවේ. ” පන්ති භාර ගුරුතුමිය බිංදුගෙන් ඇහුවා. ඇයි ටීචර් ලේ නවත්වන්න නම් හෘදය වස්තුවට වඩා ප්‍රතිවිරුද්ධ අතට කැපුම තියන්න සලස්වන්න ඕනේ. ටීචර් ඇස් ලොකු කරලා බිංදු දිහා බැලුවා. බිංදුට කවුද ඒවා කියලා දුන්නේ. ටීචර් එහෙම ඇහුවාම බිංදු කිව්වේ එදා ඉස්කෝලෙට ආව දොස්තර මාමා තමයි මේ ඔක්කෝම කියලා දුන්නේ කියලා.
අනතුරක් සිදු කරගන්නේ නැතිව අනතුර ඇති ස්ථානවලට යෑමෙන් වැළකිලා සිටින්න අවශ්‍යයි. නැත්නම් අප නිරායාසයෙන්ම අනතුරුවලට ගොදුරු වෙනවා. බොහෝ වෙලාවට අප කළ යුතු වන්නේ අනතුරක් ඇති විට එම ස්ථානයෙන් ඈතට යෑමයි. මේ හැම දෙයක්ම බිංදු හා.. හා .. කියලා අහගත්තා. තමන් බේරුණාට වැඩක් නෑ. තමන්ගේ යාළුවන් වුණත් බේරන්න ඕනේ. එහෙම නැත්නම් ලොකු ප්‍රශ්නයක් තමයි වෙන්නේ. යාළුවන් කියන්නේ දුකේදි සැපේදි පිටු නොපා යන සිතුවමක් වගේ, බිංදුට ඒ කතාව කියලා දුන්නේ අත්තම්මා. ”බිංදු … බිංදු.. මට කියලා දෙන්නකෝ පාසලේදි ඔයා ආරක්ෂා වෙන්නේ කොහොමද කියලා.” ගුරුතුමිය ඇසුවා.
” මමත් අනෙක් අය වගේ සෙල්ලම් කරන්න හරිම ආසයි. සෙල්ලම් කිරීමෙන් ශරීරයට නීරෝගි බව ලැබෙන බව තමයි දොස්තර මාමා කිව්වේ. ඒ නිසා මම අනතුරු තිබෙන තැන්වලට යන්නේ නැහැ. මට අනතුරක් කියලා දැනුනොත් මම ඒ තැනින් ඉවත් වෙනවා. ඒ විතරක් නෙවෙයි මගේ යාළුවන්ටත් එතැනින් අයින් වෙන්න කියලා කියනවා. ඒ වගේම අපට අනතුරක් සිදු වුණොත් අප ක්‍රියා කරන්න ඕනේ කුමන ආකාරයට ද කියන එක ගැනත් අප කල්පනාකාරී වෙන්න ඕනේ. මුලින්ම අපි කරන්න ඕනේ වැඩිහිටි කෙනකුට වෙලා තියෙන දේවල් දන්වන එකයි. එහෙම කියලා එයාගෙන් අපි උපදෙස් ගන්න අවශ්‍යයි. එසේ නොකළහොත් අපට සිදු වන්නේ ලොකුම ලොකු කරදරයක්. සෑම විටම වැඩිහිටියන් කියන උපදෙස් අප පිළිපදින්න අවශ්‍යයි. හැම අවස්ථාවකම එහෙම උපදෙස් පිළිපැද්දේ නැත්නම් එයින් අනතුරේ වැටෙන්නේ පුංචි අපමයි. අනෙක් එක තමයි ටීචර්, අපේ පාසලේ සෑම පන්ති කාමරයකම ප්‍රථමාධාර පෙට්ටියක් තබා ගැනීමට කටයුතු කිරීම. එයින් අපට අනතුරක් වූ විගස ඒ වෙනුවෙන් කටයුතු කිරීමට හැකියාව ලැබෙනවා. මේ හැම දෙයක්ම මම මතක තියාගත්තා. මම හිතන්නේ මේ හැම දෙයක්ම අපේ සෑම යාළුවකුටම වැදගත් වේවි කියලා. බිංදු කතාව අවසන් කළා.
(බලපිටිය මහ රෝහලේ වෛද්‍ය ගයාන් අබේගුණවර්ධන සමඟ කළ සාකච්ඡාවක් ඇසුරෙනි)
රූපාන්ති බුලත්සිංහල