සුදු හකුරු හැදුවා වගෙයි
තැනට හෙවත් අවස්ථාවට ගැළපෙන ආකාරයට විශාල අර්ථයක් ප්රකාශ කිරීම වෙනුවට කෙටි වැකියක් යොදා ගැනීම සිංහල භාෂාවේ බහුලව සිදු කරනු ලැබේ. මෙය ප්රස්තාව පිරුළු ලෙස හඳුන්වයි. ”සුදුසු අවස්ථාවට ප්රයෝජන ලබාගැනීම සඳහා අනුන්ගෙන් ලබාගත් වැකි” යන තේරුම ද ප්රස්තාව පිරුළු හැඳීන්වීමට යෙදිය හැකි ය . මෙම පිරුළු ඇතැම්විට උපහාසාත්මක ප්රකාශ ඉදිරිපත් කිරීමට ද යොදා ගනියි. මෙම ප්රස්තාව පිරුළු බොහොමයක් බිහිවීමට පසුබිම් වූ ජන කතන්දර ද තිබේ. අද අපි “සුදු හකුරු හැදුවා වගෙයි” යන ප්රස්තාව පිරුළට පසුබිම් වූ ජන කතන්දරය හඳුනා ගනිමු.
ඉස්සර කාලේ රජ මාලිගයට හකුරු ගෙනෙන වෙළෙන්දෙක් සිටියා. ඔහුගේ හකුරු සුදු පාටයි. ඒ විතරක් නෙවෙයි ඒ හකුරු හරිම රසයි. දවසක් රජ බිසව මේ ගැන රජතුමා එක්ක කතා කළා.
“මේ හකුරු හදන්නේ කහෛමද තියලා සොයා බලන්න දේවයන් වහන්ස” රජ බිසව පැවැසුවා. ඉන්පසු දිනෙක හකුරු වෙළෙන්දා මාලිගයට ගෙන්වා රජතුමා ඒ පිළිබඳ විමසුවා.
“දේවයන් වහන්ස රජ මාලිගයට හකුරු හදන කොට හරිම පිරිසුදුවටයි ඒ කාර්යය අපි කරන්නේ. සුදු පිරුවට ඇඳගෙන උඩට උඩු වියන් පයට පාවඩ දාලා වට තිර ඇදලයි අපි ඒක කරන්නේ. හඳුන් දර විතරයි හකුරු හදන ළිපට දාන්නෙත්.”
හකුරු වෙළෙන්දා පැවැසූ දේවල් ඇත්තදැයි රජ බිසව විශ්වාස කළේ නෑ.
“මට සැකයි ඒ හකුරු වෙළෙන්දාගේ කතාව” රජ බිසව පැවැසුවා. ඉන්පසු රජතුමා හකුරු හදන හැටි බලාගෙන එන්නට හකුරු වෙළෙන්දාගේ ගෙදරට රජ මැදුරේ සේවකයෙක් යැව්වා. එම සේවකයා හකුරු සාදන්නාගේ නිවෙසට ගියා. ඔහු යනවිට හකුරු සාදන්නා පොල් අතු මඩුවකට වී කිළිටි ඇඳුම් ඇඳගෙන දහදිය පෙරාගෙන දර ළිපක් අසලට වී හකුරු සාමින් ඉන්න හැටි ඔහු දුටුවා.
“ඔහේ රජ මාලිගාවට හකුරු හදන්නෙත් මේ විදිහට ද?” රජ මැදුරේ සේවකයා පුදුමයෙන් ඇසුවා.
“ඔව් ඉතින් මං කොහොමත් හකුරු හදන්නේ මේ විදිහට තමයි”
හකුරු සාදන්නා පිළිතුරු දුන්නා.
“මේ ළිපට හඳුන් දර දාලත් නෑනේ”
රජ මැදුරේ සේවකයා ඇසුවා.
“මොන හඳුන් දර ද? ඒවා දාලා හැදුවොත් හඳුන් සුවඳට හකුරු කන්න පුළුවන්ද?” හකුරු සාදන්නා පැවසුවා.
“කෝ එතකොට උඩු වියන්? පිරුවට? කෝ ඒ එකක්වත් මෙතැන නෑනේ. ඔහෙ රජතුමාට බොරු නේද කිව්වේ?”
රජ මැදුරේ සේවකයා කෝපයෙන් ඇසුවා.
“කිව්වා තමයි ආයිබෝං . කියන කොට එහෙමයි. කරන කොට මෙහෙමයි ආයිබෝං” හකුරු සාදන්නා පැවැසුවා.
එදා සිට කෙනෙක් එක් දෙයක් කියා ඊට වඩා වෙනස් දෙයක් සිදුකළ විට “සුදු හකුරු සෑදුවා වගෙයි” කියලා පැවැසීමට ගැමියන් පුරුදු වී සිටිනවා.