දරුවා සෑම දෙයක්ම අවබෝධ කරගත යුතු වන්නේ ප්‍රායෝගිකව ලබන අධ්‍යයනයෙනි. අවබෝධය මඟින් ඉගෙන ගන්නා දේවල් නිසා නව අත්දැකීමක් හිමි වන අතර, එය වැඩිහිටි වියට පත්වීමේදී ද වැදගත් වේ. කුඩා කාලයේදී හුරු කළ බොහෝ දේ වැඩිහිටි වියට පැමිණීමත් සමඟ ප්‍රයෝජනවත් වේ. මේ නිසා දරුවා කුඩා කාලයේ හුරුවන දේ අනාගතයට ආයෝජනයක් වේ. මේ නිසා කුඩා කාලයේදී දරුවාගේ හැකියාවන් පිළිබඳ මව්පියන් උනන්දු විය යුතුයි. මව්පියන් මෙන්ම ගුරුවරුන් ද මේ ගැන සැලකිලිමත් වීම වඩා වැදගත් වේ. ප්‍රාථමික අංශයේ දරුවන් කෙරෙහි අවධානය යොමු කරමින් ඔවුන් හැඩගැස්වීම වෙනුවෙන් කාලය කැප කරන පාසලක් සම්බන්ධයෙන් ඔබට කියන්නයි මේ අපේ සූදානම. ඒ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉහළ බෙලිගල්ල ප්‍රාථමික විද්‍යාලයයි. එහි විදුහල්පති දිමුතු සුරංග මහතා පාසල ගැනත් වත්මන් දරු පරපුර ගැනත් අපට පැවසුවේ මේ ආකාරයෙනි.
” අපේ පාසලේ අධ්‍යාපනය ලබන්නේ ප්‍රාථමික අංශයේ දරුවන්. ප්‍රාථමික අංශයේ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන එක ඒ තරම්ම පහසු නැහැ. ඒකට හේතුවක් තිබෙනවා. ඒ කියන්නේ අප වැඩිහිටියන් වශයෙන් දරුවන් තේරුම් ගන්න ඕනේ. දරුවකු තේරුම් ගෙන ඒ අනුව ඔහු හෝ ඇය හැඩගැස්වීම ගුරුවරුන්ගේ යුතුකමයි.”
” කුඩා කාලයේදී දරුවකු හැඩ ගැස්වීම ඉතා පහසුයි. බොහෝ දරුවන් අධ්‍යාපනයට පමණක් සීමා වී කටයුතු කරන්න කැමැති නැහැ. එනිසා අපි ඔවුන් විෂයානුබද්ධ පාඩම් මාලාවලට යොදවා ගන්නවා. වර්තමානයේ දරුවන් අධ්‍යයනය කිරීමෙන් එය අපට හොඳීන් වැටහෙනවා. දරුවන් කැමැති අත්දැකීමෙන් බොහෝ දේවල් අත්දකින්නයි. වර්තමාන විෂය නිර්දේශය සැකසිලා තිබෙන්නෙත් ඒ අනුවයි. ඒත් සමහර මව්පියන් ඒ ක්‍රමවේදයට කැමැති නැහැ. බොහෝ දෙනා කැමැති පොත්වල පාඩම් ලියනවාටයි. පාඩම් පොත්වල ලිව්වා කියලා වැඩක් වෙන්නේ නැහැ. ඒ පාඩම් ප්‍රායෝගිකව අවබෝධ කරගන්නවා නම් කෙතරම් හොඳද? ප්‍රායෝගිකව අත් හදා බැලූ දෙයක් වැඩිහිටි වියට පත් වන අවස්ථාව තෙක්ම මතකයේ රැඳෙනවා. ඒ නිසා අපි කුඩා කාලයේ සිටම දරුවා පිළිබඳ අවබෝධයෙන් කටයුතු කළ යුතුයි.”
” ප්රශස්ත අධ්‍යාපනයෙන් විශිෂ්ට දරුවෙක් බිහි කිරීම අපේ පාසලේ දැක්මයි. අප ඒ වෙනුවෙන් වෙහෙස මහන්සි වී කටයුතු කරනවා. ඒ වගේම අපේ පාසලට මෙහෙවරක් තිබෙනවා. ඒ තමයි ගුණ නැණ පිරි නිපුණතා සපිරි දරුවන් ද්විතීයික අධ්‍යාපනය සඳහා හුරු කිරීම. අපි වර්තමානයේ සිටම ඒ සඳහා දරුවන් හුරු කරනවා. කුඩා මනස ඒ වෙනුවෙන් යොමු කරවා ගැනීම එතරම් පහසු නැහැ. ඒත් අපි ඒ වෙනුවෙන් උත්සාහ කරනවා. මේ වන විට අපේ පාසලේ ගුරුවරු 6 දෙනෙක් ඉන්නවා. ඒ වගේම ළමයින් එකසිය දහතුන්දෙනෙක් ඉන්නවා.”
”කුඩා දරුවන් ඒකරාශි කරමින් බුද්ධිය වර්ධනය වන ආකාරයට ක්‍රීඩා කෞශල්‍ය ගොඩනැඟීමත් අපේ අරමුණක්.
ඒ සඳහා අපි චෙස් වැනි ක්‍රීඩා දරුවන්ට පුරුදු පුහුණු කරනවා. ඒ මඟින් දරුවන් අතර සහයෝග වර්ධනය වෙනවා. ඒ සහයෝගය වටිනවා. කුඩා කාලයේ සිටම අපි මේ දේවල් පුරුදු පුහුණු කළ විට ලොකු ශක්තියක් හිතට ඇති වෙනවා. මේ ශක්තිය වැඩිහිටියකු වූ පසුව ද උපදවා ගන්න එවිට හැකියාව ලැබෙනවා. අපි ඒ තත්ත්වයට දරුවා හුරු කරවන්න ඕනේ”
අනාගත සුබ සිද්ධිය වෙනුවෙන් දරුවන් යොමු කිරීමට ඔවුන්ට ශක්තිය, ධෛර්යය ලැබේවා යැයි මිහිර වෙතින් අපි සුබ පතමු.
රූපාන්ති බුලත්සිංහල
ඡායාරූප – පාසලේ ඡායාරූප සංගමය