Home » Blog » පාසැල් පුවත්

පාසැල් පුවත්

by thanushika
0 comments

කතරගම ජනාධිපති මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලඳවීමේ උත්සවය

කතරගම ජනාධිපති මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලඳවීමේ 2024 විරුද චත්‍රාභිෂේක උත්සවය පසුගිය 20 වැනිදා විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙහිදී එන්.ඩබ්ලිව්.ඒ.බී. රවිඳු ශ්‍යාමල් සහ ඩබ්ලිව්.ඒ. බිමාෂා ෂනෝදි ප්‍රධාන ශිෂ්‍ය නායක සහ නායිකාව ලෙස අබිසෙස් ලැබූ අතර, සිසු සිසුවියන් 78 දෙනකු සඳහා ශිෂ්‍ය නායක පදක්කම් පැලඳවීම ද සිදුකෙරිණි.

තණමල්විල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ බුද්ධික කරුණාදාස මහතා සහ විද්‍යාලයේ විදුහල්පතිනි ඩී. ජී. ඩී. දේශානී මහත්මිය ඇතුළු ගුරු මණ්ඩලය, මව්පියෝ මෙම අවස්ථාවට සහභාගි වූහ.

ඩී. එස්. ගුණතිලක -ඌව වෙල්ලස්ස විශේෂ

ශිෂ්‍ය නායක අත්දැකීම් හුවමාරුකර ගැනේ

තණමල්විල ජාතික පාසලේ ශිෂ්‍ය නායක කණ්ඩායම පසුගිය 18 වැනිදා අඟුණුකොළපැලැස්ස මහා විද්‍යාලයට ගොස් එහි ශිෂ්‍ය නායක මණ්ඩලය සමඟ අත්දැකීම් හුවමාරුකර ගත්තේය. එහිදී කණ්ඩායම් දෙකේම අත්දැකීම් පිළිබඳ සාකච්ඡා කෙරුණු අතර, ක්‍රියාකාරකම් රැසක් ද පැවැත්විණි.

මීට සමගාමීව තණමල්විල ජාතික පාසලේ ශිෂ්‍යනායක කණ්ඩායම විසින් අඟුණුකොළපැලැස්ස මහා විද්‍යාලයේ පුස්තකාලයට පොත් පරිත්‍යාග කෙරුණු අතර, රුක් රෝපණ වැඩසටහනක් ද ක්‍රියාත්මක කෙරිණි. තණමල්විල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ බුද්ධික කරුණාදාස මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන මෙම වැඩසටහනට තණමල්විල ජාතික පාසලේ විදුහල්පති එන්.ඩබ්ලිව්. බස්නායක, අගුණුකොළපැලැස්ස මහා විද්‍යාලයේ විදුහල්පති ඩී.ඒ. රාජපක්ෂ සහ තණමල්විල ජාතික පාසලේ ආචාර්යවරුන් වන චතුර මනම්පේරි, එම්. සුමාල් යන මහත්වරු ද සහභාගි වූහ.

ඩී. එස්. ගුණතිලක – ඌව වෙල්ලස්ස විශේෂ

බෙන්තොට ගාමිණී ප්‍රාථමික අංශයේ සිසුන්ට ජනමාධ්‍ය පුහුණු වැඩමුළුවක්

බෙන්තොට ගාමිණී ජාතික පාසලේ ප්‍රාථමික අංශයේ සිසු සිසුවියන් කණ්ඩායමක් සඳහා බෙන්තොට ජනමාධ්‍ය සංසදය මඟින් මෙහෙය වූ ජනමාධ්‍ය පුහුණු එක්දින

ළමා වැඩමුළුවක් පසුගිය 23 දින එම විදුහලේදී පැවැත්විණි.

වැඩමුළුව අවසානයේදී පුහුණු සහතික ලබාගත් සිසු සිසුවියෝ හා වැඩමුළුව සඳහා සම්පත් දායකත්වය දුන්

ගුවන් විදුලි නිවේදක ශාන්ත කුමාර ලියනගේ, වැඩමුළුව සංවිධානය කළ ගාමිණී විදුහලේ ප්‍රාථමික අංශයේ විදුහල්පති සන්ධ්‍යා තිසේරා, ගුරු මණ්ඩලයේ දුල්මා තමරා සහ රසිකා සුබසිංහ, වැඩමුළුවේ සම්බන්ධීකාරක විශ්‍රාමලත් ග්‍රාම නිලධාරී රංජිත් ආරියදාස, වැඩමුළුවේ අනුග්‍රාහක වෝල්ටර් හියුබැචර් යන මහත්ම මහත්මීන් සමඟ සේයාරුවකට මුහුණ දුන් අයුරුයි මේ.

ඌරගස්මන් හන්දිය සමූහ -අයි. ජයරත්න

පස්සර අධ්‍යාපන කලාපයේ නමුණුකුල විද්‍යාලයට ෂෝටෝකාන් කරාටේ පළාත් තරගාවලියේදී පදක්කම් රැසක්

බදුල්ල පුස්තකාල ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවති ෂෝටෝකාන් කරාටේ පළාත් තරගාවලියේදී පස්සර අධ්‍යාපන කලාපයේ නමුණුකුල විද්‍යාලය පදක්කම් රැසක් හිමිකරගෙන ඇත. මෙහිදී රන් පදක්කම් 09, රිදී පදක්කම් 04ක් සහ ලෝකඩ පදක්කම් 07ක් ඔවුන් ලබාගනිමින් විශිෂ්ට දක්ෂතා දක්වා තිබේ.

විදුහල්පති ඒ.එම්.එස්. බී. අබේකෝන් මහතාගේ මඟපෙන්වීම මත කරාතේ පුහුණුකරු ආර්.එම්. රංජනී රත්නායක මහත්මිය තරගකරුවන් පුහුණුකර තිබේ. ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩිකාවන් නොවැම්බර් 23 වැනි දින කොළඹදී පැවැත්වෙන සමස්තලංකා තරගාවලියට ද සහභාගි වීමට නියමිත බැව් පස්සර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා එම්. ශෙරීනා බේගම් මහත්මිය සහ පස්සර කලාප භාර ක්‍රීඩා ශාරීරික අධ්‍යයන ගුරු උපදේශක වත්සලා උපුල්මාලී යන මහත්මීහු පැවසූහ.

ඩී.එස්. ගුණතිලක- ඌව වෙල්ලස්ස විශේෂ

කීර්තිමත් අධ්‍යාපනඥයකු වූ එෆ්.ජී. පියර්ස් මහතාගේ පුත් වික්‍රම් පියර්ස් මහතා ගාල්ල මහින්ද විද්‍යාලයට පැමිණෙයි

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට විශාල මෙහෙයක් ඉටුකළ කීර්තිමත් අධ්‍යාපනඥයකු වූ ද ගාල්ල මහින්ද විද්‍යාලයේ විදුහල්පතිවරයකු වූ එෆ්.ජී. පියර්ස් මහතාගේ පුත් වික්‍රම් පියර්ස් මහතා නොවැම්බර් 22 දින ගාල්ල මහින්ද විද්‍යාලයට පැමිණියේය. මහින්ද විද්‍යාලයේ විදුහල්පති ජනක පේදුරුහේවා මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය සහ සිසුන් විසින් වික්‍රම් පියර්ස් මහතා මහත් හරසරින් පිළිගනු ලැබීය.

ගාල්ල සංඝමිත්තා විද්‍යාලය සහ මාතර රාහුල විද්‍යාලය ආරම්භ කිරීමේ පුරෝගාමියකු වූ එෆ්.ජී. පියර්ස් මහතා අධ්‍යපන අමාත්‍යාංශයේ සහකාර ලේකම්වරයකු ලෙස ද කටයුතුකර තිබේ. බාලදක්ෂ ව්‍යාපාරය ගාල්ලට හඳුන්වා දුන් පියර්ස් මහතා පළමු ගාලු මහින්ද බාලදක්ෂ බළකාය පිහිටුවන ලදි. එසේම හෙතෙම දකුණු පළාතේ අනෙක් පාසල්වලටත් බාලදක්ෂ ව්‍යාපාරය හඳුන්වා දීමේ පුරෝගාමියකු විය.

පියාගේ අඩිපාරේ යමින් කටයුතු කරන වික්‍රම් පියර්ස් මහතා එෆ්.ජී. පියර්ස් පදනමේ සභාපති ලෙස පාසල්වලට උපකාර කරමින් සැමට අධ්‍යාපනය ලබාදීමේ උදාර පරමාර්ථයන් පෙරදැරිව කටයුතු කරයි. පියාගේ මතකයට ගෞරව කිරීමක් ලෙස මාතර රාහුල විද්‍යාලයට ද ගාල්ල සංඝමිත්තා විද්‍යාලයට ද ඔහු සංචාරය කළේය. මහින්ද විද්‍යාලයේදී ඔහු පළමු ගාලු බාලදක්ෂ බළකායේ 110 වැනි සංවත්සරය සහ මහින්ද විද්‍යාලයීය ආදි බාලදක්ෂ සංගමයේ 25 වැනි සංවත්සර සැමරුම් උත්සවවලට ද සහභාගි විය.

කරාපිටිය සමූහ – එස්. ලොකුකරවිට

පාසල් දරුදැරියන්ගේ ආධ්‍යාත්මික ආකල්ප ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක්

බුත්තල ඓතිහාසික යුදඟනාව රජමහා විහාරස්ථානයේ ශ්‍රී ධර්මෝදය දහම් පාසල මඟින් ප්‍රදේශයේ පාසල් දරු දැරියන්ගේ ආධ්‍යාත්මික ආකල්ප ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් සංවිධානය කළ “ශීල පාරමිතා” වැඩසටහන පසුගිය 24 වැනිදා විහාරස්ථ පරිශ්‍රයේදී පැවැත්විණි.

විහාරාධිපති ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පණ්ඩිත ගල්ටැම්වත්තේ නන්දරතන නායක ස්වාමීන්වහන්සේගේ අනුශාසනා පරිදි පැවති මෙම ශීල පාරමිතා වැඩසටහනට දහම් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ, ගුරුභවතුන් සහ මව්පියෝ ද සහභාගි වූහ.

ඩී. එස්. ගුණතිලක -ඌව වෙල්ලස්ස විශේෂ


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department