වර්තමානයේ බොහෝ දරුවෝ තාක්ෂණය සමඟ සම්බන්ධ වෙමින් තමන්ගේ කටයුතු කරගෙන යති. ගවේෂණය කිරීමට මෙන්ම ඒ පිළිබඳ අධ්‍යයනය කිරීමටත් බොහෝ අය සමත් වෙති. නව නිර්මාණ මෙන්ම අලුත් අත්දැකීම් ලබමින් අවබෝධයක් ලබා ගැනීමටත් ඔවුහු උත්සාහ කරති. මේ සඳහා ගැහැනු පිරිමි භේදයක් නැත. වර්තමානයේ සෑම දරුවෙක්ම ඉදිරියට යෑමට උත්සාහ දරයි. ඒ අතර ගැහැනු දරුවන් ප්රමුඛ වේ යැයි කිවහොත් නිවැරැදි ය. එවැනි දක්ෂ දියණියන් පිරිසක් ඉගෙනුම ලබන හම්බන්තොට ශ්‍රී ලංකා සිංගප්පූරු මිත්‍රත්ව බාලිකා විද්‍යාලය පිළිබඳ කියන්නයි මේ සූදානම. එහි විදුහල්පතිනිය නිල්මිණි ප්‍රියාදරී මහත්මිය ඇයගේ පාසල පිළිබඳත් වර්තමාන දරුවා පිළිබඳත් මේ අයුරින් අදහස් දැක්වූවා ය.
“2009 වර්ෂයේදී ශිෂ්‍යත්ව විභාගයෙන් මෙම පාසලට දරුවන් ඇතුළත් කරගැනීමට අවශ්‍ය වුව ද පාසලේ ගොඩනැඟිලි නිමවී නොතිබීම නිසා 2010 මාර්තු 31 දින හ/ වීරකැටිය රාජපක්ෂ මධ්‍ය මහා විද්‍යාලයේ පැරැණි ශ්‍රවණාගාරයේදී පාසල නිල වශයෙන් ආරම්භ වුණා. දරුවන් අනූවක් ප්‍රථමයෙන් බඳවා ගෙන තිබෙනවා. මේ දරුවන් පන්ති දෙකකට ඇතුළත් කළා. එවකට කලාප අධ්‍යාපන අධ්යක්ෂවරයා ලෙස කටයුතු කළේ රාමනායක මහතායි. අපේ පාසලේ ප්‍රථම විදුහල්පතිනිය වෙලා තිබෙන්නේ ශ්‍රේණිධාරී විදුහල්පතිනියක් වූ කුසුමා කුරුප්පු මහත්මියයි. ඉංගී්රසි, ගණිතය සහ අනෙකුත් සියලුම විෂයන් උගන්වන්න ගුරුවරියක් ද මුලින්ම බඳවාගෙන තිබෙනවා. කොහොම වුණත් මේ ගුරුවරු තිදෙනාම සෞන්දර්ය විෂය හැර අනෙක් සියලුම විෂයන් උගන්වා තිබෙනවා. වර්තමානය වන විට අපේ පාසලේ ගුරුවරු අසූවක් පමණ සිටිනවා. ඒ වගේම ගැහැනු දරුවන් ගණන 1500ක් පමණ අධ්‍යාපනය ලබනවා. අධ්‍යාපනය නිසි ලෙස සපුරාලමින් අභියෝගවලට අපේ දරුවන් හොඳීන් මුහුණ දෙනවා”
”වර්තමාන පාසල් පද්ධතියේ දරුවන්ට අභියෝග බොහෝ තිබෙනවා. ගැහැනු දරුවන් පිරිමි දරුවන් කියලා නැහැ. සෑම දරුවකුටම අභියෝග තිබෙනවා. කොරෝනා සමය අවසන් වීමත් සමඟ දරුවන්ට තිබුණු අභියෝග වැඩි වුණා. බොහෝ දරුවන් ඒ කාලයේ පරිගණකය උපයෝගි කරගෙන තමයි අධ්‍යාපනය ලැබුවේ. එයින් පසු සෑම පාසලකටම හොඳ කාලයක් උදා වුණා. මේ නිසා දරුවන්ට තිබුණු නිදහස යළිත් ලැබුණා. ඒ නිදහස හුඟක් වටිනවා. පරිගණකයට සීමා වූ ශිෂ්‍ය ජීවිතය හරිම කෘත්‍රිම ජීවිතයක් ලෙස තමයි මම දකින්නේ. දරුවන්ට රසාස්වාදයත් අවශ්‍යයි”
” තාක්ෂණය කෙතරම් භාවිත කරනවා කියලා කිව්වත් තාක්ෂණය භාවිත කිරීමට නොහැකි ප්‍රදේශත් තිබෙනවා. එපමණක් නොවෙයි ගුරු හිඟයත් බහුලව තිබෙනවා. මේ සෑම දෙයකටම වර්තමාන දරුවා මැදිවෙලා කියලා තමයි මට හිතෙන්නේ. වර්තමානයේ සෑම දෙයක්ම තරගයක්. දරුවා මේ තරගය නිසාම විඩාවට පත් වෙලා. ගිමන් හරින්නට දරුවාට වෙලාවක් නැති තරම්. මේ නිසා බොහෝ දරුවන් ලෙඩ වෙනවා. කෙතරම් උගත් වුවත්, රෝගී දරුවකුගෙන් සමාජයට වැඩක් වෙන්නේ නැහැ. පාසලේ දරුවන්ට මඟ පෙන්වන දැක්මක් අපේ පාසලට තිබෙනවා. ඒ තමයි ” දකුණු ලක විශිෂ්ටතම බාලිකා පාසල බවට පත්වීම” ඒ වගේම අපේ පාසලට මෙහෙවරක් තිබෙනවා. ඒ මෙහෙවර ඉටු කිරීමටත් අපේ දරුවන් බැ¼දී සිටිනවා. ” ජාතික හා අරමුණුවලට අනුගතව නිපුණතා හා සාරධර්මවලින් පිරිපුන් අනාගත අභියෝග ජයගත හැකි සහජීවනයෙන් කටයුතු කරන නිර්මාණශීලි රටට වැඩදායි දියණියන් දේශයට දායාද කිරීම.”
“මේ පරමාර්ථ ඉටු කරගැනීමට අප විදුහලක් ලෙස උත්සාහ කරනවා.”
පාසලක් ලෙස අභියෝග ජයගෙන ඉදිරියට යෑමට හැකි වේවා යැයි අපි මිහිර වෙතින් සුබ පතමු.
රූපාන්ති බුලත්සිංහල
ඡායාරූප – පාසලේ ඡායාරූප සංගමය