අන්තර්ජාතික ළමා සාම ත්‍යාගය යනු ලෝකයේ කුමන රටක හෝ ළමයකු විසින් ළමා අයිතිවාසිකම් සුරැකීම සඳහා ලබා දෙන විශේෂ දායකත්වය අගය කරමින් ඔහුට හෝ ඇයට පිරි නමන ත්‍යාගයකි. මෙම ත්‍යාගය නිර්මාණය කිරීම සඳහා පුරෝගාමී වූයේ නෙදර්ලන්තයේ KIDS RIGHT නමැති ලන්දේසි ළමා අයිතිවාසිකම් පදනමෙහි නිර්මාතෘ වන මාර්ක් ඩුලර්ට් ය. 2005 වසරේදී නොබෙල් සාම ත්‍යාගලාභීන්ගේ ලෝක සමුළුවකදී ජාත්‍යන්තර ළමා සාම ත්‍යාගය පිළිබඳ අදහස පළමුවරට නිර්මාණය වූ බව ද පැවසේ. මෙය 2005 වසරේ සිට වාර්ෂිකව පිරි නමනු ලබයි. නොබෙල් සාම ත්‍යාගලාභීන් අතින් ජයග්‍රාහී ළමයින් වෙත මෙම ත්‍යාග ප්රදානය කිරිම ද විශේෂත්වයකි. සෑම වසරකදීම ස්වාධීන විද්වත් මණ්ඩලයකින් යුත් කමිටුවක් මඟින් ළමා සාම ත්‍යාගය සඳහා අයදුම්පත් එවූ ළමයින් අතරින් නිර්දේශ වූ ළමයින්ගේ විශිෂ්ට සේවය විමර්ශනය කර ඒ අතරින් එක් අයකු වෙත ළමා සාම ත්‍යාගය පිරි නැමීමට තීරණය කරයි.
ජයග්‍රාහකයා යුරෝ 100,000ක ව්‍යාපෘති අරමුදලක් සඳහා අයදුම් කිරීමට ද සුදුසුකම් ලබන අතර, එයින් අඩක් ජයග්රාහකයාගේ ව්‍යාපෘතියට සහය වනු ඇති අතර, අනෙක් භාගය ළමා අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරමින් ලෝකය වෙනස් කරන අනෙකුත් යෞවනයන් සඳහා වන ව්‍යාපෘති සඳහා KidsRights විසින් ආයෝජනය කරනු ලැබේ.
සෑම වසරකම නොවැම්බර් මාසයේදී මෙම ත්‍යාගය පිරි නමනු ලබයි. අන්තර් ජාතික ළමා සාම ත්‍යාගය නිර්මාණය කර මෙම වසරට වසර 20ක් ද සපිරේ. ඒ අනුව මෙවර පැවැත්වුණේ 20 වැනි අන්තර් ජාතික ළමා සාම ත්‍යාග ප්රදානෝත්සවයයි.
20 වැනි සංවත්සරය වෙනුවෙන් “Changemakers: 20 stories that change the world” නමින් ජුබිලි පොත ප්‍රකාශයට පත්කර ඇති අතර, එය ලොව පුරා බෙදා හරිනු ලැබේ. එහි ඩිජිටල් අනුවාදය ලොව පුරා සිටින වයස අවුරුදු 25ට අඩු තරුණ තරුණියන්ට නොමිලේ ලබා ගත හැකි ය.
KidsRights බලාපොරොත්තු වන්නේ මෙම පොත ලෝකය වෙනස් කරන්නන්ගේ ඊළඟ පරම්පරාවට ආස්වාදයක් ලබා දෙනු ඇති බවයි.
ළමා සාම ත්‍යාගයේ ලාංඡනයේ අර්ථය
ජයග්රාහකයාට’Nkosi’නමින් හඳුන්වන ප්‍රතිමාව ත්‍යාග ලෙස ලැබේ. මෙම ප්‍රතිමාවේ දැක්වෙන්නේ දරුවකු ලෝකය චලනය කරන ආකාරයයි. Inge Ikink නමැත්තා විසින් නිර්මාණය කරන ලද මෙම ප්‍රතිමාව නම්කර තිබෙන්නේ ළමා සාම ත්‍යාගයෙන් පළමුවරට පිදුම් ලැබූ ජයග්‍රාහකයා වන න්කොසි ජොන්සන්ගේ (Nkosi Johnson) නමින් ය. ජයග්රාහකයාට අධ්‍යයන සහ ආරක්ෂණ ප්‍රදානයක් ද හිමි වේ.
මෙම ත්‍යාගය ලැබීමත් සමඟ ජයග්රාහකයාට ඔහුගේ වටිනා අදහස් ප්‍රවර්ධනය කිරීමට සහ තමන්ගේ වැඩ කටයුතු ඉදිරියට ගෙන යෑමට ලෝක ව්‍යාප්ත වේදිකාවක් ද ලැබෙයි. නව අවධානයක් ඔහුට හෝ ඇයට හිමිවන අතර, ඉන්පසු මෙම යොවුන් වීරයන්ගේ පණිවිඩ මිලියන ගණනක ජාත්‍යන්තර ප්‍රේක්ෂක පිරිසක් වෙත ළඟා වේ. මෙම ගෝලීය අවධානය ළමා අයිතිවාසිකම් සාක්ෂාත් කර ගැනීම සඳහා ඉහළ මට්ටමේ සහයෝගිතාවක් සහ ව්‍යුහාත්මක වැඩි දියුණු කිරීමක් ද උත්පාදනය කරනු ඇත.
නිලා ඊබ්‍රහිමි
මෙම වසරේ අන්තර්ජාතික ළමා සාම ත්‍යාගය ඇෆ්ගන් ජාතික නිලා ඊබ්‍රහිමි (Nila Ibrahimi)හට පිරි නමා තිබේ. ඇෆ්ගන් කාන්තාවන්ගේ සහ ළමයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ලෝකය වෙත හඬක් නැඟීම වෙනුවෙන් 17 හැවිරිදි නිලාට මෙම ත්‍යාගය පිරි නමා තිබේ. රටවල් 47ක අයදුම්කරුවන් 165ක් අතරින් අවසාන වටය සඳහා තිදෙනකු නිර්දේශ විය. ඒ ඇෆ්ගන් ජාතික නිලා ඊබ්‍රහිමි, අමෙරිකා එක්සත් ජනපදයේ 16 හැවිරිදි සාරා ෂෙල්කේ සහ ඉන්දියානු ජාතික 18 හැවිරිදි අධි දේව් යන තිදෙනායි. ඔවුන් අතරින් නිලා ඊබ්‍රහිමි හට මෙවර අන්තර් ජාතික ළමා සාම ත්‍යාගය පිරි නමා තිබේ.
Nila Ibrahimi යනු ඇෆ්ගනිස්ථානයේ උපන් යොවුන් දැරියකි. ඇය වත්මනදී කැනඩාවේ පදිංචිව සිටින අතර, ඇය තමන්ගේ මව් රට වන ඇෆ්ගනිස්ථානයේ ගැහැනු ළමයින්ගේ සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නිර්භීතව සටන් කරයි. අසාධාරණයට ලක් වූ ගැහැනු ළමයි වෙනුවෙන් එයට විරෝධය දක්වමින් නිලා ගැයූ ගීතයක් අන්තර්ජාලය හරහා ජනප්‍රිය විය. ඇය අනෙකුත් ඇෆ්ගන් ගැහැනු ළමයින්ට ඔවුන්ගේ අයිතිවාසිකම් තහවුරු කරගැනීමට සහාය වන අතර, ගෝලීය සිදුවීම්වලදී ප්‍රසිද්ධියේ කතා කිරීම සහ උපදේශනය හරහා ගැහැනු ළමයින් මුහුණ දෙන අසාධාරණයන්ට එරෙහිව නැඟී සිටීමට ද ඔවුන්ව දිගටම උනන්දු කරයි.
සාරා ෂෙල්කේ (Sarah Shelke)
16 හැවිරිදි සාරා ෂෙල්කේ අමෙරිකා එක්සත් ජනපදයේ වාසය කරයි. ඇය ව්‍යවසායිකාවක්, සමාජ ක්‍රියාකාරිනියක් සහ ගත්කතුවරියක් වශයෙන් කටයුතු කරයි. ලොව විශාලතම ලාභ නොලබන තරුණ ප්රමුඛ මානසික සෞඛ්‍ය සංවිධානයක් “Mind4Youth” නමින් ආරම්භ කළ ඇය, අමෙරිකා එක්සත් ජනපදයේ මානසික රෝගවලින් පෙළෙන තරුණ ප්‍රජාවගේ ගැටලු විසඳීම සඳහා සහාය ලබා දීමට බෙහෙවින් උනන්දුවෙන් කටයුතු කරයි. Mind4Youthහි සාමාජිකයන් 9,800කට අධික සංඛ්‍යාවක් සිටින අතර, ලොව රටවල් 40කට අධික සංඛ්‍යාවක මිලියන 01කට අධික තරුණ පිරිසකට මෙම සංවිධානයෙන් යහපත් බලපෑම් සිදු වී ඇත. ඇය තමන් ලියූ “A Guide to Teen Mental Health” නමැති ග්‍රන්ථය මඟින් ද නව යොවුන් මානසික සෞඛ්‍ය සඳහා මාර්ගෝපදේශයක් ලබා දීමට කටයුතුකර තිබේ.
අධි දේව් (Adhi Daiv)
අධි දේව් යනු ඉන්දියාවේ සිටින 18 හැවිරිදි යෞවනයෙක් වන අතර, ඔහු තමන්ගේ මව් රට වන ඉන්දියාවේ දරුවන්ගේ ජල හිඟය පිළිබඳ ගැටලු විසඳීම සඳහා ඉන්දියාවේ රාජස්ථානයේ නිසරු කාන්තාර සශ්‍රීක හරිත භූ දර්ශන බවට පරිවර්තනය කිරීමේ අසාමාන්‍ය මෙහෙයුමක යෙදී සිටී. ඔහු විසින් “Urvara – Greening Mother Earth”නමින් කාන්තාරකරණය සහ ජල හිඟයට එරෙහිව සටන් කිරීම සඳහා කැප වූ ලාභ නොලබන සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරන ලදි. එමඟින් ඔහු නව්‍ය ජල තාක්ෂණයක් යොදා ගනිමින් වියළි බිම්වල ගස් 3000කට අධික ප්‍රමාණයක් සිටුවා අක්කර 15ක කාන්තාර ප්‍රදේශයක් සශ්‍රීක හරිත භූමියක් බවට පත්කර ඇත.
හර්ෂණී ගමගේ