ශ්‍රී ලංකාවේ කවියට ඈත ඉතිහාසක් තිබේ. මේ රටේ කවිය එහි ලේඛකයන්ට ආවේණික වූ හැඟීම් සහ සංස්කෘතික ප්‍රකාශන ඒකාබද්ධ කරයි. ශ්‍රී ලංකාවේ කවීන් මෙන්ම කිවිඳීයෝ ද සිටිති. එනම් මොනිකා රුවන්පතිරණ, ගජමන් නෝනා, ජීන් අරසනායගම්, රූණ හාමිනේ , යැස්මින් ගුණරත්න එයින් කිහිප දෙනෙකි. මෙවර මිහිර පෝස්ටරය සැකසෙන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රවීණ කිවිඳීයන් ඇසුරිනි.
මොනිකා රුවන්පතිරණ
මොනිකා රුවන්පතිරණ කිවිඳීයක් හා කතුවරියකි. වර්ෂ 1946 පෙබරවාරි 26 වැනි දින මාතර මාලිම්බඩදී ඇය උපත ලැබුවා ය. මෙතුමිය මාතර සාන්ත තෝමස් බාලිකා විද්‍යාලයෙන් හා ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ලබා ඇත. මොනිකා රුවන්පතිරණ වර්ෂ 1964දී කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත්ව කලා විෂයයන්ගෙන් ශාස්ත්‍රවේදී උපාධි ලැබුවා ය. ඇය ග්රන්ථකරණයට ප්‍රවිෂ්ට වූයේ වර්ෂ 1971දී අපි දෙන්නා සහ තවත් කිහිප දෙනෙක් නමැති කාව්‍ය සංග්‍රහය පළ කරමිනි. තහනම් දේශයෙන්, අංගුලිමාලගේ සිහිනය, ඔබ යෙහෙළිය ඇය ගැහැනිය, විසි වසක ශේෂ පත්‍රය, අසන් පත්තිනි දේවතාවී, අලුත්ම සිහිනය, හිපොක්‍රටීස් සහ රෝගිනිය යන කවි පොත් ඇයගේ නිර්මාණ විය. ” දූ කුමරි”, “සිරිපා කවි” ආදී යොවුන් කවි පොත් ද, අතුරු මිතුරු, කැලෑ ගමේ කවි, සිදාදියේ කවි, “නැළවිලි කවි”, “ආසිරි ලංකා”, “වන්දනා ලංකා”, “සුන්දර ලංකා” ආදී ළමා කවි පොත් ද “කුසුමලතාගේ දවසක්” ආදී කෙටි කතා පොත් ද “නවාතැන් පොළේදී ” වැනි රචනා සංග්‍රහයන් ද නව කවි විමසුම වැනි විචාර පොත් ද ඇය අතින් රචනා වූවා ය.
ජීන් අර්සනායගම්
ජීන් අර්සනායගම් වර්ෂ 1931 දෙසැම්බර් 02 වැනි දා උපත ලැබුවා ය. ඇය මහනුවර උසස් බාලිකා විද්‍යාලයට ඇතුළත් වී අධ්‍යාපනය ලබා පේරාදෙණි විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා ගත්තා ය. මෙතුමිය ශ්‍රී ලාංකික කිවිඳීයක සහ ප්‍රබන්ධ ලේඛිකාවකි. ඇය , ඇගේ පොත් ඉංග්‍රීසි භාෂාවෙන් ලියා ඇති අතර, ඒවා ජර්මානු, ප්‍රංශ, ඩෙන්මාර්ක්, ස්වීඩන් සහ ජපන් යන භාෂාවලට පරිවර්තනයකර තිබේ. වර්ෂ 1990දී ඇය ඉයෝවා විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර ලේඛන වැඩසටහනේ නිර්මාණාත්මක ක්‍රියාකාරකම්වල ගෞරවනීය සාමාජිකාවක ලෙස ගෞරවයට පාත්‍ර වූවා ය. වර්ෂ 1984දී ඇය සාහිත්‍යය සඳහා ජාතික සම්මානයෙන් පිදුම් ලැබුවා ය. වර්ෂ 2017දී “The Life Of The Poet “ග්‍රේෂන් ත්‍යාගය ඇය දිනා ගත්තා ය. කිඳුර, නල්ලූර්, විනාශ වූ ගෝපුරය , නැන්දම්මා, යටත් විජිත උරුමයක් සහ වෙනත් කවි ඇයගේ නිර්මාණයි.
රම්‍යා ජිරසිංහ
රම්‍යා චාමලී ජිරසිංහ ශ්‍රී ලංකාවේ කිවිඳීයක් සහ නවකතාකාරියකි. වර්ෂ 2001දී ඇය දකුණු අමෙරිකාවේ කොලොම්බියාවේ මෙඩලින් කවි උලෙළට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූවා ය. ඇයගේ කාව්‍ය ග්‍රන්ථය,The Are’s an Island in the Bone, කවි සඳහා 2011 රාජ්‍ය සාහිත්‍ය ඒකාබද්ධ සම්මානය දිනා ගත්තා ය. රම්‍යා වර්ෂ 1992දී ශ්‍රී ලංකා ජාතික තරුණ කවුන්සිලයේ යෞවන කාව්‍ය සම්මානයේ ජයග්‍රාහකයා ලෙස ද කිරුළු පැලඳුවා ය. ඇය වර්ෂ 1997දී ඉංග්‍රීසි ලේඛක සංගමයේ කවි තරගයෙන් ද ජයග්‍රහණය කළා ය.
සකුන්තලා සචිතානන්දන්
සකුන්තලා සචිතානන්දන් ශ්‍රී ලාංකේය කිවිඳීයකි. ඇය නීතිඥවරියක සහ ලේඛිකාවක ද වේ. ඇයගේ කෘතිවල බොහෝ විට දිළිඳුකම , සමාජ අසමානතා, සතුන් ,දරුවන් සහ කම්කරුවන් සූරාකෑම වැනි තේමා කෙරෙහි අවධානය යොමු වී තිබේ. වර්ෂ 1978 තලෙයිවර් නමින් කාව්‍ය සංග්‍රහයක් සම්පාදනයකර ඇත. එහි අඩංගු වන්නේ තේ වතුවල සේවය කරමින් ජීවත් වන ජනයාගේ සමාජ විෂමතාවල දුක්ඛිත තත්ත්වයයි.
කවි 28කින් සමන්විත වූ On the Streets and Other Revelations නම් වූ ඇයගේ සාහිත්‍ය කෘතියට ඇගයීමක් වශයෙන් වර්ෂ 2010 සඳහා Gratiaen ත්‍යාගයේ ජයග්‍රාහකයා ලෙස ඇය තේරී පත් වූවා ය. ඇය කාව්‍ය 63ක එකතුවක් වන සේදහාමි, සෙල්වකුමාරි සහ තවත් අය නමින් පොතක් ද එළිදැක්වූවා ය.
ගජමන් නෝනා
ගජමන් නෝනා වර්ෂ 1746 මාර්තු 10 වැනිදා උපත ලැබුවා ය. දෝන ඉසබෙලා කොරනේලියා හෙවත් ගජමන් නෝනා හිටිවන කවි කීමෙහි සහ ලිවීමේ දක්ෂතාවයෙන් ප්‍රසිද්ධියට පත් ශ්‍රී ලාංකේය කිවිඳීයකි. ඇය මාතර සාහිත්‍ය යුගය නියෝජනය කරන අතර, රුහුණේ කිවිඳීය යන විරුදාවලියෙන් ද හඳුන්වයි. ඇය වේරගම්පිට විහාරයේ විසූ කරතොට ධර්මාරාම හිමියන්ගෙන් කාව්‍ය ශාස්ත්‍රය හැදෑරුවා ය. දැඩිතර ශෝක මාලය, දෙණිපිටියේ නුග රුක වැනුම, පියාගේ මරණය පිළිබඳ ශෝකාලාපය, සෙව් වික්‍රම ආරච්චි මහතාට සෙත් පතා ලියූ කවි, තිලකරත්න මුදලිගෙන් පිහිට පතා යැවූ සංදේශය, තිලකරත්න දිසානායක ළමාතැනී කළ පින්කම් වැණුම ආදී පැදිපෙළවල් ඇයගේ නිර්මාණ විය.
විවිමාරි වැන්ඩර්පූටන් (Vivimarie Vanderpoorten)
ඇය ශ්‍රී ලාංකේය කිවිඳීයකි. බෙල්ජියම් සහ සිංහල සම්භවයක් සහිත ඇය මහනුවර ප්‍රදේශයේ උපත ලබා ඇත. එහෙත් ඇය හැදී වැඩී ඇත්තේ කුරුණෑගල ය. Vivimarie Vanderpoorten කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියක් සහ එක්සත් රාජධානියේ අල්ස්ටර් විශ්වවිද්‍යාලයෙන් MA සහ ආචාර්ය උපාධියක් ලබා ඇත. ඇයගේ පළමු පොත වන Nothing prepares You {M} 2007 Gratiaen වර්ෂ 2007 Gratiaen ත්‍යාගය සහ වර්ෂ 2009 SAARC කවි සම්මානයෙන් පිදුම් ලැබී ය. වර්ෂ 2016 Gratiaen ත්‍යාගය, සහ ප්රකාශනයෙන් පසු ඉංග්‍රීසි කවි සඳහා ගොඩගේ සම්මානය දිනා ගෙන ඇත.
රූණ හාමිනේ
රූණ හාමිනේ “රුහුණු හාමිනේ”ලෙස හඳුන්වයි. රූණ හාමිනේ ශ්‍රී ලංකාවේ පැරැණිම කිවිඳීයකි. ඇය මාතර, නාඔටුන්න ප්‍රදේශයේ ඉපදී ඇති බව කියවේ. රූණ හාමිනේ ගමේ පිරිවෙනට ගොස් මහා නාහිමියන් වෙතින් අකුරු ඉගෙනීමට හැකියාව ලැබුවා ය. වැලිපිල්ලේ අකුරු කෙරූ ඇය ඉතාමත් කෙටි කාලයකින් ලිවීමට, කියවීමට පමණක් නොව කාව්‍යකරණයට පවා සමත්කමක් දක්වා ඇත. නායක හාමුදුරුවන්ගේ මඟ පෙන්වීම යටතේ තම නිසඟ කවීත්වය ඔප දමාගත් ඇය ක්‍රමයෙන් තරුණ වියට එළඹීමත් සමඟම මාතර ප්‍රදේශයේ සිටින දක්ෂතම කවිකාරියක බවට පත් වූවා ය.
යැස්මින් ගුණරත්න
යැස්මින් ගුණරත්න වර්ෂ 1935 පෙබරවාරි 15 වැනිදා උපත ලැබුවා ය. ඇය ශ්‍රී ලංකාවේ කිවිඳීයකි. කෙටිකතා රචිකාවක්, විශ්වවිද්‍යාල මහාචාර්යවරියක් ද වේ. ඉංග්‍රීසි සහ පශ්චාත් යටත්විජිත සාහිත්‍ය ක්ෂේත්රයේ ඇයගේ සැලකිය යුතු නිර්මාණාත්මක හා විවේචනාත්මක ප්‍රකාශන හේතුවෙන් ඇය ශ්‍රී ලංකාව, ඔස්ට්‍රේලියාව, යුරෝපය සහ අමෙරිකා එක්සත් ජනපදයේ පිළිගැනීමට ලක් වූවා ය. යස්මින් ලංකා විශ්වවිද්‍යාලයෙන් සහ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇත. The Lizard’s Cry’, ‘Word, Bird, Motif’, ‘6,000 Foot Death Dive’ සහ ‘Celebrations And Departures’ ඇතුළු කාව්‍ය සංග්‍රහ කිහිපයක් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ඇයගේ කවිය ද ඇගයීමට ලක් විය.
යමුනා මාලනී පෙරේරා
ඇය කිවිඳීයක, ගීත රචිකාවියක මෙන්ම නවකතා රචිකාවක ද වේ. යමුනා මාලිනී, ලේඛන කලාවට එක් වූ යොවුන් වියේදී තවත් කවියන් කිහිප දෙනකු සමඟ එකතුව ඇය ලියූ කවි ප්‍රථමයෙන් එළි දක්වන ලදි. ඉන්පසුව ප්‍රවීණ ලේඛක ධර්මසිරි ගමගේ මහතා නිර්මාණය කළ ‘යොවුන් පහන් වැට’ සමඟ සම්බන්ධ වෙමින් කාව්‍යකරණයට සම්බන්ධ වූවාය.
1991දී පළ කළ ‘කුලී මාලිගා’ ඇයගේ පළමුවැනි කාව්‍ය සංග්‍රහයයි. ඇය ලියූ අනෙක් කාව්‍ය කෘති වන්නේ “ණයට ගත් සාජ්ජය”, “තිත්ත මකරන්දය” , “බිංගෙයි සැණකෙළිය,” තත්පර රාවය”, “මතක සංදේශය”,”වා ගං දෑල”, “ගොළු ගිරා ගීතය”, “සඳ සමඟ සක්මනක”, “සීගිරි සහෝදරී” සහ යශෝධාරා යන කෘතියි. 1993දී වසරේ ප්‍රකාශයට පත්වූ ‘තිත්ත මකරන්දය’ කාව්‍ය සංග්‍රහය රාජ්‍ය සාහිත්‍යය සම්මානයෙන් ද පිදුම් ලැබුවා ය.
විපුලි නිරෝෂිණී හෙට්ටිආරච්චි
ඇය ශ්‍රී ලාංකේය කිවිඳීයකි. ළමා හා යොවුන් සාහිත්‍ය නිර්මාණවේදිනියක ලෙස ඇය ප්‍රකට වේ. 1993 දී සිය පළමු කාව්‍ය සංග්‍රහය වන ‘නික්මනක නිමිත්තක්’ පළකර ඇති විපුලි තම දෙවැනි කාව්‍ය සංග්‍රහය ‘සකුන්තලාවගෙන් චූල කාව්‍යයක්’ නමින් පළකර ඇත්තේ 2000 වසරේ දී ය. ඇය ලියූ ළමා කාව්‍ය සංග්‍රහය ‘සතුටු කෝච්චිය’ ද ඇගයීමට ලක් වූ කාව්‍ය කෘතියකි. විපුලි කොළඹ සරසවියේ හා ජයවර්ධනපුර සරසවියේ උපාධි හා පශ්චාද් උපාධි නිමකර සිටියා ය. කවි පොත් ගණනාවක් රචනාකර ඇති විපුලි නිරෝෂිණී අන්තර්ජාල මාධ්‍යයේ ද බොහෝ අයගේ සිත්ගත් කිවිඳීයකි. ඇය ජීවිතයෙන් සමුගන්නා විට වයස අවුරුදු 54ක් පමණ වූවා ය.
චතුරි ලක්ෂිකා