ළමා කවියයි සමාන පදයි
සමාන පද යනු
සමාන අර්ථ සහිත පද සමානාර්ථ පද හෙවත් සමාන පද ලෙස හඳුන්වයි. ඇතැම් පදවලට සමාන අර්ථයක් දෙන පද ගණනාවක් ඇති අතර, ඇතැම් පදවලට සමාන අර්ථ දෙන පද ඇත්තේ කිහිපයක් පමණි. සමාන පද පර්යාය පද ලෙස ද හඳුන්වයි.
බළල් රාල
කම්මැළි පොඩි බළල් රාල
කොහෙද අපේ බළල් රාල
ළිප් බොක්කේ ගුළි වෙලාද
දර මැස්සේ හැංගිලාද
පුටුවක් උඩ නිදි කිරයි ද
තණබිස්සේ වැතිරිලාද
කොහෙද අපේ බළල් රාල
කම්මැළි පොඩි බළල් රාල
කහ පාටැති ලොම් කබාය
ඇඳ ඉන්නේ උජාරුවට
මිදුලේ ගස් කොළන් අතර
ඇවිදින්නේ උදෑසනට
මීයන් පසුපස එළවයි
ලේනුන් දැක හොරෙන් බලයි
කෝලම් වැඩ හරි බොහොමයි
එයාගෙ නම මිකී තමයි
පුරු පුරු ගානා යාළූ
කන්නට ආසයි මාළූ
දැවටෙන විට නැත පාළූ
මගෙ ආදර කිටි යාළූ
මෙම කවියෙහි එන ඇතැම් පදවලට සමාන පද හඳුනා ගනිමු
බළල් – බිළාල, පූස්
කම්මැළි – අලස, උදාසීන, කුසීත
පොඩි – කුඩා, සිඟිති, චූටි, පුංචි
පුටුවක් – ආසනයක්
ගස් – වෘක්ෂ, රුක්, තුරු
ලොම් – මවිල්
කබාය – ලෝගුව, ජැකට්ටුව
උජාරුව – ආඩම්බරය, උඩඟුව
මීයන් – මූසිකයන්
යාළූ – මිතුරු
පිරුළක් සෑදුණු හැටි
තැනට හෙවත් අවස්ථාවට ගැළපෙන ආකාරයට විශාල අර්ථයක් ප්‍රකාශ කිරීම වෙනුවට කෙටි වැකියක් යොදාගැනීම සිංහල භාෂාවේ බහුලව සිදුකරනු ලැබේ. මෙය ප්‍රස්තාව පිරුළු ලෙස හඳුන්වයි. ”සුදුසු අවස්ථාවට ප්‍රයෝජන ලබාගැනීම සඳහා අනුන්ගෙන් ලබාගත් වැකි” යන තේරුම ද ප්‍රස්තාව පිරුළු හැඳීන්වීමට යෙදිය හැකි ය . මෙම පිරුළු ඇතැම්විට උපහාසාත්මක ප්‍රකාශ ඉදිරිපත් කිරීමට ද යොදා ගනී. මෙම ප්‍රස්තාව පිරුළු බොහොමයක් බිහිවීමට පසුබිම් වූ ජන කතන්දර ද තිබේ. අද අපි ” අබරං සිල් ගත්තා වගෙයි” යන ප්‍රස්තාව පිරුළට පසුබිම් වූ ජන කතන්දරය හඳුනා ගනිමු.
අබරං සිල් ගත්තා වගෙයි
එකමත් එක කාලයක එක් ගම්මානයක අබරං කියලා මනුස්සයෙක් සිටියා. ඔහු තරමක් අනුවණ කෙනෙක්. ඔහුගේ බිරිය හැම පෝයකටම සිල් ගැනීම සඳහා පන්සලට යෑමට පුරුදු වී සිටියා. තමන් සමඟ සිල් ගැනීමට යෑමට අබරංටත් එන ලෙස බිරිය පැවසූවත් අබරං ඒ ගැන එතරම් උනන්දු වූයේ නැහැ. ඒත් එක දවසක් අබරංටත් සිතුණා.
සිල් ගන්න යන්න. ඊට කලින් අබරං බිරියට පැවසුවා තමන් සිල් ගන්න ඊළඟ පෝයට පන්සල් යන්න සිතූ බව. එය අසා බිරියට ගොඩක් සතුටු සිතුණා.
“එහෙනම් ඔහේ මෙදා පාර පෝයට පන්සල් ගිහින් සිල් සමාදම් වෙන්න. මං ගෙදර නැවතිලා දානේ උයලා දවාලට දානෙත් අරන් පන්සලට එන්නම්” කියලා බිරිය පැවසුවා.
ඉන්පසු අබරං බිරියගෙන් ඇසුවා “කොහොමද සිල් ගන්නේ?” කියලා.
ඉතින් බිරිය කිව්වා “ආ එක හරිම ලේසි දෙයක්නෙ. ඔහේට කරන්න තියෙන්නේ පන්සලට ගිහින් හාමුදුරුවෝ කියන වචන ඒ හැටියම කියන එකයි.”
ඔන්න පෝය දවස උදා වුණා. අබරං පෝය දවසෙ උදෙන්ම අවදි වෙලා ලෑස්ති වෙලා පන්සලට ගියා. පන්සලට ඇතුළු වූ විටම අබරංට හාමුදුරුවෝ මුණ ගැසුණා. හාමුදුරුවෝ අබරංගෙන් ඇහුවා “කවුද ඔතැන?” කියලා. අබරංට තමන්ගේ බිරිය කිව්ව කතාව මතක් වුණා. ඉතින් අබරං හාමුදුරුවරුන්ගෙන් ඒ වාක්‍යයම ඇසුවා “කවුද ඔතැන?” කියලා.
එවිට හාමුදුරුවෝ අබරංගෙන් ඇසුවා “උඹට පිස්සුද?” කියලා. එතකොට අබරනුත් “උඹට පිස්සුද?” කියලා ඇසුවා.
මේ විදිහට හාමුරුවෝ අසන අසන දෙය ඒ ආකාරයටම අබරං ආපසු හාමුදුරුවන්ගෙන් ඇසුවා. අබරංගේ විකාර කතා ඇසිලා පන්සලේ සිටි අනෙක් අයත් එතැනට දිව ආවා. ඔවුන්ට හොඳටම තරහ ගියා. ඊට පස්සේ ඔවුන් අබරංට ගහන්න උත්සාහ කළා. ගුටියක් දෙකක් වැදෙද්දී අබරං පණ බේරාගෙන ආපසු නිවෙසට
දිව ආවා. කෙඳීරි ගාමින් නිවෙසට දිව ගිය අබරං දැක ඔහුගේ බිරිය පුදුම වුණා.
“මේ මොකද කලින්ම ආවේ? ඔහේ සිල් ගත්තේ නැද්ද?” කියලා ඇය ඇසුවා.
“සිල්ගන්න එක මේ තරම් අමාරු දෙයක් කියලා මං හිතුවේ නෑ. හාමිනේ කොහොමද හැම මාසෙම සිල් ගන්නේ? මට මේ එක දවසක් සිල් අරගෙනත් හරිම අමාරුයි” යනුවෙන් පැවසූ ඔහු පන්සලේදී සිදුවුණු හැමදේම බිරියට පැවසුවා. සැමියාගේ අනුවණකම හොඳීන්ම දැනසිටි ඇය බෙහෙත් තෙල් ගාලා අබරංට සාත්තු කළා.
අබරං තමන් හරිහැටි නොදන්න දෙයක් කරන්න ගිය නිසා තමයි මේ තරම්ම අසීරුතාවකට පත් වුණේ. ඉතින් කවුරු හරි කෙනෙක් හරි හැටි විමසා නොබලා නොදන්න දෙයක් කරන්න ගිහින් අමාරුවේ වැටුණු විටදී “අබරං සිල් ගත්තා වගෙයි” යනුවෙන් පැවසීමට ගැමියන් පුරුදු වී සිටිනවා.
නාම පදයි කතන්දරයයි
නාම පද
“සප්රාණික සියලුම සතුන් හා අප්‍රාණික සියල්ල හැඳීන්වීමට භාවිත වන නාම” නාම පද ලෙස නිර්වචනය කළ හැකි ය.
පුද්ගලයකු, තැනක්, දෙයක්, පිළිබඳ අර්ථයක් දෙන පද නාම පද වශයෙන් හැඳීන්විය හැකි ය.
පුද්ගල නාම පද, සත්ත්ව නාම පද, ද්‍රව්‍ය නාම පද, ස්ථාන නාම පද වශයෙන් නාම පද වර්ග කිහිපයක් තිබේ.
ප්‍රාණවාචී නාම පද සහ අප්‍රාණවාචී නාම පද වශයෙන්ද නාම පද වර්ග කළ හැකි වේ.
සිංහල භාෂාවෙහි ඇති පද අතරින් අති විශාල සංඛ්‍යාවක් ඇති පද වර්ගය වන්නේ නාම පදයි.
වැසි ගෙන ආ සංගීතය
කාලයක් තිස්සේ නියඟයෙන් පීඩා විඳී කුඩා රටක් අතීතයේ තිබුණා. වැස්සක් නැතිව කෙතරම් කාලයක් ගත වුණා ද කියනවා නම් අස්වැන්න විනාශ වී ගියා. ඒ නිසා එම රටේ මිනිසුන්ට බඩගින්නේ ඉන්න සිදු වුණා.
මේ අතරේ එම රටට සංගීතඥයන් පිරිසක් පැමිණියා. ඔවුන් සංගීත ප්‍රසංගයක් පවත්වා මුදල් උපයා ගැනීමටයි එහි පැමිණ තිබුණේ. එහෙත් වැසි නොලැබී මේ රටේ උද්ගතව තිබූ බොහෝ ප්‍රශ්න නිසා සංගීතයට සවන් දීමට කිසිවකුත් උනන්දු වුණේ නැහැ.
“එහෙත් සංගීතයට ඕනෑම ගැටලුවක් ජය ගන්න පුළුවන්.” සංගීතඥයන් පැවසුවා.
කිසිම කෙනෙක් සංගීතඥයන් කියූ දේවලට අවධානය යොමු කළේ නෑ.
ඉතින් වාදකයෝ වහින්නේ නැති හේතුව හොයන්න උත්සාහ කළා. අහස වැහි වලාකුළුවලින් වැසී තිබුණත් වැස්ස
ඇද නොහැළීම පුදුමයට හේතුවක් වුණා.
“මාස ගණනාවක් තිස්සේ මේ ආකාරයට අහස වලාකුළුවලින් පිරිලා තිබෙනවා. ඒත් එක වැස්සක්වත් වැටුණේ නැහැ,”
මිනිසුන් සංගීතඥයන්ට පැවසුවා.
“බය වෙන්න එපා, අපි මේ රටට වැස්ස ගෙන එමු”
සංගීතඥයන් එසේ පවසා රටේ තිබුණු උසම කඳු මුදුනේ සංගීත ප්‍රසංගයක් කිරීම සඳහා පෙරහුරු කිරීමට පටන් ගත්තා.
සංගීතය ඇසූ සියල්ලන්ම කුතුහලයෙන් කන්දට නැග්ගා. මෙම අමුතු වාද්‍ය වෘන්දය මෙහෙයවන්නා නියෝගය ලබා දුන් අතර, සංගීතඥයන් වාදනය කිරීමට පටන් ගත්තා. ඔවුන්ගේ වාද්‍ය භාණ්ඩවලින් කුඩා, ක්‍රීඩාශීලි සංගීත සටහන් ඉහළට නැඟී වලාකුළු වෙත ගමන් කළා. එම සංගීතය ඉතා ප්‍රීතිමත් සහ විනෝදජනක වූ අතර, සංගීත සටහන් මෘදු වලාකුළු සමඟ සෙල්ලම් කිරීමට පටන් ගත්තා. සංගීත සටහන් වලාකුළු මත එහා මෙහා යෑමට ද , ඉහළට සහ පහළට දිව යෑමට ද පටන් ගත්තා. එය මුළු අහසම කිතිකැවීමේ විශාල ක්‍රීඩාවක් බවට පත් වුණා. වැඩි වේලාවක් යන්නට පෙර යෝධ වලාකුළු සිනා හඬින් ගිගුරුම් දෙන්නට පටන් ගත්තා. එයින් පසු මහා වැසි ඇද හැළෙන්නට පටන් ගත්තා. ඔන්න බලන්න සංගීතයට කරන්න බැරි දෙයක් නෑ නේද?
pedro pablo sacristan විසින් රචිත කෙටිකතාවක් ඇසුරෙන්
මෙම කතාවෙන් හමු වූ නාම පද
රටක් – ස්ථාන නාම පද
අස්වැන්න – ද්‍රව්‍ය නාම පද
මිනිසුන් – පුද්ගල නාම පද
සංගීතඥයන් – පුද්ගල නාම පද
මුදල් – ද්‍රව්‍ය නාම පද
වලාකුළු – ද්‍රව්‍ය නාම පද
අහස – ස්ථාන නාම පද
කඳු මුදුන – ස්ථාන නාම පද
වාද්‍ය වෘන්දය – පුද්ගල නාම පද
සංගීත සටහන් – ද්‍රව්‍ය නාම පද
වාද්‍ය භාණ්ඩ – ද්‍රව්‍ය නාම පද
හර්ෂණී ගමගේ