සිතුවමක් ඇදීමෙන් ළමා මනස සන්සුන් වේ. එමෙන්ම සිතුවමක් යනු සිත එක අරමුණකට ගන්නා භාවනාවක් වැනි ය. අධ්‍යාපනය ලබන අවධියේදී සිත සන්සුන් කරගනිමින් අධ්‍යාපනය ලැබීමට යොමුවීම වැදගත් වේ. මේ සඳහා සෞන්දර්ය විෂයයන් බෙහෙවින්ම උපකාරී වේ. සංගීතය, නැටුම්, චිත්‍ර කුමන විෂයක් වුවද හැදෑරීමෙන් සිතක් සමාධි ගත කිරීමට හැකියාව ලැබේ. මෙය කුමන තරාතිරමේ අයකුට වුවද පොදු ය. මේ හැරුණු විට දරුවකුට ඔහු හෝ ඇය කැමැති ක්‍රීඩාවකට යොමු කිරීමෙන් ද සිත සන්සුන් කරගැනීමට හැකියාව ලැබේ. දරුවන් එවැනි අරමුණු කෙරෙහි යොමු කිරීම ගුරුවරුන්ගේ මෙන්ම මව්පියන්ගේ ද වගකීමකි. නුගේගොඩ සුජාතා විද්‍යාලයේ දියණියෝ තම දක්ෂතා ඉදිරිපත් කිරීම සඳහා පසුගියදා චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්වූහ. මේ වෙනුවෙන් එහි වැඩබලන විදුහල්පතිනිය රන්මලී පෙරේරා මහත්මිය ප්‍රබල උත්සාහයක් දැරුවා ය. මෙම ප්‍රදර්ශනය සංවිධානය කළේ එරන්දි ප්‍රනාන්දු මහත්මියයි. සුජාතා විද්‍යාලයේ චිත්‍ර ගුරුවරුන් වන බුද්ධිනී ගුණසේකර මහත්මිය සහ මාරි පතිරත්න මහත්මිය මේ සඳහා කැපවීමෙන් කටයුතු කරන ලදි. 1 වැනි ශ්‍රේණියේ සිට 5වැනි ශ්‍රේණිය දක්වා දැරියන්ට අධ්‍යාපනය ලබා දෙන සුජාතා ප්‍රාථමික විද්‍යාලය මෙවර චිත්‍ර ප්‍රදර්ශනය පැවැත්වූයේ දැරියන් 1300කගේ සහභාගිත්වයෙනි. ඉතින් ආදරණීය දුවේ පුතේ, නුගේගොඩ සුජාතා දියණියන්ගේ හැකියාවන් පිළිබඳ ඔබට කියන්නයි මේ සූදානම. ඔබත් ඔවුන්ගේ කතාව කියවලා බලන්නකෝ.
නුගේගොඩ සුජාතා විද්‍යාලයේ පැවැත්වූ චිත්‍ර ප්‍රදර්ශනයේ මූලික අරමුණු
* දරුවන්ගේ හසුරු කුසලතා දියුණු කිරීම
* කලාත්මක හැකියාවන් දියුණු කිරීම
* චිත්‍ර ඇ¼දීමට දරුවන් තවත් දිරි ගැන්වීම
* ජයග්‍රහණය කරන දරුවන් ඇගයීම හා අනෙක් දරුවන් දිරි ගැන්වීම
* තාක්ෂණික උපාංගවලට බෙහෙවින් යොමු වූ දරුවන්ගේ කලාත්මක බව වර්ධනය කිරීම
සුජාතා දියණියන්ගේ සිතුවම් දැක්මේ ගුරුවරුන්ගේ කාර්යය
ප්‍රාථමික දැරියන්ගේ සිතුවම් ඇ¼දීමේ දක්ෂතාව සහ ඔවුන්ගේ ශිල්පීය කුසලතාව ඔප් නැංවීම අරමුණු කරගෙන මේ චිත්‍ර ප්‍රදර්ශනය පැවැත්වී ය. පසුගිය ඔක්තෝබර් 16 වැනි දින පැවැත් වූ මේ චිත්‍ර ප්‍රදර්ශනය සඳහා නිදහස් කුසලතාවකින් දැරියන්ට මුහුණ දීමට අවස්ථාව උදා කිරීමට ගුරුවරු තීරණය කළහ. චිත්‍ර අංශයෙන් ප්‍රදර්ශනය පැවැත්වූවත්, විද්‍යාලයේ සෑම ගුරුවරයකුම මේ සඳහා විශේෂ දායකත්වයක් ලබා දුණි. දැරියන් සෞන්දර්ය කුසලතා කුමන ආකාරයට ඔවුන්ගේ සිතේ තැන්පත් වී තිබේ ද යන්න පිළිබඳ විමසා බැලීමක් ද මෙහිදී සිදු විය. කුමන සිතුවමක් වුවත් ප්‍රදර්ශනය සඳහා යෝග්‍ය බව එනිසා ගුරුවරු තීරණය කළහ. මේ නිසා දකින පෙනෙන, ඕනෑම දෙයක් සිතුවමට නැඟීමට දරුවන්ට ඉඩ ප්‍රස්තාව ලැබිණි. මේ අනුව සිද්ධීන්, මෝස්තර වැනි සිතුවම් ප්‍රදර්ශනයට යොමුකර තිබිණි.
කුසලතා සහ ආකල්ප දියුණු කිරීමේ සුජාතාවේ වැඩසටහන්
සුජාතා විද්‍යාලය සෑම වසරකම විවිධ වූ ප්‍රදර්ශන පවත්වමින් දරුවන්ට දැනුමක් කුසලතාවක් ලබාදීමට කටයුතු කරන බව එහි වැඩබලන විදුහල්පතිතුමිය පැවසුවා ය. මේ අනුව ගිය වසරේ දරුවන් මෙහෙයවමින් රොබෝටික් ප්‍රදර්ශනයක් පැවත්වීමට සුජාතා විද්‍යාලයේ අධ්යක්ෂතුමා තීරණය කළේ ය. ඒ අනුව ගුරුවරුන්ගේ දායකත්වය ද ඇතුව බොහෝ දරුවෝ රොබෝ කෙනකු නිර්මාණය කිරීමට ද යොමු වූහ. තාක්ෂණය යනු කුමක් ද? එය යොදා ගැනීමේදී දරුවන් සැලකිලිමත් විය යුත්තේ කුමන ආකාරයට ද යන්න පිළිබඳ අවබෝධයක් ලබා දීමට ගුරුවරු ක්‍රියා කළහ. ඒ අනුව නිරන්තරයෙන්ම නිවැරැදි ආකාරයට තාක්ෂණය යොදා ගන්නේ කෙලෙසක ද යන්න පිළිබඳ විමසිලිමත් වීමට සුජාතා දියණියෝ හුරු කරති.
කුසලතා සහ මනස සංවර්ධනය කරන ආකාරය
හැකි සෑමවිටම කුසලතා සහ මනස සංවර්ධනය කිරීමේ වැඩ පිළිවෙළවල් ක්‍රියාත්මක කිරීමට සුජාතා විද්‍යාලය කටයුතු කළේ ය. ලොවේ එකෙක් එක් දෙයකට වෙයි සමත යනුවෙන් කතාවක් තිබේ. මේ අනුව සුජාතා දියණියන්ගේ කුසලතා ඉදිරියට ගෙන ඒමටත් මනස සංවර්ධනය කිරීමට ගුරුවරු නිරන්තරයෙන් පියවර ගනිති. මේ චිත්‍ර ප්‍රදර්ශනය පැවැත්වීමේදී පාසලේ අධ්‍යාපනය ලබන කාලය චිත්‍ර ඇඳීම සඳහා යොදා ගත්තේ පුංචි මනසට මද විවේකයක් ලබා දෙමිනි. මේ අනුව 1ශ්‍රේණියේ සිට 3 ශ්‍රේණිය දක්වා බුද්ධිනි ගුරුතුමිය සිය දරුවන්ට මඟ පෙන්නුවා ය. එමෙන්ම 4-5 ශ්‍රේණි සඳහා මාරි ගුරුතුමිය මඟ පෙන්නුවා ය. නිදහස් අදහස් නිර්මාණාත්මකව සිතුවමට නැඟීමට බොහෝ දරුවෝ ඉදිරිපත් වූහ. සෑම දරුවකුටම එකිනෙකට වෙනස් වූ සංකල්පයක් තිබිණි. සංකල්පරූපීව සිතුවමක් ගොඩනැඟිය යුත්තේ කෙබඳු ආකාරයට යන්න පිළිබඳ සුජාතා දියණියෝ සැලකිලිමත් වූහ.
වර්ණ සංයෝජනය සහ සොබාදහම හඳුනා ගැනීම
බොහෝ දරුවන්ගේ සිතේ විවිධාකාරයේ රූප ගොඩනැඟී තිබේ. ඒවා පරිසරය පිළිබඳ හෝ තමන්ගේ ළඟම වැඩිහිටියකු හෝ යහළුවකු පිළිබඳ විය හැකියි. එහෙත් ඒ රූපය සිතුවකට නැඟිය යුතුවන්නේ කෙසේ ද? ඒ සිතුවමින් කිසියම් පණිවිඩක් නරඹන්නාට ගෙන එන ආකාරයට සිතුවම ඉදිරිපත් කළ යුතුයි. මෙහිදී වර්ණ සංයෝජනය පැහැදිලි විය යුතුයි. ඒ ඒ වර්ණයෙන් දරුවා කුමක් ඉදිරිපත් කරන්නට උත්සාහ ගන්නේ ද යන්න පිළිබඳ සිතුවම නරඹන්නාට පැහැදිලි විය යුතුයි. එසේ කිසියම් සිතුවමකින් යම් සංකල්පයක් තහවුරු වේ ද ඒ සිතුවම සාර්ථක වේ. මේ ආකාරයට සාර්ථක සිතුවමක් ඇඳීමට නම් ගුරුවරුන්ගේ මඟ පෙන්වීම අවශ්‍ය වේ. සුජාතා දියණියන්ට එලෙස ගුරුවරු මඟ පෙන්වීම ලබා දුන්හ.
තාක්ෂණික උපාංග සහ කලාවේ වටිනාකම
කොරෝනා සමය නිමාවත් සමඟ බොහෝ දරුවෝ තාක්ෂණික උපාංගවලට යොමු වූහ. එහෙත් මේ නිසා දරුවන්ගේ විවිධ අසාමාන්‍ය ක්‍රියා දැකීමට තිබුණු බව අපට මතක තිබේ. මෙයින් පුංචි දරුවන් ඉවතට ගැනීමට නම්, ඔවුන්ගේ කලා කුසලතා වර්ධනය කළ යුතුයි. මේ නිසා සෑම විටම චිත්‍ර, නැටුම්, සංගීතය වැනි විෂයන්වල වටිනාකම දරුවන්ට වටහාදීමට ගුරුවරු උත්සාහ ගත යුතුයි. නැතිනම් අනාගතයේ බිහි වන්නේ තාක්ෂණික මෙවලම්වලට ඇලුම් කරන දරුවකු පමණි. මේ නිසා දරුවන්ගේ මනස සෑම විටම නිරවුල්ව තබා ගැනීමට නම් ඔවුන් රසවින්දනාත්මක දේවල් සඳහා යොමු කළ යුතුයි. සුජාතා විද්‍යාලය ප්රමුඛ වෙමින් ප්‍රාථමික දරුවන් වෙනුවෙන් ඇරඹූ මේ කාර්යය මේ වන විටත් සාර්ථක වී ඇත. මේ නිසා කොතරම් තාක්ෂණයට නව ලෝකය නැඹුරු වුවත් දරුවන් කලා විෂයයන් කෙරෙහි ද යොමු කිරීම වැඩිහිටියන්ගේ වගකීමකි. මෙවැනි වගකීමක් ඉටු කළ සුජාතා විද්‍යාලයේ ගුරුවරු මෙන්ම දරුවන් ද මව්පියන් ද අප සෑම විටම අගය කරමු. වර්තමානයට අවශ්‍ය වන්නේ මෙවැනි ක්‍රියාදාමයන් ය.
නුගේගොඩ සුජාතා විද්‍යාලයේ ගුරුවරු, මව්පියන් දරුවන් වෙනුවෙන් ගන්නා සෑම උත්සාහයක්ම සාර්ථක වේවා යැයි මිහිර වෙතින් සුබ පතමු.
රූපාන්ති බුලත්සිංහල
ඡායාරූප- නිශ්ශංක විජේරත්න