කෑමෙන් බීමෙන් අනතුරුව අපි මඳ විවේකයක් ගතිමු.
“ගෙදරට පැනගන්න බැරිවේද කංචු?”
“ඒ ගැන තමයි කරුණෙ මාත් හිතුවෙ“
“වෙදමාමා හරි උපක්‍රමශීලියි. අද ඉතින් කාලා බීලා යන එක හරි නෑ. ඔන්න ඔහෙ ඉඳලාම හවස්කොරේම යමු” විමලෙ කියයි.
“ඉතින් දරුවනේ දැන් මෙහෙට ආවා නම්” වෙද බාප්පා කතා කරයි.
අපි එකා දෙන්නා කල්ක හැළිය වටා රොක් වුණෙමු.
“ගුණපාල ?….. අර අර බෝතල් ටික පැහිදාන වතුරෙන් ගත්තද?”
“තාම නෑ වෙද මහත්තයා. එහෙනම් දැන් බාන්නද?”
“ඇයි උඹට අමතක වුණාද වෙනදා කරන දේ?”
“නෑ…………නෑ…….හරි වෙද මහත්තයා” කියන ගුණේ මාමා ලොකු කුඩා බෝතල් පනහක් පමණ එහි වාෂ්ප යන්නටත් මත්තෙන් දැල් ගොටුවකට බේරා පැදුර මත ගෙනැවිත් දැම්මේ ය.
“දරුවනේ අත ඉක්මන් කරපල්ලා. ඔය බෝතල්වලට අවුන්ස හැඳි පහ ගණනෙ පූරවපල්ලා. එක්කෙනෙක් රස්නෙ පිටම මූඩිය වහනවා. අනෙක් කෙනා ටික ටික එක තැනකට කල්කය එකතු කරනවා. තේරුණාද මං කියූ දේ?” වෙද මාමා අසයි.
අපි මාරුවෙන් මාරුවට සියලුම බෝතල් පිරවීමු. ඉතුරු වුණේ තඹලේරුවේ අඩිය හා වටේ ගෑවුණු ප්‍රමාණ පමණකි.
“කෝ බලන්න?” කියූ වෙද බාප්පා “මේක පුතේ හොඳ ඖෂධයක්. කෙට්ටු අය මහත් කරනවා. මාන්දම නැති කරනවා. ආහාර අරුචිය නැති කරනවා. ශරීරය ශක්තිමත් කරනවා. මේක අපූරු ඖෂධයක්. උඹහෙලත් කාලා බලලා හිටිය නම්” .
“මෙන්න මේක මගෙන්. තාමත් රස්නෙයි. මේන් බලනවා පුතේ.” වෙද බාප්පා තඹලේරුවක් පත්තත් සූරා කුඩා දොඹ ගෙඩි තරම් ගුළි තුන හතරක් අපට දුන්නේය. අපි ඒවා කෑවෙමු. එළඟි තෙල් රසත්, මීපැණි රසත් විටින් විට මතුව ආවේය. කිසිදු බෙහෙත් රසයක් එහි නොවුණද අමුතුම නැවුම්, පි‍්‍රයමනාප ගතියක් එහි රසයෙන් දැනුණි.
ඉර අවරට හැරී හෝරා දෙකක් පමණ ගත වන විට කරන ලද වැඩයේ නිමාව ආසන්න වෙමින් තිබුණි.
“වෙද බාප්පෙ අපි එහෙනම් දැන් යන්නම්”
“මේ ඔහොම හිටිල්ලා. කොපි පොතක්, පැන්සලක් ගන්න මේ ගතමනාව තියාගනිල්ලා.” වෙද බාප්පා අපට යම්කිසි මුදල් ප්‍රමාණයක් දෙන්නට සූදානම් විය.
අපි හතර දෙනාම එම මුදල් ප්‍රතික්ෂේප කළේ, එය මුදලට කළ කාරියක් නොවන නිසාම ය.
“දැන් අදට ඉතුරු වුණේ බෝතල්වල ලේබලය අලවන එක විතරයි. ඒක නම් ගුණේ කරලා දාවි. මේ බේත් ඖෂධේ කළුතර මහා සාප්පුවට ගෙනියන්න හෙට එහෙන් තුන් හතර දෙනෙක් එනවා. ඒකයි කලබලේ තිබුණෙ.” වෙද බාප්පා කීවේ අපට දැන ගන්නට විය හැකි ය.
සපත්තු කානුව ළඟදී අපි වෙන්ව ගෙවල්වලට යන්නට කතා කර ගතිමු.
මා ගෙට ගොඩ වෙත්ම ආත්තම්මා සතුටු සිතින් මා දෙස බැලූ බවක් මට දැනුණි.
“අද කෙරුම් කාරයො ටික වෙදඋන්නැහේට අහුවෙලා. හරේ මෙහේ රස්තියාදු ගහනවට වඩා බේතක් හේතක් හදන්න දැන ගන්න එක ලොකු දෙයක් නේ.” ඇය කීවාය.
“අද බෙහෙත නම් හදන්න දන්නවා. ඒත් ඒකෙ නම අහගන්න බැරිවුණා නේ”
“හරි…….හරි………..ඒකට කාරි නෑ”
“මොකද පුතේ අද මහප්පලගෙ ගෙදරින් කිව්වෙ? වෙද බාප්පා එහෙම හොඳට සංගරහේ කෙරුවද?”
“අප්පේ ඒ වැයින් නම් අඩුවක් නෑ. ඒ වුණාට අත නොනවත්වා වැඩ කරන්න එපා ය. කිසිම නිදහසක් මට නම් දැනුණෙ නෑ. ආයෙ හෙටත් එන්නලු. මට නම් යන්න බෑ ආත්තම්මෙ”
“ඉතින් …….මොනවද පුතේ කරන්න තිබුණෙ?” අප්පච්චි ඇසුවේ පෙර කී දෙයට නෑසූ කන්ව සිටි නිසා ය.
“අනේ අප්පච්චි එතැන වැඩ කරන්න බෑ. එක වැඩක් නෙවෙයි. අප්පා වැඩ කෝටියක් එතැන. හෙටත් එන්න කීවා. අපි මුකුත් කීවෙ නෑ. ඒ වගේම යන්නත් බෑ” මම කීමි.
“බැරිනම් මොනවා කරන්නද? දැන් ඉතින් ඉස්කෝලෙ යන්නත් ළඟයි නේ” අප්පච්චි කීවේ ය. බේත් ගෙයි සුවඳ තවමත් මට දැනෙන්නට විය. ඒත් එහි නියැළෙන්නට මා සූදානම් නැත.
වෙද මහත්තයගෙ හැටි අපි නොදන්න වැයි. පුංචි එකෙක් හරි එයාගෙ වැඩ ටික කරලා දෙනවා නම් එච්චරයි එයාට ඕන” අම්මා කීවාය.
“එහෙම කියන්න එපා හාමිනේ. උන්දැ බේත් හේත්වලට කවදාවත් අපෙන් සල්ලි ගන්නේ නැහැනේ.” අප්පච්චි කීවේය.
වෙනදා මෙන් සපත්තු පාලම ළඟට එක්වූ අපි නව පාසල් වාරය ගැන කතා කළෙමු.
අලුත් පොත්, අලුත් පන්තිය සමහර විට අප පන්තියට පිටතින් පැමිණෙන ළමයින් හා ඇඳුම ගැන
අපි කතා කළෙමු.
ගැහැනු ළමයින් නොවූ අප පාසලේ සියලුම කටයුතු පැවරෙන්නේ අපටම ය.
පාසලේ දඟ ළමයකු වී කෙතරම් ගුටි කෑවද මෙවර නව වසරේ හොඳ ළමයකු වී ඉගෙනීම නිසියාකාරව කිරීමට අපි සනිටුහන් කර ගතිමු. ඉගෙනීමෙන් අපට අනාගතයේ යහපත් තැනක් ලබා ගැනීමටත් අපි එකිනෙකාට සහයෝගය ලබා දී දැනුම හුවමාරු කර ගැනීමටත් අපි සිව් දෙනා එකා මෙන් අදිටන්කර ගතිමු.
නිමි.