තරුකි ලියූ ඔරලෝසුවෙන් ගමනක් කෘතිය ඇගයේ
කොළඹ මහජන පුස්තකාලයේ ලේඛක පාඨක සංසදය විසින් මාසිකව පවත්වනු ලබන ‘ලේඛකයෙක් සමඟ හෝරාවක්’ වැඩසටහන මෙවර පවත්වන ලද්දේ තරුකි ලක්නාරා දියණිය ලියූ ‘ඔරලෝසුවෙන් ගමනක්’ කෘතිය පිළිබඳයි. මෙහි ප්‍රධාන දේශනය මහාචාර්ය සරත් විජේසූරිය මහතා විසින් පවත්වන ලදි. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ හිටපු සහකාර අධ්යක්ෂ විජේදාස හේවගේ මහතා, ප්‍රවීණ ලේඛක පියසේන වික්‍රමගේ මහතා, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ හිටපු ප්‍රවීණ නිවේදිකා දමයන්ති නානායක්කාර, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ හිටපු ප්‍රවීණ නිවේදිකා ජ්‍යෙෂ්ඨ වැඩසටහන් සම්පාදිකා ප්‍රවීණ නාට්‍ය ශිල්පිනී ඉනෝකා බණ්ඩාර මහත්මිය, ප්‍රවීණ රංගන ශිල්පී විශ්‍රාමලත් පාඨශාලාචාර්ය වික්‍රම සෙනෙවිරත්න, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්රවෘත්ති අංශයේ හිටපු සහකාර අධ්යක්ෂ සුධර්මා විජේරත්න මහත්මිය, විශ්‍රාමලත් ආචාර්ය ප්‍රවීණ ගායන ශිල්පී විශාරද සරත් ඕවිටිගල මහතා, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නිවේදිකා ජ්‍යෙෂ්ඨ වැඩසටහන් සම්පාදිකා ප්රියන්තිනී ගමගේ යහම්පත් මහත්මිය, කොළඹ මහජන පුස්තකාලයේ ප්‍රධාන පුස්තකාලයාධිපතිනි වරුණි ගඟබඩආරච්චි මහත්මිය, ගුවන්විදුලි නිවේදිකා තේජානි විජේසිංහ, මුල් ළමා විය සංවර්ධනය පිළිබඳ ලිට්ල් කිඩ්ස් පෙර පාසලේ ප්‍රධානාචාර්ය ලක්ෂ්මි රාණි අල්විස් මහත්මිය, වෛද්‍ය චමරා ශ්‍යාමලී මහත්මිය, ප්‍රවීණ ලේඛිකා ඉන්ද්‍රා පුෂ්පානි ජයවර්ධන මහත්මිය, සම්මානලාභී ගත්කතුවර මලික් තුසිත ගුණරත්න, සම්මානලාභී ගත්කතුවර නිහාල් අකුරුගොඩ මහතා, ගේය පද රචිකා සංජිමා සුදේශිනී රාජපක්ෂ මහත්මිය, ගත් කතුවර රුවන් රත්නායක මහතා, වෛද්‍ය නවරත්න තිලකසිරි මහතා, සංගීතඥ හසන්ත ජයලාල් මහතා, ගායන ශිල්පිනී යමුනා විනෝදනී, යාල් ටී වී ආයතනයේ ශිරන්ත මහතා සහ ගුවන්විදුලි සහ පුවත්පත් ආයතන සහ විවිධ ක්ෂේත්රවල විද්වත්හු රැසක් සහභාගි වූහ. මෙම වැඩසටහනෙහි නිවේදිකාව ලෙස කටයුතු කරනු ලැබුවේ ප්‍රවීණ ගුවන්විදුලි නිවේදිකා දිනූෂා වෙත්තසිංහ විසිනි.
හර්ෂණි ගමගේ
*******************
කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයෙන් බඩල්කුඹුර ගමේවෙල සිද්ධාර්ථ ප්‍රාථමික විද්‍යාලයට පාසල් උපකරණ
මොනරාගල අධ්‍යාපන කලාපයට අයත් බඩල්කුඹුර ගමේවෙල සිද්ධාර්ථ ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන දරුදැරියන්ට පාසල් උපකරණ, සපත්තු ලබාගැනීමට වවුචර්පත් සහ විද්‍යාලයේ පරිගණක විද්‍යාගාරයට අවශ්‍ය උපකරණ, ක්‍රීඩා භාණ්ඩ සහ පන්ති කාමරවලට අවශ්‍ය උපකරණ ප්රදානය කිරීම පසුගියදා විද්‍යාල පරිශ්‍රයේදී සිදු කෙරිණි.
කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ 2008 ආදි ශිෂ්‍ය කණ්ඩායම මඟින් මෙම පරිත්‍යාග සිදුකළ අතර, ඒ සඳහා වැයකර ඇති මුදල රුපියල් ලක්ෂ දහයක් පමණ වේ.
මෙම අවස්ථාව සඳහා කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ 2008 ආදි ශිෂ්‍ය කණ්ඩායම නියෝජනය කරමින් ඉන්දික නියරේපොළ, නමිත හේවාකුරුප්පු, ශාක්‍ය අතුකෝරල, සසිත් මුණසේකර, බුද්ධි සෙනෙවිරත්න යන ආදි සිසුන් සහ විශ්‍රාමලත් අධ්‍යාපන උපදේශක ජයන්ත සෙනෙවිරත්න, විද්‍යාලයේ විදුහල්පති ප්‍රසාද් තිලකරත්න යන මහත්වරුන් ඇතුළු එම විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය, පාසලේ දරුදැරියන් සහ මව්පියෝ සහභාගි වූහ.
*******************
වරුණගම කොටවෙහෙරගල ශ්‍රී ආලෝක දහම් පාසලේ දරුවන්ට උදෑසන ආහාරය සහ පැළ බෙදා දීම
වරුණගම කොටවෙහෙරගල ශ්‍රී ආලෝක දහම් පාසලේ ළමයින් සඳහා උදෑසන ආහාරය සහ පැළ බෙදාදීමේ වැඩසටහනක් පසුගියදා දහම් පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි. මීට සමගාමීව දැනුම මිනුම සහ කථික තරග පවත්වා එයින් ජයග්‍රහණය කළ සිසු සිසුවියන්ට ත්‍යාග ප්රදානය කිරීම ද සිදු කෙරුණි. මෙහිදී දහම් පාසල් සිසුන් සඳහා කටුඅනෝදා, කිලෝපේර හා කොස් පැළ ලබාදුන් අතර, වැල්ලවාය එක්සත් වෙළෙඳ සංගමය සහ ග්රී ලංකා ගුවන් හමුදාව විසින් එම පැළ සපයා දෙන ලදි. දරුවන්ගේ උදෑසන ආහාර වේල හා ත්‍යාග වෙනුවෙන් කොට්ඨාසයේ දැව බලපත්‍රලාභීහු අනුග්‍රහය ලබා දුන්හ. වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් රවීන්ද්‍රා මාලනී මහත්මිය මෙම අවස්ථාවට සහභාගි වූවා ය.
*******************
සමස්ත ලංකා හෙල්ල විසි කිරීමේ තරගයෙන් රන් පදක්කම සියඹලාණ්ඩුව ජාතික පාසලට
මොනරාගල අධ්‍යාපන කලාපයේ සියඹලාණ්ඩුව ජාතික පාසලේ නිහාරා ඉමල්ෂි 2024 සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගවලියේදී 16න් පහළ හෙල්ල විසිකිරීමේ තරගයෙන් ප්‍රථම ස්ථානය ලබා රන්පදක්කම හිමිකරගෙන ඇත. කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පසුගිය දා මෙම තරගය පැවැත්විණි.
මොනරාගල දිස්ත්‍රික්කයේ අති දුෂ්කර පාසලක් වන සියඹලාණ්ඩුව ජාතික පාසල මෙවැනි ජයග්‍රහණයක් ලැබූ ප්‍රථම අවස්ථාව මෙයයි. විදුහල්පති ජේ.ඒ. විමලසේන ජයසිංහ මහතාගේ සහ ක්‍රීඩා සහ ශාරීරික අධ්‍යාපන ආචාර්ය ශශිනී දිල්ශාරා විජේරත්න මහත්මියගේ මඟපෙන්වීම මත ක්‍රීඩා පුහුණුකරුවන් වන අනුරුද්ධ ප්‍රියදර්ශන පෙරේරා සහ ලක්මාල් නුවන් කුමාර යන මහත්වරුන් යටතේ ඇය පුහුණුව ලබා ඇත.
*******************
බිබිල වෙල්ලස්ස ජාතික පාසලේ සිසුන්ගේ සිසු අභිමන්
චීනයේ වෙන්ෂු ජාත්‍යන්තර විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියට සහභාගි වූ බිබිල වෙල්ලස්ස ජාතික පාසලේ ආර්.එම්. තෙරු එව්නි, සමස්ත ලංකා ගණිත ඔලිම්පියාඩ් තරගාවලිය සඳහා සහභාගි වී දෙවැනි ස්ථානය දිනාගත් උදිත එරංග, සමස්ත ලංකා සිංහල භාෂාව හා සාහිත්‍ය තරගාවලියට සහභාගි වී පද්‍ය ගායනා අංශයේ දෙවැනි ස්ථානය දිනාගත් 06 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ආර්.ඩී. දිනෙත් හිමංස සහ එම අංශයේ කථික තරග සඳහා සහභාගීවී කුසලතා සහතිකයක් දිනාගත් 07 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඒ.එම්. චදුනි හංසිමාලි යන ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇගයීමේ “සිසු අභිමන්” උත්සවය පසුගියදා විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
පෙරහරකින් විද්‍යාල භූමිය වෙත කැඳවාගෙන ආ පිරිසට ත්‍යාග සහ සහතිකපත් ප්රදානය කරන ලදි.
මෙම අවස්ථාවට විද්‍යාලයේ විදුහල්පති ඒ.එච්. ටිකිරි බණ්ඩාර මහතා ඇතුළු ගුරුමණ්ඩලය, මව්පියන් සහ ආදි ශිෂ්‍යයෝ සහභාගි වූහ.
*******************
තරණි රසංජනා සමස්ත ලංකා පාසල් සංගීත තරගාවලියෙන් ජය ගනියි
2024 සමස්ත ලංකා පාසල් සංගීත තරගාවලියේදී රාගධාරී බටනලා ඒකල වාදන (ජ්‍යෙෂ්ඨ1) ගැහැනු තරගයේ දෙවැනි ස්ථානය බිබිල යශෝධරා බාලිකා විද්‍යාලයේ ඩබ්ලිව්. එම්. තරණි රසංජනා ශිෂ්‍යාව හිමිකරගෙන තිබේ. මෙම තරග පසුගිය 27 වැනිදා බොරැල්ල කේරි විද්‍යාලයේදී පැවැත්විණි.
විදුහල්පති එස්. එම්. හිමාලි සමන් කුමාරි මහත්මියගේ මඟපෙන්වීම යටතේ සංගීත විෂය භාර ආචාර්ය කේ. එම්. එල්. දිනුෂා ලක්මාලී වීරසිංහ මහත්මිය සහ පී. අයි. යූ. පෙරේරා මහතා පුහුණුකරුවන් ලෙස කටයුතුකර ඇත.
සියලු පුවත් ඩී.එස්. ගුණතිලක ඌව වෙල්ලස්ස විශේෂ
ශ්‍රී සිද්ධාර්ථ ජාතික පාසලේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලඳීම
අනුරාධපුර එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ ජාතික පාසලේ 2024 වර්ෂයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් එකසිය පනස් දෙනෙක් වෙනුවෙන් ශිෂ්‍යනායක නිල ලාංඡන ප්රදානය කිරීමේ උත්සවයක් 23 දා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදි. ශ්‍රී සිද්ධාර්ථ ජාතික පාසලේ ඉගෙන ගන්නා දූ දරුවන් 2570කගෙන් තෝරාගන්නා ලද විවිධ අයුරින් දක්ෂතා ඇති දූ දරුවන් තෝරා ගැනීම මෙහි ඇති විශේෂත්වය බව විදුහල්පති පාලිත සෙනෙවිරත්න මහතා පැවසීය. විදුහල්පති පාලිත සෙනෙවිරත්න මහතාගේ ආරාධනයෙන් එම පාසලේ 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණියේ තෙක් ඉගෙනගෙන දැනට වයඹ පළාත් පොලිස් අධිකාරිවරයකු වශයෙන් සේවය කරන ප්‍රියන්ත කස්තුරිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් චාම් උත්සවයක් ද පැවැත්වීය. එම චාම් උත්සවයට තඹුත්තේගම කලාප අධ්යක්ෂතුමන්, අවට පාසල්වල විදුහල්පතිවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් මෙන්ම පාසලේ දූ දරුවන් සමඟ මව්පියන් ද සහභාගි වූහ.
තලාව සමූහ – බී.ඩබ්.ඩී. ධර්මකීර්ති
**************
ළමා වියෙන් යොවුන් වියට පාසල් ළමුන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් පැල්වත්ත නවෝද්‍යා විද්‍යාලයේදී
ශ්‍රී ලංකා කාන්තා කාර්යංශය සහ ජයිකා ව්‍යාපෘතියේ අනුග්‍රහය යටතේ බුත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හා කාන්තා ඒකකය මඟින් සංවිධානය කළ ‘ ළමා වියෙන් යොවුන් වියට’ පාසල් ළමුන් දැනුම්වත්කිරීමේ වැඩසටහනක් පසුගිය 29 වැනිදා පැල්වත්ත නවෝද්‍යා ජාතික පාසලේදී පැවැත්විණි.
එහිදී පරිවාස හා ළමා ආරක්ෂක නිලධාරීන් සහ ජයිකා ආයතනයේ නිලධාරීන් අටවැනි ශ්‍රේණියේ දරු දැරියන් ප්‍රජනන සෞඛ්‍ය ආදිය පිළිබඳ දැනුම්වත් කළ අතර, බුත්තල ප්‍රාදේශීය ලේකම් ආර්. එම්. ආර්.එස්. තිලකරත්න මහතා ද මෙම අවස්ථාවට සහභාගි විය.
ඩී.එස්. ගුණතිලක – ඌව වෙල්ලස්ස විශේෂ
**************
හාලිඇළ මධ්‍ය මහා විද්‍යාලයේ 135 වැනි සංවත්සර උලෙළ
බ/ හාලිඇළ මධ්‍ය මහා විද්‍යාලයේ 135 වැනි සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කෙරුණු පින්කම් මාලාවක් ඇතුළත් සංවත්සර උලෙළක් ඉකුත්දා එම විද්‍යාලයේදී පැවැත්විණි.
මේ යටතේ විද්‍යාලයීය භූමියේ පිහිටි දර්ශනීය බුද්ධ ප්‍රතිමාව සුරක්ෂිත කරමින් ඉදිකරන ලද නව බුද්ධ මන්දිරය විවෘත කිරීම ද මෙම විදුහලේ සේවය කොට නැසීගිය විදුහල්පතිවරුන්, ගුරු භවතුන්, අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන්, ආදි සිසුන් හා මව්පියන් ඇතුළුව විදුහලේ අභිවෘද්ධිය පිණිස දායක වූ සියලු දෙනාට පින් පිණිස මහා සංඝයා වහන්සේ 50 නමක් විෂයෙහි දිවා දානය පිරිනැමීම ද සිදු කෙරිණි.
පාසලේ දරු දැරියන් විසින් හාළිඇල නගරයේ සිට අලංකාර පෙරහරකින් මහා සංඝරත්නය වැඩම කරවා බුදු මැඳුර විවෘත කොට චාම් උත්සව සභාවකින් අනතුරුව ඌව අමරපුර මහා නිකායේ රිල්පොල දෙහිවින්න බෝගොඩ කෝරලත්‍රයේ ප්‍රධාන සංඝනායක හාලිඇල සිරි බිම්බාරාම විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය බෝගහමඩිත්තේ ධම්මසාර හිමි, උඩදොම්පේ ශ්‍රී විසුද්ධාරාම විහාරාධිකාරී පූජ්‍ය බිබිලේ ධම්මාලෝක හිමි, උඩුවර පුරාණ විහාරාධිකාරි ශාස්ත්‍රපති පූජ්‍ය කැටවල බුද්ධසිරි හිමි, පනාකන්නිය ශ්‍රී සම්බෝධි විහාරාධිපති පූජ්‍ය අන්තුඩුවාවෙල යසස්සි හිමි ඇතුළු මහා සංඝරත්නය සහභාගිත්වයෙන් දානමය පින්කම පැවැත්විණි.
ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ගාමිණී මහින්දපාල ජෝපියස්, බදුල්ල කලාප අධ්‍යාපන අධ්යක්ෂ සරත් රණසිංහ යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් රැසක් හා අවට විදුහල්වල විදුහල්පතිවරුන්, මෙම විද්‍යාලයේ සේවය කළ විදුහල්පතිවරුන් ගුරු මහත්ම මහත්මීන් ආදි සිසු සිසුවියන් ඇතුළු ආරාධිත අමුත්තන් රාශියක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. හාලිඇළ මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති ලුතිනන් කර්නල් අසේල තෙන්නකෝන් මහතාගේ මූලිකත්වයෙන් විද්‍යාලයීය ආචාර්ය මණ්ඩලය, ආදි ශිෂ්‍ය සංගමය හා ආදි ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාව එක්ව මෙම උලෙළ සංවිධානය කොට තිබිණි.
ආර්.එම්. විජේරත්න- හාලිඇළ සමූහ
**************
බ/ මුගුණුමත මහ විදුහලේ ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණය
හාලිඇළ, බ/ මුගුණුමත මහ විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණය- 2024 ඉකුත්දා එම විදුහලේදී පැවැත්විණි.
විශේෂයෙන් මෙම මැතිවරණ සමයේ මැතිවරණ ක්‍රියාදාමය පිළිබඳව සිසු දරු දැරියන්ට අවබෝධයක් ලබාගත හැකිවන පරිදි ප්රජාතන්ත්රවාදී සමාජයක තිබිය යුතු මූලික ගුණාංග හා නියෝජිත ප්රජාතන්ත්රවාදය පිළිබඳව සිසුන්ට අවබෝධයක් ලබාදීම උදෙසා පාසල් විෂය නිර්දේශයන්ට අදාළව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ උපදෙස් මත මෙම ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණ සංවිධානය කොට තිබිණි.
එහිදී හාලිඇළ, බ/ මුගුණුමත මහ විදුහලේ විදුහල්පති අයි.ඩී. තමින්ද මංජුල කුමාර මහතා මැතිවරණ කොමසාරිස්වරයා ලෙස ද විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තුව භාරව කටයුතු කරන දේශපාලන විද්‍යා විෂය භාර ආචාර්ය ආර්.එම්. චානක චමින්ද රත්නායක මහතා තේරීම් භාර නිලධාරී ලෙස ද කටයුතු කළ අතර, විද්‍යාලයීය සමාජ විද්‍යා විෂය භාර ගුරු මහත්ම මහත්මීන් ඡන්ද පොළ නිලධාරීන්, ඡන්ද පොළ කාර්ය මණ්ඩලය, නිරීක්ෂණ සංවිධාන නියෝජිතයන් හා සෙසු මැතිවරණ නිලධාරීන් ලෙස කටයුතු කරමින් සාමාන්‍ය මැතිවරණයක සියලු අංග සහිතව අදාළ නීති රීති අනුගමනය කරමින් මෙම මැතිවරණ කටයුතු පවත්වනු ලැබීය.
ආර්.එම්. විජේරත්න -හාලිඇළ සමූහ
**************
විජයපුර කනිෂ්ඨ විද්‍යාලයට කඩුලු පැනීමේ රන් පදක්කමක් සහ රිදී පදක්කම් දෙකක්
2024 සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේදී තණමල්විල අධ්‍යාපන කලාපයේ විජයපුර කනිෂ්ඨ විද්‍යාලය කඩුලු පැනීමේ රන් පදක්කමක් සහ රිදී පදක්කම් දෙකක් හිමිකරගෙන ඇත.
16 පහළ බාලිකා මීටර් 100 කඩුලු පැනීම තරගයේදී ඒ. ජී. කිනුරි කවීෂා ක්‍රීඩිකාව තත්පර 15.10 කාලයක් වාර්තාකර රන් පදක්කම හිමිකරගෙන තිබේ.
කේ.ඒ. චමල්ෂා දෙව්මිණී ක්‍රීඩිකාව 16න් පහළ බාලිකා මීටර් 100 තත්පර 15.11 කාලයකින් නිමකර රිදී පදක්කමත් ඇය විසින්ම මීටර් 300 කඩුලු පැනීමේ ඉසව්ව තත්පර 46.3 කාලයක් වාර්තා කරමින් එහි රිදී පදක්කමත් හිමිකරගෙන තිබේ.
මෙම තරගය ඉකුත් 21 සහ 22 යන දිනයන්හිදී කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
විදුහල්පති එල්.ඒ. චන්ද්‍රාවතී මහත්මියගේ මඟ පෙන්වීම මත ක්‍රීඩා අංශය භාර ආචාර්ය ඩබ්ලිව්. ජී. ජේ. උදයංග මහතා ක්‍රීඩිකාවන් දෙදෙනාගේ පුහුණුකරු ලෙස කටයුතුකර ඇත.
ඩී. එස්. ගුණතිලක- ඌව වෙල්ලස්ස විශේෂ
**************
අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි
ගුණාත්මක මාධ්‍ය සංස්කෘතියක් නිර්මාණය කිරීම සහ බුද්ධිමත් ශ්‍රී ලංකික ජන සමාජයක් බිහි කිරීම අරමුණු කරගෙන අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදෙස් පරිදි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව මෙහෙයවන පාසල් මාධ්‍ය සමාජ ප්‍රවර්ධන ජාතික වැඩසටහන යටතේ රාජ්‍ය ප්‍රතිපත්ති අනුව යමින් ජනමාධ්‍ය විෂය භාර අමාත්‍යාංශය, රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සහ සී/ස ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සමඟ එක්ව අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම පසුගියදා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී සිදු කෙරුණි. මෙහි අරමුණ වූයේ පාසල් දරුවන් අතර නිවැරැදි මාධ්‍යකරණයක් ඇති කිරීම ය.