Home » Blog » වැස්ස වැස්ස මහා වැස්ස

වැස්ස වැස්ස මහා වැස්ස

ගස් වැල් පුබුදුවන වැස්ස බිමට ඇවිත් පොළොවේ වැටී ගංගාවට වැටෙන වැස්ස

by thanushika
0 comments

වැස්ස වැස්ස මහා වැස්ස

ගස් වැල් පුබුදුවන වැස්ස

බිමට ඇවිත් පොළොවේ වැටී

ගංගාවට වැටෙන වැස්ස

පුංචි දුවේ පුතේ, මේ දිනවල ඇද හැලෙන වැස්ස නිසා බොහෝ දෙනා අපහසුවට පත්වෙලා තිබෙනවා. මහා මාර්ග යට වෙලා. සමහර අය නිවෙස්වලින් එළියට යන්නෙවත් නැතිව ඉන්නවා. සමහර අයට තම තමන්ගේ ව්‍යාපාර කරගන්නවත් බැහැ. ඒත් දුවේ පුතේ, වැස්ස කියලා අප කළ යුතු කාර්යයන් නවත්වලා ගෙදරට වෙලා ඉන්න එක නම් එතරම් හොඳ දෙයක් නොවේ. මේ නිසා කම්මැළි නොවී පුංචි ඔබත් එදිනෙදා වැඩ කටයුතු කළහොත් ඔයත් ජයග්‍රාහී දරුවකු වේවි. ඉතින් දුවේ පුතේ, අපි ඔබට කියන්න සූදානම් වන්නේ වර්තමානයේදී නොනවත්වා වහින වැස්ස පිළිබඳ කතාවයි.

ශ්‍රී ලංකාවට වැසි ලැබෙන ක්‍රම

සංවහන වර්ෂාව, මෝසම්වලින් ලැබෙන වර්ෂාව, වාසුළි මඟින් ලැබෙන වර්ෂාව ලෙස මෙය මූලික වශයෙන් කොටස්වලට වෙන්කර හඳුනාගත හැකි ය. මෙහිදී මෝසම්වලින් වර්ෂාව ලැබෙන ආකාරය ක්‍රම දෙකකට වෙන්කර නැවතත් අපට හඳුනාගත හැකි ය. එයින් ප්‍රථම ක්‍රමය වන්නේ නිරිතදිග මෝසම් සුළඟින් ලැබෙන වර්ෂාවයි. දෙවැනි ක්‍රමය වන්නේ ඊසානදිග මෝසමින් ලැබෙන වර්ෂාවයි.

සංවහන වර්ෂාව

ශ්‍රී ලංකාවට වැසි ලැබෙන ක්‍රම අතරින් ඉතා සුලබවම වර්ෂාව ලැබෙන ක්‍රමය වන්නේ සංවහන ක්‍රමයයි. එම ක්‍රමය මඟින් වර්ෂයේ මුළුල්ලේම වැසි ලැබේ. එහෙත් මෝසම් සහ වාසුළි මඟින් වර්ෂාව ලැබෙන්නේ වසරේ මාස කිහිපයකදී පමණි. එහෙත් තද අව් රශ්මිය ඇති දහවල් කාලවලදී සවස් භාගයේදී සංවහන වැසි බලාපොරොත්තුවීමට ඇති ඉඩ ප්‍රස්තාව වැඩි ය.

මෝසම් වැසි

මෝසම් වැසි ලැබීම එක්තරා කාලයකදී සිදු වන අතර, මැයි සිට සැප්තැම්බර් දක්වා නිරිතදිග මෝසමින් වැසි ලැබේ. දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා ඊසානදිග මෝසමින් වර්ෂාව ලැබේ. නිරිතදිග මෝසමින් ලැබෙන වර්ෂාවෙන් අධික වැසි ප්‍රමාණයක් ලැබෙන අතර, එම වර්ෂාව නොනවත්වා ඇද හැලෙයි. මෙයින් ලැබෙන වැසි දිය නිසා ගම් බිම්වලට බොහෝ අලාභහානි සිදු වේ. මෙයින් ලැබෙන වැසි අධික වීමට හේතුවක් වන්නේ, මේ වැස්ස ගෙනෙන නිරිතදිග මෝසම් සුළඟ ඉන්දියන් සාගරය ඔස්සේ පැමිණීමයි. එහෙත් ඊසානදිග මෝසමින් අඩු වැසි ප්‍රමාණයක් ගෙන එනු ලබන්නේ, ඊසානදිග මෝසම ගොඩබිමක් ඔස්සේ පැමිණීම හේතුවෙන් ය.

නිරිතදිග මෝසමින් වැසි ලැබෙන ප්‍රදේශ

නිරිතදිග මෝසමින් වැසි ලැබෙන්නේ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුමටයි. බටහිර බෑවුමේ ඇති උස් බිම්වලට ලැබෙන මේ වර්ෂාව නිසා කඳුකරයේ ඇති ජල පෝෂිත ප්‍රදේශ තවත් පෝෂණය වේ. මේ හේතුවෙන් එම ප්‍රදේශවල ඇති දිය ඇලි වඩාත් සක්‍රීය වී වේගයෙන් ඇද හැලෙයි. එම දිය ඇලි ආශ්‍රිතව ඇති ගංගා ද වඩාත් පෝෂණය වෙමින් උතුරා යෑමට පටන් ගනියි. මා ඔය, අත්තනගලු ඔය, කැලණි ගඟ, කළු ගඟ යන ගංගා ද මෙලෙස වැසි ජලය ලැබී පෝෂණය වන ගංගා ය.

ඊසානදිග මෝසමින් වැසි ලැබෙන ප්‍රදේශ

ඉන්දියාවේ සිට හමන වියළි ශීත සුළඟ මඟින් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි ලැබේ. එහෙත් මේ කාලයේදී අහස වලාකුළුවලින් රහිත අතර, හිරු එළිය දීප්තිමත් ය. එහෙත් රාත්‍රි කාලය සිසිල් ය. මේ කාලයේදී වැඩි වර්ෂාපතනයක් ලැබෙන්නේ කඳුකරයේ ඊසානදිග බෑවුම් ප්‍රදේශයටයි. ශ්‍රී ලංකාවට වැසි ලැබෙන සමස්ත පිළිබඳ සැලකිලිමත් වුවහොත්, සාපේක්ෂව අඩු වර්ෂාපතනයක් ලැබෙන්නේ ඊසානදිග මෝසමින් ය.

වාසුළි වැසි

මෙරටට ලැබෙන වාසුළි වැඩි වශයෙන් ඇති වන්නේ බෙංගාල බොක්ක ප්‍රදේශයේ ය. මේ වර්ෂාව ප්‍රබලවම ක්‍රියාත්මක වන්නේ නොවැම්බර් හා දෙසැම්බර් මාසවල ය. මෙම වර්ෂාව අවුරුද්දේ ඕනෑම කාලයකදී ලැබිය හැකි ය. මේ වර්ෂාව වැඩි වශයෙන් ලැබෙන්නේ ශ්‍රී ලංකාවේ උතුරු හා නැඟෙනහිර ප්‍රදේශවලට ය. නැඟෙනහිර වෙරළින් රටට පැමිණෙන මෙය පිටව යන්නේ වයඹදිග වෙරළින් ය. වාසුළි වර්ෂාව ලැබෙන අවස්ථාවලදී මෙරට පුරා වැසි ඇති වේ. මෝසම් සුළඟින් වර්ෂාව ඇති වන කාලයේදී වාසුළි වර්ෂාව ද ලැබේ. සුළඟේ තීව්‍රතාව අනුව වායු කැලඹීම, අවපාතය, සුළං කුණාටු ආදී නම්වලින් මේ වර්ෂාව හඳුන්වයි.

වැසි වැස්සොත් පරිසරයට ඉක්මනින්ම හානි වීමට හේතුව

වැසිවලින් පරිසරයට සිදු වන හානි වැඩි වන්නේ මිනිසා විසින්ම කළ මිනිස් ක්‍රියාකාරකම්වලින් යැයි කිවහොත් නිවැරැදි ය. මේ නිසා පුතේ දුවේ, කුඩා කාලයේ සිටම අප, අපගේ පරිසරය සුරක්ෂිත කිරීමට කටයුතු කළ යුතු ය. උදාහරණ ලෙස වැසි දිය නිසා මං මාවත් යට වී යන්නේ කානු පද්ධතිවල ඇති අවහිරතා නිසා ය. කානු පද්ධතිය අවහිර වන්නේ ඇයි දැයි ඔබ මඳක් සිතුවා ද? නැහැ නේද? කානු පද්ධති අවහිර වන්නේ මිනිසා නොසිතාම පරිසරයට මුදා හරින කැළි කසළ හේතුවෙන් ය. මේ කැළි කසළ ගොස් කානු පද්ධතිවල හිරවීම නිසා වැසි අවස්ථාවලදී මං මාවත් ජලයෙන් පිරී යයි. මේ නිසා පුතේ දුවේ, කැළි කසළ පරිසර පද්ධතියට මුදා හැරීමට පෙර කල්පනාකාරී වන්න. නැතිනම් එහි පසු හානිය වන්නේ ද අපටම ය. මේ නිසා කුඩා කාලයේ සිටම කැළි කසළ පරිසරයට මුදා හැරීමේදී සැලකිලිමත් වන්න.

වැස්සෙන් ඇති වන අධික හානිය වළක්වන්නේ කෙසේද?

වැස්සෙන් සිදු වන අධික හානිය වැළක්වීමට ක්‍රම දෙකක් තිබේ. මින් පළමු වැනි ක්‍රමය නම් විධිමත් කානු පද්ධතියක් තිබීමයි. දෙවැන්න නම් කැළි කසළ මුදා හැරීමේදී නිවැරැදි ස්ථානවලට මුදා හැරීමයි. මේ ක්‍රම දෙක නිසි ලෙස අවබෝධ කරගෙන, ඒ අනුව ක්‍රියා කළහොත් වර්ෂා අවස්ථාවක ඉක්මනින්ම මං මාවත් ජලයෙන් පිරී යෑම වළක්වා ගත හැකි ය.

මේ නිසා කුඩා කාලයේදීම කැළි කසළ නිසි ස්ථානවල ස්ථාන ගත කිරීමට කුඩා කාලයේදී සිටම ඔබත් පුරුදු වන්න. එසේ නොකළහොත් මං මාවත් පමණක් නොව පහත් බිම්වල ඇති කුඩා නිවාස ද ජලයෙන් යටවීමේ ප්‍රවණතාවක් ඇති වේ.

අධික වර්ෂාව නිසා ගස් වැල්වලට ඇති වන හානි

අධික වර්ෂාව නිසා ගස් වැල්වලට ද හානි සිදු වේ. එමෙන්ම පාංශු ඛාදනය ද අධිකව සිදු වේ. රූස්ස ගස් පවා බිමට කඩාගෙන වැටෙයි. පොළොව අභ්‍යන්තරයට නොගිය මුල් ඇති නිසා මෙම තත්ත්වය උදා වෙයි. මේ නිසා පැළ සිටුවීමේදී ගැඹුරට වළවල් කපා සිටුවීමට අප මතක තබා ගත යුතුයි. නැති නම් එම ගස් විශාල වීමේදී කුඩා වර්ෂාවකින් වුවත් එම ගස කඩා වැටීමට හේතුවක් වේ. මේ බව ගොවියන් මෙන්ම සාමාන්‍ය වගාකරුවන් ද පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වන ඔබ ද මතක තබා ගත යුතුයි.

රූපාන්ති බුලත්සිංහල


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department