හ/රන්න වාඩියගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ
විදුහල්පති
සී. කේ. ඩබ්ලිව්. රත්නායක මහතා
ඕනෑම දරුවකුට බාධක අභියෝග තිබේ. මේ බාධක අභියෝග පිළිබඳ කිසිවක් අභියෝගයක් ලෙස පිළිනොගෙන ඉදිරියටම යෑම ශිෂ්‍යයකුගේ මූලික අරමුණ විය යුතුයි. ආර්ථික බාධක, කම්මැළි වීම, රෝග, මේ කිසිවක් බාධකයක් ලෙස පිළිගතහොත්, ශිෂ්‍යයකුට ඉදිරියට යෑමට ඇති ඉඩ ප්‍රස්තාව අවහිර වේ. මේ නිසා සෑම දරුවකුවම උනන්දුවෙන් උත්සාහයෙන් වැඩ කළ යුතුයි. උත්සාහය උනන්දුව බොහෝ ජයග්‍රහණවලට ඉවහල් වේ. එලෙස උත්සාහයෙන් ඉදිරියට යන පාසලක් පිළිබඳ කියන්නයි මේ සූදානම් වන්නේ. ඉතින් ආදරණීය පුතේ දුවේ, එයින් ඔබටත් ගත හැකි ආදර්ශයක් තිබේ නම් ඒ ගැන සැලකිලිමත් වීමෙන් ඔබටත් ජයග්‍රහණයට පිවිසීමට හැකි වේ. ඒ අයුරින් ජයග්‍රහණයට යන හ/ රන්න වාඩියගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති සී. කේ. ඩබ්ලිව්. රත්නායක මහතා ඔබට කියන කතාව අසමු.
” අපේ පාසල ආරම්භ වී තිබෙන්නේ 1963 වර්ෂයේදීයි. ඒ කාලයේ පාසල ආරම්භ වෙලා තිබෙන්නේ ළමයින් තුන්දෙනකුගෙන් කියලායි කියන්නේ. ඉතා කුඩාවට ආරම්භ වී තිබෙන මේ පාසල අද යම්කිසි ප්‍රගතියක් ලබා තියෙනවා කියලා තමයි මම හිතන්නේ. මේ වන විට මේ පාසලේ තිබෙන්නේ පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වායි. ඒ වගේම අපේ පාසලේ ළමයින් එකසිය හැට පහක් පමණ සිටිනවා. ගුරුවරු සිටින්නේ විසි ගණනක් විතර ප්‍රමාණයක්. සෑම දරුවකුම ක්‍රියාශීලිව අධ්‍යාපනයට යොමු කිරීම අපේ පාසලේ ගුරුවරුන්ගේ අරමුණයි. මේ අරමුණ වෙනුවෙන් සෑම විටම දරුවන් හැඩ ගැස්වීම ගුරුවරුන්ගේ අභිලාෂයයි.”
” මේ නිසා මේ වෙනුවෙන්ම ඇපකැප වී ගුරුවරුන් වැඩ කරනවා. අපේ පාසලේ සිසුන් අධ්‍යාපනය මෙන්ම අනෙකුත් ක්‍රියාකාරකම් ද සමබරව කරගෙන යනවා. ක්‍රීඩා, සංගීතය, වැනි අංශවලින් ද දක්ෂ දරුවන් ඉන්නවා. ඒ අය ඒ අංශවලින් ද ඉදිරියට යෑමට හරිම උනන්දුයි. ඒත් පාසලේ වැඩ කිසිවිටකත් අතපසු කරගන්නේ නැහැ. මෙවර අපේ පාසලේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල සියයට අසූ දෙකක් විතර වෙනවා. ඒක අපේ පාසලට ගෞරවයක්. ඒ වගේම අපේ පාසලේ දරුවන් ශිෂ්‍යත්ව විභාගයෙනුත් සමත් වෙනවා. කෙතරම් ආර්ථික දුෂ්කරතා තිබුණත් දරුවන් අධ්‍යාපන කටයුතුවල නිරත වෙන්න උනන්දුයි.”
” අපේ පාසලේ දරුවන්ගේ මව්පියන් වැඩි වශයෙන්ම නිරත වන්නේ වඩු කර්මාන්තයේ. නිවාඩු වෙලාවට දරුවන් ඒ කර්මාන්ත කෙරෙහි ද යොමු වෙනවා. වෘත්තීය පුහුණුව කියන්නෙත් දරුවන්ට වැදගත් දෙයක්. එනිසා තමයි අපි ඊට අවසර දීලා තියෙන්නේ. ඇත්තටම පිළිගත හැකි තත්ත්වයක වෘත්තීය පුහුණුවක් සෑම පාසලකම ඇති කරන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා. අපේ පාසලේ දරුවනුත් එවැනි වෘත්තීය පුහුණුවකට යොමු කරන්න අපි උත්සාහ දරනවා. ඒ සඳහා ඉදිරියේදි වැඩපිළිවෙළක් යොදන්නත් අපි සූදානම්. ඕනෑම වෘත්තියකට පිවිසෙන්න පෙර දරුවකු දැනුමෙන් සන්නද්ධ වීම ඉතා වටිනවා. ඒකයි අපි මෙතරම්ම උත්සාහ කරන්නේ. මේ උත්සාහයට දරුවන්ගේ මෙන්ම මව්පියන්ගෙ සහයෝගයත් අපට ලැබෙනවා. මම හිතන්නේ ගුරුවරුන්ට කරන්න පුළුවන් එක කොටසක් විතරයි.”
”2023, 2024 වර්ෂවලදී වොලිබෝල්වලින් අපේ පාසල ඉදිරියට පැමිණියා. එකවරක් අනුග්‍රාහක ආයතනයක් සංවිධානය කළ තරගාවලියකින් අපේ පාසල තෙවැනි ස්ථානයට පැමිණියා. මේ අවස්ථාව අපේ පාසලට ලැබීම පිළිබඳ මට ලොකු සතුටක් දැනෙනවා. දරුවන් අධ්‍යාපනයට පමණක් සීමා කිරීමෙන් සමබර මිනිසකු බිහි කරන්න බැහැ. මේ නිසා ක්‍රීඩාව, සංගීතය, නැටුම් වැනි අංශ කෙරෙහි ද දරුවන් යොමු කිරීම ඉතා වැදගත් වෙනවා. කර්තව්‍ය උපරිමයෙන් කරන්න පාසලක් විදිහට අපි සෑම විටම උත්සාහ කරනවා.”
මේ ආකාරයට කැපවීමෙන් කටයුතු කිරීමට එතුමාට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා යැයි අපි මිහිර වෙතින් සුබ පතමු.
රූපාන්ති බුලත්සිංහල
ඡායාරූප- පාසලේ ඡායාරූප සංගමය