Home » Blog » 2024 නොබෙල් ත්‍යාගලාභීන්

2024 නොබෙල් ත්‍යාගලාභීන්

by thanushika
0 comments

ස්වීඩ්න් ජාතික නව නිපැයුම්කරුවකු වූ ඇල්ෆ්‍රඩ් නොබෙල් විසින් නිර්මාණය කරන ලද නොබෙල් ත්‍යාගය විශ්ව පූජිත වූ ත්‍යාගයකි. මෙම ත්‍යාගය යන ලෝක සාමය, වෛද්‍ය විද්‍යාව, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, සාහිත්‍යය සහ ආර්ථික විද්‍යාව ක්ෂේත්‍ර හය අරභයා ලොවට විශේෂිත වූ කාර්යය භාරයක් සිදුකළ පුද්ගලයන් සඳහා මෙය වාර්ෂිකව පිරිනමනු ලබයි. සෑම වසරකම ත්‍යාගලාභීන් ඔක්තෝබරයේදී ප්‍රකාශයට පත් කරන අතර, නොබෙල් දිනය යෙදෙන දෙසැම්බර් 10 දින මෙය ප්‍රදානය කරනු ලබයි. අද අපි මෙම වසරේ නොබෙල් ත්‍යාගලාභීන් හඳුනා ගනිමු.

සාමය සඳහා නොබෙල් ත්‍යාගය

මෙවර ලෝක සාමය සඳහා වූ නොබෙල් ත්‍යාගය පිරි නමා තිබෙන්නේ ජපන් සංවිධානයක් වන Nihon Hidankyo  වෙත ය. දෙවැනි ලෝක යුද සමයේදී හිරෝෂිමා සහ නාගසාකි පරමාණු බෝම්බයෙන් දිවි ගලවා ගත් අයගේ බිම් මට්ටමේ ව්‍යාපාරයක් ලෙස මෙය සැලකේ. පරමාණු බෝම්බයෙන් පීඩා ලැබූ වින්දිතයන්ගේ සහාය වැඩි වශයෙන් ලබා ගනිමින් න්‍යෂ්ටික අවි අහෝසි කිරීම සඳහා ජපාන රජයට බලපෑම් කිරීමේ අරමුණින් 1956 වසරේදී hibakusha විසින් මෙම සංවිධානය පිහිටුවන ලදි.

වෛද්‍ය විද්‍යා නොබෙල් ත්‍යාගය

මෙවර වෛද්‍ය විද්‍යා නොබෙල් ත්‍යාගය අමෙරිකානු ජාතික ජීව විද්‍යාඥයකු වන වික්ටර් ඇම්බ්‍රොස් සහ අමෙරිකානු ජාතික අණුක ජීව විද්‍යාඥයකු වන ගැරී රුව්කුන් යන දෙදෙනා හට පිරි නමා තිබේ. සෛල වර්ධනය සහ ක්‍රියා කරන ආකාරය තීරණය කිරීමට උපකාරී වන මයික්‍රො RNA  සොයා ගැනීම වෙනුවෙන් ඔවුන් දෙදෙනා හට මෙම සම්මානය පිරි නමා තිබේ.

ආර්ථික විද්‍යානොබෙල් ත්‍යාගය

මෙවර ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය බ්‍රිතාන්‍ය-අමෙරිකානු ජාතික ආර්ථික විද්‍යාඥයකු සහ දේශපාලන විද්‍යාඥයකු වන ජේම්ස් රොබින්සන් , බ්‍රිතාන්‍ය-අමෙරිකානු ජාතික ආර්ථික විද්‍යාඥයකු වන සයිමන් ජොන්සන් සහ තුර්කි-අමෙරිකානු ජාතික ආර්ථික විද්‍යාඥයකු වන  Daron Acemoglu යන තිදෙනා හට පිරි නමා තිබේ. ජාතීන් අතර ධන අසමානතාව පැහැදිලි කිරීමේ ඔවුන්ගේ කාර්යය වෙනුවෙන් ඔවුන් තිදෙනාට මෙම සම්මානය පිරි නමා තිබේ.

රසායන විද්‍යා නොබෙල් ත්‍යාගය

මෙවර රසායන විද්‍යා නොබෙල් ත්‍යාගය ජීව- රසායන විද්‍යාඥයකු සහ සංඛ්‍යාත්මක ජීව විද්‍යාඥයකු වන අමෙරිකානු ජාතික ඩේවිඩ් බේකර් , රසායන විද්‍යාඥයකු සහ පරිගණක විද්‍යාඥයකු වන අමෙරිකානු ජාතික ජෝන් ජම්පර් සහ බ්‍රිතාන්‍ය ජාතික පරිගණක විද්‍යාඥයකු වන ඩෙමිස් හසාබිස් යන තිදෙනාට පිරි නමා තිබේ. පරිගණක මොඩියුල ආශ්‍රිතව ප්‍රෝටීන නිර්මාණය කිරීම සහ ඒවායේ ව්‍යුහය පුරෝකථනය කිරීම වෙනුවෙන් ඔවුන් තිදෙනාට මෙම සම්මානය පිරි නමා තිබේ.

සාහිත්‍ය නොබෙල් ත්‍යාගය

දකුණු කොරියානු ජාතික ලේඛිකාවක වන හැන් කෑන්ග්ට මෙවර සාහිත්‍යය සඳහා වූ නොබෙල් ත්‍යාගය පිරි නමා තිබේ. Seoul Institute of the Arts ආයතනයේ නිර්මාණශීලි ලේඛනය උගන්වන ඇය 2016 වසරේදී අන්තර්ජාතික බුකර් ත්‍යාගයෙන් ද පිදුම් ලබා තිබේ. ඓතිහාසික කම්පනයන්ට මුහුණ දෙන සහ මිනිස් ජීවිතයේ බිඳෙනසුලු බව හෙළිදරව් කරන තීව්‍ර කාව්‍යමය ගද්‍ය රචනා නිර්මාණය කිරීම වෙනුවෙන් හැන් හට මෙම සම්මානය පිරි නමා තිබේ.

භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගය

මෙවර භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගය භෞතික විද්‍යාඥයකු සහ ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්යවරයකු වන අමෙරිකානු ජාතික ජෝන් ජේ. හොප්ෆීල්ඩ් සහ පරිගණක විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්යවරයකු වන බ්‍රිතාන්‍ය -කැනේඩියානු ජාතික ජෙෆරි ඊ. හින්ටන් යන දෙදෙනා හට පිරි නමා තිබේ. කෘත්‍රිම ස්නායු ජාල භාවිත කරමින් යන්ත්‍ර ඉගෙනීම සක්‍රීය කිරීමට පදනම දැමූ ක්‍රමවේදයන් හඳුන්වා දීම වෙනුවෙන් ඔවුන් දෙදෙනාට මෙම සම්මානය පිරි නමා තිබේ.

හර්ෂණී ගමගේ


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department