ඉඹුල්ගොඩ, බප/ගම්/ සුනේත්‍රාදේවි කනිෂ්ඨ විද්‍යාලයේ
විදුහල්පතිනි
එස්. පී. සූරියආරච්චි මහත්මිය
දරුවන් පිළිබඳ සෑමවිටම අවබෝධයෙන් සහ අවධානයෙන් සිටිය යුතුයි. නැතිනම් අපට ඔවුන් හඳුනා ගැනීමට නොහැකි වේ. එක් එක් දරුවාගේ හැසිරීම් රටාව එකිනෙකාට වෙනස් අතර, ඔවුන් අධ්‍යාපනයට දරන හැකියාව ද එකිනෙකාට වෙනස් වේ. මේ තත්ත්වය සෑම වෙලාවකම තේරුම් ගෙන ඔවුන් කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. මේ ආකාරයට අවධානය යොමු කරන පාසලක් පිළිබඳයි අද අප ඔබට කියන්න සූදානම් වන්නේ. ඒ පාසල නමින් බප/ගම්/ සුනේත්‍රාදේවි කනිෂ්ඨ විද්‍යාලයයි. එහි විදුහල්පතිනිය එස්. පී. සූරියආරච්චි මහත්මිය ඇගේ පාසල පිළිබඳ කියූ කතාව අහන්නකෝ.
අපේ පාසල කනිෂ්ඨ පාසලක්. පන්සිය විසිපහක් පමණ සිසුන් සංඛ්‍යාවක් අපේ පාසලේ සිටිනවා. ඒ වගේම ගුරුවරු විස්සක් පමණ ඉන්නවා. මේ පාසල ආරම්භ වෙලා තියෙන්නේ1918 වර්ෂයේදීයි. කොළඹ – නුවර පාර ඔස්සේ පැමිණි විට පහළ ඉඹුල්ගොඩ හමුවේ. එහි ප්‍රසිද්ධ බතික් ප්රදාර්ශනාගාරයක් තිබෙනවා. ඒ අසලින්ම ඇති අතුරු පාරට පිවිසුණු විට අපේ පාසල හමු වෙනවා. අපේ පාසල පිහිටා ඇත්තේ ඉතා සුන්දර පරිසරයකයි. මේ පරිසරය දරුවන්ට අධ්‍යාපනය ලබන්නත් සුදුසු පරිසරයක් කියලා තමයි මම හිතන්නේ. පරිසරයට බද්ධ වෙලා පරිසරයේ සිරිය නරඹමින් අධ්‍යාපනය ලැබිය යුතුයි කියලා විෂය නිර්දේශවල තිබෙනවා. පරිසරය සමඟ එකට එකතු වූ විට දරුවන්ට පරිසරය හඳුනා ගැනීමටත් හැකියාව ලැබෙනවා. පන්ති කාමරයට කොටු වෙලා අධ්‍යාපනය ලබනවාට වඩා අවට පරිසරය සමඟ සම්බන්ධ වෙලා අධ්‍යාපනය ලැබීම ඉතා වටිනවා. අප කළ යුතු වන්නේ පරිසරයට ආදරය කරන දරුවන් බිහි කිරීමයි.”
” අපේ පාසලේ දරුවන් සිටින්නේ 1 ශ්‍රේණියේ සිට 6 ශ්‍රේණිය දක්වායි. අප පළමු ශ්‍රේණියේ සිටම පහේ ශිෂ්‍යත්වය තෙක් දරුවන් පුරුදු පුහුණු කරනවා. 1 ශ්‍රේණියේ සිටම දරුවාගේ මනස පහේ ශිෂ්‍යත්වය වෙනුවෙන් ගොඩනඟන්න අවශ්‍යයි. මේ සඳහා අපේ ගුරුවරු අප්‍රමාණ වෙහෙසක් ගන්නවා. කුඩා දරුවකුට පාඩමක් ක්ෂණිකව වටහා දෙන්න අපහසුයි. එය කළයුත්තේ ක්‍රමයෙන්. එලෙස ක්‍රමයෙන් දෙයක් අවබෝධ කරදුන් විට දරුවාට හැමදාම මතකයේ රැඳෙනවා. ඒ ආකාරයට තමයි අපි දරුවකු පුරුදු පුහුණු කළ යුතු වන්නේ. ප්‍රාථමික ගුරුවරුත් අපි වරින්වර පුහුණුවීම්වලට යවනවා. එයින් ඔවුන් ලබන ප්‍රායෝගික පුහුණුව නිසාම දරුවාගේ අධ්‍යපනය වැඩි දියුණු වෙනවා. අපේ පාසලේ ගොවිපොළක් තියෙනවා. ඒ ගොවිපොළට හැමෝම සම්බන්ධ වෙනවා. ඒකත් අපේ දරුවන්ට පුහුණුවක් කියලා තමයි මම හිතන්නේ. ඒ වගේම අපේ පාසලේ පරිසර වැඩසටහන් තියෙනවා. ඒවායින් දරුවන්ගේ දැනුම දියුණු වෙනවා. ඒ වගේම දරුවන්ගේ පෞරුෂත්වය වර්ධනය වෙනවා. පෞරුෂත්වය කියන්නේ කුඩා කාලයේ සිටම වර්ධනය කළ යුතු දෙයක්. කුඩා කාලයේ සිටම එය වර්ධනය නොකළහොත් වැඩිහිටියකු වන විට එය ප්‍රශ්නයක්. ඒ නිසා එලෙස ප්‍රශ්නයක් ඇති නොවෙන්න අප වග බලාගත යුතුයි. කුඩා කාලයේ සිටම එය පුරුදු පුහුණු කළ යුතු වන්නේ ඒ නිසයි. අධ්‍යාපනය විතරක් නෙවෙයි ජීවත් වීමත් කලාවක්. ඒ කලාව දරුවාට පුරුදු පුහුණු කළ යුතු වන්නේ කුඩා කාලයේදීමයි. වේගවත්ව වැඩ කිරීම, නිවැරැදිව වැඩ කිරීම, ඉතා පරික්ෂාකාරීව වැඩ කිරීම වැනි දේවල් දරුවාට පුරුදු කළ යුතු වන්නේ පාසලෙන්මයි. ගෙදරිනුත් ඒවා පුරුදු පුහුණු කළ යුතු වෙනවා. ඒත් මම හිතන්නේ දරුවන්, ගුරුවරුන් සමඟ බොහෝ වේලාවක් ගැවසෙන නිසාම ඒ දේවල් පාසලේදී හිතට ගන්නවා කියලා. පාසල් ගුරුවරයකු කියන්නේ හොඳ මඟ පෙන්වන්නෙක්. මම හිතනවා මේ කාර්ය අපේ පාසලෙන් ඉටු වෙනවා කියලා. අප විදුහල්පති සේවයේ සිටින තෙක්ම අපේ දරුවන්ගේ අනාගතය ගොඩනඟන්න අප සූදානම්.
ඇගේ ප්‍රාර්ථනා ඒ අයුරින් ඉටු වේවා යැයි මිහිර වෙතින් අපි සුබ පතමු.
රූපාන්ති බුලත්සිංහල
ඡායාරූප – පාසලේ ඡායාරූප අංශය