එදා පාසල් නිවාඩු දවසක්. උදේ ඉඳන්ම වහිනවා. මහී ජනේලයකින් වැස්ස දිහා බලා සිටියා. වැහි බිංදු ගස් වැල්වල රැඳෙමින් පොළොවට වැටෙන ආකාරය මහීට පෙනුණා.
“කීචි!බීචී! කීචි! බීචි!” එක පාරටම මහීට ජනේලය ළඟින්ම කුරුලු නාදයක් ඇසුණා. මහී ජනෙල් පියන තව හොඳීන් ඇරලා එයින් එබිලා එළිය දිහා බැලුවා. ගෙමිදුලේ තිබූ අඹ ගසේ ඉඳන් වැස්සට තෙමි තෙමී කුරුල්ලෙක් කෑ ගසන හැටි මහීට පෙනුණා. මහී, එයාගේ නංගි සචීට කතා කළා.
“නංගි මෙහෙ එන්නකෝ”
“ඇයි අයියේ?” නංගි එතැනට දිව ඇවිත් ඇසුවා.
“අර බලන්න අර කුරුල්ලා වැස්සෙ තෙමි තෙමී මොනවාදෝ කියනවා. එයාට මොකක් හරි කරදරයක් ද?” මහී, නංගිගෙන් ඇසුවා.
“අපි මිදුලට ගිහින් බලමු ද?” නංගි ඇසුවා.
“ඔව් එහෙනම් අපි ලොකු කුඩයක් ඉහළාගෙන ගිහින් බලමු” එහෙම කියලා මහී, නංගිත් එක්ක කුඩයක් අරන් මිදුලට ගියා. ඔවුන් කුඩය ඉහළාගෙන අඹ ගස ළඟට ගියා. මහ වැස්සේ තෙමෙමින් ගසේ අත්තෙන් අත්තට පියාඹමින් ඒ කුරුල්ලා මොනවාදෝ කියන්න පටන් ගත්තා. එතකොට අඹ අත්තක ඉඳන් පුංචි කුරුලු හඬවල් කිහිපයක් ද හෙමින් නාද කරනවා ඇසුණා.
“අයියේ! අර බලන්න අඹ ගහේ අර අත්ත පැත්තෙන් නේද ඒ සද්දෙ ඇහුණෙ? මෙයා කිරිල්ලියක්. එයාගේ පුංචි පැටව් ඒ අත්තේ කොළ අතරේ තියෙන පුංචි කූඩුවක ඇති. එයාලා තෙමෙන නිසා වෙන්න ඇති මේ කිරිල්ලිය අපෙන් උදව් ඉල්ලන්නේ” නංගි කිව්වා.
“ඔව් නංගි එහෙම වෙන්න ඇති. අපට නම් වහින කොට නොතෙමී ඉන්න ගෙයක් තියෙනවනේ. ඒත් මේ අසරණ කිරිල්ලිට ගෙයක් නැහැනේ. මේ තද වැස්සට එයාගේ පුංචි කූඩුව තෙමෙනවා ඇති” මහී කිව්වා.
“අපි කුරුලු පැටව් අපේ ගේ ඇතුළට අරන් යමු ද?” නංගි ඇසුවා.
“කිරිල්ලි ඒකට කැමැති වෙන එකක් නෑ නංගි. එයා කොහෙත්ම කැමැති වෙන එකක් නැහැ එයාගේ පුංචි පැටව් අපි අල්ලනවාට” මහී කිව්වා.
“අපි ගිහින් අම්මටයි තාත්තටයි මේක කියමු. එයාලා අපට උදව් කරාවි” නංගි යෝජනා කළා.
“ඔව් අපි එහෙම කරමු” මහී, නංගිත් එක්ක හණිකට නිවෙස තුළට දිව ගියා.
මහී සහ නංගි කිව්ව විස්තරය අහලා අම්මයි අප්පච්චියි මිදුලට දිව ගියා බලන්න.
“ආනේ පව් මේ කිරිල්ලිය එයාගේ පැටව් රැක ගන්න උදව් ඉල්ලන හැටි. අපි මෙයාට ඉක්මනට උදව් කරමු” අම්මා කිව්වා.
“ඔව් අපි මෙයාගේ පුංචි පැටව් උණුසුමට ආරක්ෂිතව තියන්න එයාට පුංචි ගෙයක් හදලා දෙමු” අප්පච්චි කිව්වා.
“ගෙයක්?” මහියි, නංගියි එක හඬින් ඇසුවා.
“ඔව් මං මෙයාට පුංචි කුරුලු ගෙයක් හදලා දෙනවා” අප්පච්චි කිව්වා.
“අප්පච්චි හදන්නෙ කිරිල්ලියි පැටව්නුයි ලී කූඩුවක හිර කරන්නද?” මහී ඇසුවා.
“නැහැ නැහැ පුතා. කුරුල්ලො, සත්තු කූඩුවල හිර කරනවා වගේ පව්කාර දේවල් අපි කරන්නෙ නැහැ. මං හදන්නේ කිරිල්ලිට එයාගේ පැටව් එක්ක නිදහසේ ආරක්ෂිතව ඉන්න පුංචි ගෙයක් හදලා දෙන්නයි” අප්පච්චි එහෙම කියමින් ගබඩා කාමරය දෙසට ගියා. මහීත් අප්පච්චිට උදව්වට ගියා.
අප්පච්චි ගබඩා කාමරයෙන් ලී කැබලි ටිකක් තෝරා ගත්තා. පුංචි කියතකුයි මිටියකුයි ඇණ ටිකකුයි තෝරා ගත්තා. පුංචි කියතෙන් ලී කැබලි ලස්සනට කැපුවා. ඊට පස්සේ ඒවා එකතු කරලා ඇණ ගසා හුරුබුහුටි කුරුලු ගෙයක් නිර්මාණය කළා. ඒ ගෙයට පුංචි කවුළුවකුත් සකසා තිබුණා.
“හරිම ලස්සනයි අප්පච්චි” නංගි අත්පුඩි ගසමින් උඩ පැන්නා.
“ඔව් අප්පච්චි හරිම ලස්සනයි” මහීත් කිව්වා.
“අපි කුරුලු ගෙදර තවත් උණුසුම් කරමු” අම්මා එහෙම කියලා පරණ වූල් රෙදි කැබලි ටිකකුත් කුරුලු ගෙදර ඇතුළින් ඇතිරුවා.
“ඔන්න හරි දැන්. අපි මේක අර කිරිල්ලිට භාර දෙමු” අප්පච්චි කුරුලු ගෙදර අරන් මිදුලට ගියා. ඒ වෙන කොට වැස්ස අඩු වෙලා.
ඉණිමඟක් තියලා අඹ ගසේ උස අත්තක් ළඟට අප්පච්චි ගියා. අඹ ගසේ ශක්තිමත් අත්තක දෙබලක කුරුලු ගෙදර තබලා, අප්පච්චි එය ශක්තිමත් ලණුවකින් ගැට ගැසුවා.
ඊට පස්සේ වෙනත් අත්තක තිබූ කුරුලු කූඩුව අරන් අලුත් ලී ගෙදර ඇතුළින් තැබුවා. එවිට කිරිල්ලියත් නාද කරමින් එතැනට ආවා. අප්පචිචි ඉණිමඟෙන් බැහැලා එතැනින් අයින් වුණා. වට පිට බැලූ කිරිල්ලිය එයාගේ අලුත්ම අලුත් ලී ගෙදර ඇතුළට ඉගිළිලා ගියා.
ගේ ඇතුළ හරිම උණුසුම්. ලී ගෙදර වහලයත් තිබෙන නිසා වැස්සට තෙමෙන්නෙත් නැහැ. කිරිල්ලිට හරිම සතුටුයි. ඇය ආපසු දොරෙන් එළියට එබී බලා ප්රීතිමත් ලෙසින් නාද කළා. ඒක ඇසුණේ හරියට කිරිල්ලිය මහීලාට ස්තුති කරනවා වගෙයි. මහියි, නංගියි හරිම සතුටින් ඒ දෙස බලා සිටියා.
මේ කතන්දරය කියවූ පුංචි ඔයාලාත් සොබාදහම සුන්දර කරන සතුන්ට ආදරය, කරුණාව ලබා දේවි කියලා මං හිතනවා.
හර්ෂණී ගමගේ