Home » Blog » පුංචි ඔබත් හොඳ සවන් දෙන්නෙක් වන්න

පුංචි ඔබත් හොඳ සවන් දෙන්නෙක් වන්න

ප්‍රවීණ ලේඛිකා - ඉන්ද්‍රා පුෂ්පානි ජයවර්ධන

by thanushika
0 comments

කොහොම කිවුවත් එදා මෙන් අද නැහැනේ සුන්දර හිතෙනවා
ආත්තම්මා කොහේ හිටියත් ගොඩක් පින් නම් පිරෙනවා
ජන කතා ගැන රජ කතා ගැන කිව්ව කවි ගැන සිතෙනවා
ඒවා හින්දයි තාම රසවත් ලෝකෙ ලස්සන විඳීනවා

ඇගේ කුඩා කාලයේ ඇයට මඟ පෙන්වූයේ අත්තම්මා ය. අත්තම්මා ගායනා කරන සොඳුරු කවි ඇසීමට කුඩා ඉන්ද්‍රා බොහෝ කැමැත්තක් දැක්වූවා ය. ඒ අතීතයේදී ඇයට ලැබුණු මඟ පෙන්වීම වර්තමානයේ ඇගේ දිවිය විචිත්‍ර කිරීමට සමත් වේ යැයි ඇය කිසිදා නොසිතුවා ය. ප්‍රවීණ ලේඛිකාවක මෙන්ම ගුරුවරියක ලෙස ද සේවය කළ ඉන්ද්‍රා පුෂ්පානි ජයවර්ධන ඇයගේ අතීතයේ සුන්දර අත්දැකීම්වල මතකය අවදි කළේ මේ ආකාරයෙනි.

”මගේ ආත්තම්මා මට ඇහෙන්න පොත් කියවනවා. ඒවා මම හොඳීන් අහගෙන ඉන්නවා. ඒ කාලෙ මම පුංචි වුණාට හොඳ සවන් දෙන්නියක්. අත්තම්මා පොත් කියවන විට ඒ කතාවට අනුව රූප මගේ හිතේ මැවෙනවා. මම හිතන්නේ තවත් අයට වෙනත් රූපයක් ඇති වෙනවා ඇති. මම ගොඩක් කැමැතියි කතා අහන්න. ඒ වගේ කවි අහන්නත් ආසයි. මගේ තාත්තා දක්ෂ කවියෙක්. එයාගේ නම මාර්ටින් ජයවර්ධන.

කවි ලියන්න වගේම ලස්සනට කවි කියන්නත් අපේ තාත්තාට පුළුවන්. අපේ තාත්තා කවි කියනකොට මම අහගෙන ඉන්නෙ හරිම ආසාවෙන් . ඒ තරමටම එයා කියන කවි ලස්සනයි.”

” අපට ඉස්සර කියවන්න තිබුණ එකම අවස්ථාව මිහිර පත්තරේ විතරයි. මම මිහිර පත්තරේ එනකන් මඟ බලාගෙන ඉන්නවා. පියසේන රතුවිතාන මහත්තයා ලියූ වැලිබත කතාවට මම ගොඩක් ආසයි. ඒ කතාවේ තිබුණ චිත්‍රත් ගොඩක් ලස්සනයි. ඒ හැම චිත්‍රයක්ම මගේ මතකයේ රැඳුණා. මම හිතන්නේ වෙනත් නිර්මාණයක් කරන්න ඒ චිත්‍ර මඟ පෙන්වනවා. ඇත්තටම ඒ චිත්‍රවල හිතන්න ගොඩක් දේවල් තිබුණා. ගුවන්විදුලියට මම ඒ කාලෙ පුංචි පුංචි නිර්මාණ කළා. නිර්මාණයක් ගුවන්විදුලියෙන් ප්‍රචාරය වන විට මට දැනුණු සතුට නිම්හිම් නැහැ. රිජ්වේ තිලකරත්න මහත්තයා සභාපතිතුමා වෙලා ඉන්න කාලයේ මම ගුවන් විදුලියට ලිවුවා. මගෙ මතකයේ හැටියට ගුවන්විදුලියෙත් ඒ සම්බන්ධව ලොකු ඇගයීමක් තිබුණා. ගුවන්විදුලිය කියන්නේ ඇසීමෙන් චිත්ත රූප ඇඳෙන මාධ්‍යයක්. ඒක ගොඩක් වටිනවා. නිර්මාණයක චිත්ත රූප සිතේ ඇඳෙනවා නම් ඒ නිර්මාණය ඉතා සාර්ථකයි.”

” මම මිහිර පුවත්පතටත් නිර්මාණ සැපයුවා මට මතකයි. ඒ නිර්මාණ මිහිර පුවත්පතේ පළ වුණාහම මට ලොකු සතුටක් දැනුණා. ඒත් පළ වුණේ නැති දවසට මම දුක් වුණේ නැහැ. තවත් ධෛර්යවත් වුණා. අනෙක් අයගේ නිර්මාණ කියවලා මමත් දෙයක් ඉගෙන ගත්තා. මම ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හැදෑරුවේ. ඒත් මම නිර්මාණකරණයට ගොඩක් ආසයි.එනිසා මම නිර්මාණ කළා. මම හිතන්නේ හැම කෙනකුටම ඒ දේවල් කරන්න පුළුවන්. අවශ්‍ය වන්නේ උත්සාහයයි.”

” පුතාලාට මතක ඇති නේද? ජන කතාවක් තිබුණා ඉබ්බකු උඩින් ගිය හැටි. එදා ඉබ්බා කට වරද්දා ගෙන බිමට වැටිලා කටුව කුඩු වුණා. හැබැයි අපට එය නිර්මාණාත්මකව මෙසේ ඉදිරිපත් කරන්නත් පුළුවන්.

ඒ කොහොමද දන්නවා ද? මේ බිම වැටුණු ඉබ්බා බිමට වැටුණාට පස්සේ නරියකුට හමු වුණා. ඉබ්බා කටුව ඇතුළේ හිටිය නිසාම නරියාට ඉබ්බාව කෑමට එළියට ගන්න ඕනෙ වුණා. මේ බව ඉබ්බාට තේරුණා. ඒ නිසා ඉබ්බා මෙහෙම කිවුවා. “අනේ මාව වතුරට දාන්න මාව පෙඟුණොත් තමයි ඔයාට කන්න පුළුවන් වෙන්නේ ඒ නිසා ඉක්මන් කරලා මාව වතුරට දාන්න” එහෙම කියලා ඉබ්බා කිවුවාම, නරියා ක්‍රියාත්මක වුණා. ඊට පස්සේ නරියා ඉබ්බාව අරගෙන ගිහිල්ලා වතුරට දැම්මා. හැබැයි වතුරට දැම්මේ ඉබ්බාව කකුලෙන් පාගාගෙන. ටික වෙලාවකින් ඉබ්බා මෙහෙම කිවුවා. “නරි රාල, ඔයාගේ කකුල තිබෙන තැන තෙමිලා නැහැ. කකුල ගන්නකෝ” ඉතින් නරියා කකුල ගත්තා විතරයි. ඉබ්බා පීනාගෙන ඈතට ගියා. ඉතින් දුවේ පුතේ, ඉබ්බාගේ නුවණ දැක්කා නේද? මේ වගේ කතා කියවීමෙන් අපේ ලිවීමේ හැකියාව ප්‍රගුණ වෙනවා. ඉතින් දුවේ පුතේ, අන්න ඒ දේවල් පිළිබඳ අප අවධානය යොමු කරන්න ඕනේ. මම කියන්නේ මේ විදිහට අපට නිර්මාණ ලේඛනයට පිවිසෙන්න පුළුවන්. කියවීමේදී අපට උත්සාහයෙන් ඉදිරියට ගිය මිනිස්සු ගැන කියවන්න පුළුවන්. එයින් එක් අයකු තමයි ආතර් සී . ක්ලාක්. එතුමාගේ ජීවිත කතාවත් හරිම රසවත්. මුලින් චන්ද්‍රිකා තාක්ෂණය ගැන සිතිවිල්ලට එතුමා යොමු වුණෙත් පොතක තිබුණ නිර්මාණයක් කියවීමෙන් පසුවයි. ඒ කියන්නේ පුංචි ඔබටත් පුළුවන් නිර්මාණයකින් නිර්මාණයක් කරන්න. එනිසා අප අනෙක් අයගේ නිර්මාණත් කියවන්න ඕනේ. ඒ වගේ පාසලේ ගුරුතුමිය කියලා දෙන පාඩම්වලටත් හොඳීන් ඇහුම්කන් දෙන්න ඕනේ.”

” ඉතින් දුවේ පුතේ, මම කිවුවේ මම නිර්මාණවලට පිවිසි ආකාරයයි. මම වෘත්තිය විදිහට කළේ ගුරු වෘත්තිය. හැබැයි මේ හැම දෙයකටම මම කියවූ පොත්පත් දායක වුණා. ඔබත් ඒ විදිහට නිර්මාණකරණය ප්‍රගුණ කරගන්න. උත්සාහ කළොත් බැරි දෙයක් නැහැ. ඉතින් පුංචි ඔබ සැමට යහපත් අනාගතයක් ලැබේවා කියලා සුබ පතනවා.”

රූපාන්ති බුලත්සිංහල

 


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department