කොවිඩ් කාලයේදී බොහෝ අයට නිවෙසට ම වී වැඩ කිරීමට සිදු විය. පෙර පාසල් වයසේ සිටින දරුවන් මෙන්ම උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලබන දරුවෝ ද මව්පියන් සමඟ ගෙදරටම කොටු වී සිටියහ. සුපුරුදු යහළු යෙහෙළියන් සමඟ සෙල්ලම් කිරීමට හෝ පාඩම් කිරීමට නොහැකිව තමාගේම පවුලේ අය සමඟ පමණක් ගත කිරීම වාසනාවක් වුවත්, යහළු යෙහෙළියන් සමඟ ගත කිරීමට අවකාශ නොමැති වීම අභාග්‍යයකි.ගුරුවරයා පන්ති කාමරයේදී ලබාදෙන ශික්ෂණයෙන් මිදී අන්තර්ජාලය උපයෝගි කරගෙන දරුවා ලබන අධ්‍යාපනය මානව දයාවෙන් හා කරුණාවෙන් ඈත් වූවකි. මේ නිසා දුවේ පුතේ, පරිගණක තාක්ෂණ යොදා ගැනීමේදී එය සමබරව යොදා ගැනීමට අප සැලකිලිමත් විය යුතු ය.
පරිගණක තිරය මත බොහෝ වේලාවක් බලා සිටින දරුවාගේ පරිකල්පන ශක්තිය හීන වේ. එමෙන් ම ඔහුට ඇති සියලු හැකියාවන් පරිගණයකට පමණක් සීමා වේ. ගුරු දෙගුරුන් අතර මිත්‍රත්වය ගොඩනැඟීමට ඇති අවකාශයක් නැත. මේ නිසා ඔවුන්ගේ ද දැන හඳුනා ගැනීමක් ද නොමැත. දරුවා ද සමාජයෙන් ඈත් වී යාන්ත්‍රීකරණයට බඳුන් වේ. මේ යාන්ත්රීකරණයම දරුවාට සොබාදහම ඇසුරු කිරීම අහිමි කරයි. දැඩි ලෙස පරිගණකයට ඇබ්බැහි වීමෙන් නින්ද පවා දරුවා අහිමි කරගනියි. දිගු කාලීනව ඇතිවන මේ තත්ත්වය නිසා අක්ෂි ආබාධවලට ද දරුවා ගොදුරු වේ. ක්‍රමයෙන් දරුවාගේ මනෝභාවය ද පිරිහෙයි. මොළයේ සෛල ගෙවී යෑම ද ඩිජිටල් තිරය නිසා ඇතිවන තවත් අතුරු ආබාධයකි.
ඉතා දිගු කාලයක් නිල් ආලෝකයට නිරාවරණය වීමෙන් කාලයාගේ ඇවෑමෙන් ඇසේ දෘෂ්ටි විතානයේ සෛලවලට හානි සිදු වේ. වයසට යෑමත් සමඟ දෘෂ්ටියේ ගැටලු ඇති විය හැකි ය. අක්ෂි පිළිකා ඇසේ සුදු කොටස මත වර්ධනය වීමට ද එය හේතු විය හැකි ය. නින්දට පෙර නිල් ආලෝකයට බොහෝ වේලාවක් දෑස් නිරාවරණය වීමෙන් නින්දට බාධා සිදු විය හැකි ය. මන්ද එය අපගේ ශරීරයේ මෙලටොනින් (Melatonin) නිපදවීමට බලපාන බැවිනි.
අනෙකුත් දෘශ්‍ය ආලෝකයට වඩා පහසුවෙන් විසිරී යන කෙටි තරංග ආයාම සහිත අධි ශක්ති නිල් ආලෝකය වැඩි ප්‍රමාණයක් පරිගණක තිර සහ ඩිජිටල් උපාංග වෙතින් නිකුත් වන නිසා එය අක්ෂි ආබාධ ඇති වීමට හේතු වේ. ඒ හේතුවෙන් අඩුවෙන් ඇසිපිය හෙළීමට නැඹුරු වන අතර, එය දෑස් වියළීමට (Dry eyes) සහ ඇස් විඩාවට (Eye strain) පත් කිරීමට දායක වේ. නොපැහැදිලි පෙනීම, හිසරදය, බෙල්ල සහ උරහිස් වේදනාව එයට අදාළ අනෙකුත් පොදු ලක්ෂණ වේ. මෙම තත්ත්වය නින්දේ ගුණාත්මක භාවයට ද හානි කරන බව සොයාගෙන තිබේ.
හොඳ නින්දක් සඳහා සෑම දිනකම එකම වේලාවක නින්දට යෑමට සහ අවදි වීමට ඔබේ දරුවා පුහුණු කරන්න. උදෑසන හා සවස් කාලයේදී දරුවන්ට ස්වාභාවික හිරු රැස් අත්වි¼දීමට හැකි ක්‍රියාකාරකම්වලට යොමු කරන්න. රාත්‍රී නින්දට යෑම ප්‍රමාද නොකරන්න. අවශ්‍ය නම් නිල්-ආලෝකය වළක්වන ආරක්ෂක පෙරහන් තිර Anti-Blue Light Screen Protector ) පරිගණක හා ජංගම දුරකතන උපාංග සදහා භාවිත කරන්න. නිදා ගැනීමට පෙර නිදන කාමරයේ ආලෝකය නිවා දමන්න. නැතිනම් අඳුරු කරන්න. එයින් බැහැරව මෙම වසංගත සමයේ දරුවාගේ වර්ධනය වැඩිදියුණු කිරීමට උපකාරී වන ක්‍රියාකාරකම් කිහිපයක් ද පෙන්වා දිය හැකි ය.
ප්‍රාථමික අංශයේ දරුවන්ට වඩාත් වැදගත් වන්නේ ගුණදහම් ය. මේ සියල්ල ඩිජිටල් අධ්‍යාපනය නිසා අහිමි වේ. දරුවා පරිගණකය ආශ්රිත අධ්‍යාපනය වෙනුවෙන් යැපීමට හුරු වේ. එහෙත් එමඟින් දරුවාගේ ආධ්‍යාත්මික ගුණ වගාව සිදු නොවේ. පරිගණකයෙන් දරුවාගේ අධ්‍යාපන අවශ්‍යතා සපිරුණත් ගුණදහම්වල වර්ධනයක් සිදු නොවේ. එහෙත් දරුවා බුද්ධිමත් සත්ත්වයෙක් බවට පමණක් පරිවර්තනය වේ. මේ බුද්ධිය ගුණදහම් අහිමි වූවකුට සෑහෙන්නේ ද යන්න ගැටලුවකි. මේ නිසා සෑමවිටම මව්පියන් තමන්ගේ දරුවා ගුණදහමෙහි පුරුදු පුහුණු කළ යුතු ය. සමාජයට බුද්ධිමත් සත්ත්වයකු පමණක් ප්‍රමාණවත් නැත. මිනිස්කමින් පිරිපුන් දරුවකු ද අවශ්‍යයි.
පාලිත මහින්ද මුණසිංහ