භාරත බාලදක්ෂයන්
ඉන්දියාවේ බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ කරන ලද්දේ බ්‍රිතාන්‍යයන් විසිනි. එය ශ්‍රී ලංකා වාසී අපට ද පොදු වූවකි. එය වර්ෂ 1909 දී ටී. එච්. බේකර් මහතා විසින් බැංගලෝරයේ බිෂොප් කොට්න් පිරිමි පාසලේදී ආරම්භ කරන ලදි.
1916 දී පෝතක බාලදක්ෂ අංශය ද 1918 දී මානවක අංශය ද ආරම්භ වූ අතර, ආරම්භක අවස්ථාවේදී එය යුරෝපීය හා ඇන්ග්ලෝ ළමයින්ට පමණක් වෙන්ව තිබුණේ ය. වර්ෂ 1913දී විනිසුරු විවියන් බොස්, පණ්ඩිත් මදන් මෝහන් , පණ්ඩිත් හර්දනාත් කුන්ස්රු, ගිරිජා ශංකර් හා පණ්ඩිත් ශ්‍රීරාම් බාජ්පායි යන අය අලහබාද් හි බාලදක්ෂ සංගමයක් පිහිටුවා ගත් අතර, වෛද්‍ය ඇනී බෙසන්ට් හා ආචාර්ය ජෝර්ජ් අරුන්ඩෙල් යන අය විසින් මදුරාසියේ බාලදක්ෂ සංගමයක් පිහිටුවා ගන්නා ලදි. ඔවුන්ගේ අරමුණ වූයේ ඉන්දීය ළමයින්ට බාලදක්ෂ කටයුතු සඳහා මඟ විවෘත කිරීම ය.
ඒ වන විට ආරම්භ වී තිබූ ඉන්දීය බාලදක්ෂ සංගමය හුදෙක් තවදුරටත් ස්වදේශික ළමයින් සඳහා නොවන සංගමයක් විය.
1916 දී කල්කටාවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් කොමසාරිස් කර්නල් ටී. විල්සන් මහතා විසින් කල්කටාවේ පොලිස් අභ්‍යාස විද්‍යාලය වෙත Scouting for Boys පොත හඳුන්වා දෙන ලදි. කර්නල් විල්සන් සහ ඇල්ෆ්‍රඩ් ෆික්ෆෙඩ් යන මහත්වරු ඉන්දීය බාලදක්ෂ සංගමය වෙත ඉන්දීය පිරිමි ළමයින් ඇතුළත් කරගැනීම වෙනුවෙන් විප්ලවීය අරගලයක් දියත් කළහ. මෙහිදී ඉන්දීය රජය විසින් ඊට එරෙහිව තහනම් නියෝගයක් නිකුත් කරන ලදි. එනම් ඉන්දීය ජාතිකයන් සඳහා බාලදක්ෂ ව්‍යාපාරය තහනම් විය. එසේ කරන ලද්දේ බාලදක්ෂ පුහුණුව යනු විප්ලවවාදීන් ලෙස පුහුණු කිරීම යැයි ඉන්දීය රජය විශ්වාස කළ බැවිනි.
වර්ෂ 1919 දී ඇල්ෆ්‍රඩ් ෆික්ෆෙඩ් මහතා ඉන්දීය ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් ලෙස පත්වූ අතර, විල්සන් මහතා කල්කටාවේ ප්‍රධාන කොමසාරිස් ලෙස පත්විය . බාලදක්ෂ ව්‍යාපාරය වෙනුවෙන් රජයේ තහනම් නියෝගයට විකල්පයක් ලෙස ඔහු බෙංගාලයේ බාලදක්ෂ කටයුතු ආරම්භ කළ අතර, ඒ වන විට ජාතිවාදී ඉන්දීය නායකයන් හා සෙසු අයගේ මැදිහත් වීමෙන් බොහෝ බාලදක්ෂ සංගම් ආරම්භ වී තිබුණි.
1920 අගෝස්තුවේදී විල්සන් මහතා විසින් කල්කටාවේ බාලදක්ෂ සමුළුවක් හා රැලියක් පැවැත්වූ අතර, එහිදී ගත් තීරණයක් අනුව ලෝක ප්‍රධාන බාලදක්ෂයා වන බේඩ්න් පවෙල් සාමිවරයා හට ඉන්දීය සංචාරයක් සඳහා ඇරයුම් යවන ලදි. වර්ෂ 1921 ජනවාරියේදී බී.පී. හා එම ආර්යාව කල්කටාව වෙත පැමිණි අතර, ඉන් පසුව රැන්ගුන් වෙත යෑමට ප්‍රථම ඉන්දීය උප මහද්වීපයේ කෙටි සංචාරයක නිරත වූහ.
බේඩ්න් පවෙල්ගේ මෙම සංචාරයේ ප්‍රතිඑලයක් ලෙස බාලදක්ෂ සේවා සමිති සංගමය හැරුණු කොට බොහෝ බාලදක්ෂ සංගම් ඉන්දීය බාලදක්ෂ සංගමය හා එක් විය.
1922දී ඇල්ෆ්‍රඩ් ෆික්ෆෙඩ් මහතා එංගලන්තය බලා ගිය අතර, එහිදී බ්‍රිතාන්‍ය බාලදක්ෂ සංගමයේ විදේශ කොමසාරිස් ලෙස ඔහු පත් කරන ලදි. එහිදී ඔහුගේ ප්‍රධානම අරමුණ වූයේ ඉන්දීය ළමයින් හට බාලදක්ෂ ව්‍යාපාරය විවෘත කිරීම ය. එය ඔහුගේ නව ධුරයේ අභිප්‍රායික ප්‍රතිඵලයක් විය.
වර්ෂ 1938 දී ඉන්දියාවේ ඇතිවූ ජාතිවාදී රැල්ලකින් අනතුරුව සාමාජිකයන් රැසක් ඉන්දීය බාලදක්ෂ සංගමයෙන් ඉවත් වූ අතර, අලුතින් පිහිටුවා ගත් ඉන්දීය ජාතික බාලදක්ෂ සංගමය හින්දුස්ථාන් බාලදක්ෂ සංගමය ලෙස නම් කෙරුණි. එය බාලදක්ෂයන් හා බාලදක්ෂිකාවන් එක්වූ පළමු සංගමය විය. එම වසරේ ඔවුහු ලෝක බාලදක්ෂ සංවිධානය හෙවත් එර්‍ණඉර් හි සාමාජිකත්වය ලැබූහ .
බාලදක්ෂිකාවන්
ඉන්දියාවේ පළමු බාලදක්ෂිකාවන් පිහිටුවන ලද්දේ වර්ෂ 1911 දී ජබෙල්පූර්හි ක්‍රයිස්චර්ච් පාසලෙනි. එහි ශීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබුණු අතර, 1915 වන විට එහි බාලදක්ෂිකාවෝ 1200ක් වූහ. ඔවුහු ඉන්දීය බාලදක්ෂිකා සංගමය ලෙස ලියාපදිංචි වූහ. එය සමස්ත ඉන්දීය බාලදක්ෂිකා සංගමය (All Indian Girl Guides Association) ලෙස වර්ෂ 1916 දී විවෘත වූ අතර, එය සමස්ත ඉන්දීය ගැහැනු ළමයින් සඳහා විය. ඔවුහු 1928 දී ලෝක බාලදක්ෂිකා සංගමය හෙවත් World Association of Girl Guides & Girl Scouts. WAGGGS හි සාමාජිකත්වය ලබා ගත්හ.
1948 ඉන්දියාවේ නිදහසින් පසුව දේශපාලන නායකයන් වන ජවහර්ලාල් නේරු, මවුලානා අබු කලාම් හා මංගල් දාස් යන අය විසින් ඉන්දීය බාලදක්ෂ සංගම් හා බාලදක්ෂිකා සංගමය එක්සේසත් කිරීමට උත්සාහ දරන ලදි. එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්දීය බාලදක්ෂ සංගමය හා හින්දුස්ථාන් බාලදක්ෂ සංගමය නව සංගමයක් ලෙස භාරත බාලදක්ෂ හා බාලදක්ෂිකා සංගමය ලෙස 1950 නොවැම්බර් 7 දින පිහිටුවා ගන්නා ලදි.
ශ්‍රී ලංකාවේ බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ වීමට ප්‍රථම එනම්, අපට වඩා අවුරුදු 3කට ඉහතදී ඉන්දියාවේ බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ කළත් මේ වන විට ඔවුන් සමරන්නේ ඔවුන්ගේ 75 වැනි සංවත්සරයයි. ඊට වසර 3කට පසුව එනම් 1912දී ශ්‍රී ලංකාවේ ආරම්භ වූ බාලදක්ෂ ව්‍යාපාරයට අද වන විට අවුරුදු 113 කි. මෙයට හේතුව කුමක්ද ?
සැබැවින්ම ඉන්දියාව තුළ බොහෝ බාලදක්ෂ සංගම් ආරම්භ වූවත් ඒ සියල්ලම ඒකාබද්ධ නොවීම එයට හේතුවයි. එසේ ඒකාබද්ධ නොවීමට බලපෑ ප්‍රධානම හේතුව වූයේ එකල බාලදක්ෂ පොරොන්දුවේ ඇතුළත් ” රජුට යුතුකම හා පක්ෂපාතී ” යන වාක්‍යයයි. ජාතිවාදී හා දේශප්‍රේමී නායකයන් බ්‍රිතාන්‍ය අධිරාජයාට පක්ෂපාතී වීම අනුමත නොකළ අතර, ඒ වෙනුවට රටට පක්ෂපාතී ලෙස බාලදක්ෂ පොරොන්දුව වෙනස් විය යුතු යැයි අවධාරණය කරන ලදි.
1959 දී 17 වැනි ලෝක බාලදක්ෂ සමුළුව නවදිල්ලියේදී පැවැත්වූ අතර, එහි සත්කාරය භාරත බාලදක්ෂ හා බාලදක්ෂිකා සංගමය විසින් දරනු ලැබීය.
BSG හෙවත් The Bharat Scouts & Guides India, ඉන්දියාවේ ජාතික සංගමය වන අතර, එය ජාතික ඒකග්‍රතාව සඳහා වූ සාමදූත සම්මානයෙන් හා ඉන්දිරා ගාන්ධි සම්මානයෙන් පුදනු ලැබීය.
2024- 2025 වසර සිය දියමන්ති ජුබිලිය සමරන අතර, ඒ වෙනුවෙන් පවත්වන දියමන්ති ජුබිලි ජම්බෝරිය තමිල්නාඩුවේ පූරිහි පැවැත් වේ.
ධර්මලාල් ගුණවර්ධන
බාලදක්ෂ ආචාර්ය
නාලන්දා විද්‍යාලය
කොළඹ