පුංචි නිරීක්ෂකයා එහා මෙහා තොරතුරු සොයමින් ගමන් කරන වෙලාවයි මේ. නිරීක්ෂකයා පාවෙන පීරිසියක් උඩ නැඟලා එහාට මෙහාට යන්න පටන් ගත්තේ පුංචි දුවලා පුතාලා වෙනුවෙන්මයි. මේ තිබෙන්නේ ලස්සන කතාවක්. දුවලා පුතාලාත් කැමැති වේවි.
ආ… ආ… මම වලාකුළු අතරින් යන නිසා මට හරිම ලස්සනට ඔක්කොම පේනවා. ආ… මේ තිබෙන්නේ යුක්රේනය නේ. මේ මොකද්ද? ආ.. ඒක විදුලි බලාගාරයක් නේද? ආ…අන්න ඒකේ නමත් පෙනෙන්න තිබෙනවා. ඩිනිපර් ඩෑම් කියලා අර ලියලා තිබෙන්නේ. නිරීක්ෂකයා තරමක් විමසිලිමත් වුණා. මේ ජල විදුලිබලාගාරයට විදුලිය නිපදවීමට ජලය පැමිණෙන්නේ ඩිනිපර් ගඟෙන්. අම්මෝ හරිම වේගවත්. ඒ පාර ඔන්න සද්දෙත් ඇහෙනවා. ආ.. අර ඉන්නේ මහත්තයෙක්. පුංචි ළමයි ටිකක් එයාගෙන් මොනවද අහනවා. සුළං සැරට පීරිසිය ගහගෙන යනවා. නිරීක්ෂකයා ඒ ළමයින්ගේ කතාවට ඇහුම්කන් දුන්නා.
ළමයින්ට කියලා දෙන කතාව නිරීක්ෂකයාට යන්තමට ඇසුණා. “මේ වේල්ලේ දිග මීටර් 800ක් පමණ වෙනවා. උස මීටර් 61ක් පමණ වෙනවා. මේ වේල්ල ඔස්සේ අධිවේගී මාර්ගයක් තැනිලා තිබෙනවා. රාත්‍රියට විදුලි පහන් දැල්වූ විට අපූරු ලස්සනක් තිබෙනවා. ඒක හරි ලස්සන පාරදීසයක් වගේ.” පුංචි ළමයින් ටික ඔළුව වැනුවා. මේ විදුලි බලාගාරය තැනීම ආරම්භ වෙලා තිබෙන්නේ 1932 වර්ෂයේදියි. ඊට පස්සේ 1972 වර්ෂය වනතෙක්ම මෙහි ඉදි කිරීම සිදුකරලා තිබෙනවා කියලා වේල්ල සම්බන්ධව විස්තර කරන මහත්තයා කිව්වා. දෙවැනි ලෝක යුද්ධය කාලයේදී මේ විදුලිබලාගාරය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තිබෙනවා. ඒ කතාව ඇත්තක් ද? මම මගේ ඇස් දෙක අකුළුවා ගත්තා. මේ කාලයේදී ජර්මානු හමුදාවට ගඟ තරණය කරන්න ඕනෙ වුණාලු. කැඩී බි¼දී ගිය කොටස් ගඟට වැටීම නිසා පීනන අයට හරිම අපහසු වෙලා තිබෙනවා. මේ නිසා නැවතත් විදුලි බලාගාරය ඉදි කරන්න පටන් අරගෙන තිබෙනවා.
ඉතින් ඔයාලා දැකලා නැහැනේ මේ වේල්ල. Dneprostroi වේල්ල ඉදි කරලා තිබෙන්නේ khortytsia දූපතට උතුරිනුයි. මේ වේල්ල ගැන සැලැසුමක් තිබිලා තිබෙන්නේ වර්ෂ 1920දියි. මේ වේල්ල ඉදි කිරීමේ ප්‍රධාන විශේෂඥවරයා වෙලා තිබෙන්නේ මහාචාර්ය අයිවන් ඇලෙක්සැන්ඩ්රොවි කියන පුද්ගලයා කියලා තමයි ඔවුන් කතා වුණේ. ඉතින් මේ වගේ වේල්ලක් නිර්මාණය කරන කොට මොනතරම් දේවල් හිතන්න ඕනේ ද? මේ හැම දෙයකටම ඉංජිනේරු කණ්ඩායමක් සහාය වුණා . පසුව මේ මහාචාර්යවරයා යුක්රේනයේ අඵටඵප රාජ්‍ය සැලසුම් කොමිසමේ ප්‍රධානියා වෙලා ඉඳිලා තිබෙනවා.
මේ වේල්ල මත තවත් අලංකාර ඉදිකිරීම් තිබෙනවා. ඒවා නිර්මාණය කිරීමේදී එහි ගෘහ නිර්මාණ ශිල්පියා වන්නේ වික්ටර් වෙස්නින් සහ නිකොලායි කොලියි. 1932 වර්ෂයේ තමයි මෙහි විදුලිය නිපදවීමට පටන්ගෙන තිබෙන්නේ. මෙගාවොට් 560ක පමණ විදුලි ප්‍රමාණයක් මෙහි ජනනය කරලා තිබෙනවා. මේ විදුලි බලාගාරය ලෝකයේ තුන් වැනි විශාලතම විදුලි බලාගාරය ලෙස හඳුන්වනවා. ජෙනරාල් ඉලෙක්ට්‍රික් විසින් තමයි 1946 වර්ෂයේදී නව මෙගාවොට් 90ක ජනන යන්ත්‍ර තුනක් නැව් ගත කරලා තිබෙන්නේ. දෙවැනි ලෝක යුද්ධයේදී ඒක විනාශ වුණා කියලා, පුතාලාට දුවලාට මම මුලිනුත් කිව්වානේ. ඊට පස්සේ මෙගාවොට් 77.5ක ජනන යන්ත්‍රයක නැවත ස්ථානගත වීමක් සිදු වෙලා තිබෙනවා. සෑම ජනක යන්ත්‍රයක්ම ටොන් 1,021කට වඩා බරින් වැඩියි. වර්ෂ 1969 සිට 1980 දක්වා ඉදි කරන ලද දෙවැනි බලාගාරය සමඟින් නිෂ්පාදන ධාරිතාව මෙගාවොට් 828 තෙක් පුළුල් වෙලා තිබෙනවා.
ඒත් හරිම කනගාටුයි පුතාලාට දුවලාට කියන්න වර්ෂ 2024 වර්ෂයේ අප්‍රේල් 12 වැනිදා රුසියාව එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයෙන් මේ වේල්ල නැවතත් ගිනි ගත්තා. ඒ නිසා තෙල් ටොන් භාගයක් පමණ Dnieper ගඟට කාන්දු වුණා. ඒ කියන්නේ දුවේ පුතේ, මේ වේල්ලත් නොයෙක් තාඩන පීඩනවලට යොමු වෙලා තිබෙනවා. ආයෙත් ඔන්න ප්‍රතිසංස්කරණයට පටන් අරගෙනලු.
එහෙනම් දුවේ පුතේ, ගිහින් එන්නම්. මම ඔබේ පුංචි නිරීක්ෂකයා. ඔයාලාට ඊළඟ සතියෙත් රසවත් තොරතුරු රැගෙන එනවා. ඉතින් මේවා කියලා ලෝක සිතියමේ මේ ස්ථාන මොනවගේ ද කියලා ඔයත් හොයලා බලන්න.
චතුරි ලක්ෂිකා