වර්තමානයේ දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්න රාශියක් තිබෙනවා. කුමන ප්‍රශ්නය තිබුණත් අපි දරුවන් ආරක්ෂා කරන්න ඕනේ. දරුවන්ට සමාජය පිළිබඳ අවබෝධයක් නැහැ. වැඩිහිටියන් මේ අවබෝධය දරුවන්ට ලබා දෙන්න ඕනේ. දරුවන්ට සමාජය ගැන අදහසක් නැහැ. විශේෂයෙන් කුඩා දරුවන්ට මේ අවබෝධය ඉතා අඩුයි. මේ ගැන වැඩිහිටියන්ට සෑම විටම දරුවන්ට පැහැදිලි කරලා දෙන්න පුළුවන්. ළමයින්ට සෑම දෙයක්ම ගැටලුවක්. ළමයින් කියන්නේ නිරීක්ෂකයන් කියලා කිව්වොත් ඒක නිවැරැදියි. ප්‍රාථමික ශ්‍රේණිවලට උගන්වන ගුරුවරුන්ට කුඩා දරුවන් පිළිබඳ බොහෝ අත්දැකීම් තිබේ. විදුහල්පතිවරුන්ටත් එලෙසමයි. මෙවර කතාව එවැනි අත්දැකීම් රාශියක් ඇති විදුහල්පතිවරියක් සහ ඇගේ පාසල පිළිබඳයි.
මේ තංගල්ල දීපංකාර සෞභාග්‍යා ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනිය වන නම්මුනි ආරච්චිගේ මල්කාන්ති මහත්මිය සහ ඇගේ පාසල පිළිබඳ ඇය කියූ කතාවයි.
” අපේ පාසල පටන්ගෙන තිබෙන්නේ වර්ෂ 1955දීයි. මුලින්ම මෙය පටන් අරගෙන තිබෙන්නේ ප්‍රාථමික පාසලක් ලෙසටයි. ඒ කාලයේදී කුඩා ශිෂ්‍ය ප්‍රමාණයකින් මේ පාසල ආරම්භ කරලා තිබෙනවා. එක ගුරුවරයෙක් මේ පාසලේ ඉඳලා තිබෙනවා. පරිසරයේ තිබෙන නිසංසල බව නිසාම බොහෝ මව්පියන් මේ පාසලට දරුවන් දැමීමට කැමැති වෙලා තිබෙනවා. ඒ තත්ත්වය අදත් තිබෙනවා. ඒක මට ලොකු සතුටක්. ළමයින් කියන්නේ කුඩා පැළ වගේ. කුඩා කාලයේදී හොඳට පොහොර, වතුර යොදන්න ඕනේ. ඒ වගේම දරුවන්ටත් කුඩා කාලයේදී හොඳ පුරුදු කියලා දෙන්න ඕනේ. වැඩි වියට පත්වුණාම හොඳ පුරුදු උගන්වන්න බැහැ. ”හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ” යනුවෙන් කතාවකුත් තිබෙන්නේ ඒනිසා වෙන්නැති. එනිසා කුඩා දරුවන් වටිනා පැළයක් බලාගන්නවා වගේ අප බලාගන්න ඕනේ.”
” මගේ පාසලේ ඉන්නේ ප්‍රාථමික අංශයේ දරුවන්. ඒ අය හරිම ආසයි ආදරයට. ආදරෙන් කිව්වාම සෑම දරුවකුම ඕනෑම දෙයක් අහනවා. වැඩිහිටියන් මේ ගැන හිතන්න ඕනේ. හරි වැරැදි කියලා දුන්නම දරුවන් ඕනෑම දෙයක් තේරුම් ගන්නවා. දරුවන්ට සමාජය පිළිබඳ අවබෝධයක් නැහැ. දරුවන් ගුරුවරුන්ට ගොඩක් ළෙන්ගතුයි. මේ තත්ත්වය ගුරුවරුන් අවබෝධ කරගෙන වැඩ කටයුතු කරගෙන යන්න අවශ්‍යයි. පාඩමක් කරන විට ඒක ක්‍රියාකාරකමක් ස්වරූපයෙන් කරන්න ඕනේ. එහෙම කළවිට ඔවුන්ට ජීවිතාවබෝධයක් ලැබෙනවා. ඒ අවබෝධය ලබා ගන්න අද වැඩිහිටියන් ඉඩ ප්‍රස්තාව ලබා නොදීම ප්‍රශ්නයක් වෙලා තිබෙනවා.”
” කතන්දර ස්වරූපයෙන් හෝ කවියක් ආකාරයෙන් අපට නොයෙක් දේවල් අවබෝධ කරලා දෙන්න පුළුවන්. එහෙම කළ විට ඒ අය අහගෙන ඉන්නවා. ඒ අය ඒ දේවලින් නිර්මාණ කරන්නත් හුරුවෙනවා. පුරුදු පුහුණුවීම සහ ඒ ගැන නිර්මාණාත්මකව සිතීමත් අභ්‍යාසයක්. සෑමවිටම දරුවා පරිසරයට සම්බන්ධ කරන්න අවශ්‍යයි. එසේ සම්බන්ධ කළහොත් ඔහු හෝ ඇය පරිසරයට ආදරය කරනවා. අපේ පාසලේ පරිසර නියමු කණ්ඩායම් තිබෙනවා. ඒ වගේම පෝතක බාලදක්ෂ කණ්ඩායමක් ඉන්නවා. ශිෂ්‍ය නායක කණ්ඩායම පිරිස් පාලනය පිළිබඳ අවබෝධයක් ලබා ගන්නවා. පාසලේදී නායකත්වය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමෙන් පසු එය වැඩි වියට පත්වීමේදී වඩා වැදගත් වෙනවා. නිවැරැදි නායකයකු බිහිවන්නේ පාසලෙන් ලබන අත්දැකීම්වලින්. අපේ පාසලේ ගුරුවරුන් සෑම විටම දරුවන් දැනුම්වත් කරනවා. ඒක වටිනා දෙයක්.”
” අපේ පාසලේ දැක්ම නැණ ගුණ සපිරි නිර්මාණශීලි දරු පිරිසක් බිහි කරන එක තමයි. ඒ වගේම මෙහෙවර වන්නේ, දැනුම කුසලතා, ආකල්පවලින් හෙබි මානව දයාවෙන් පරිපූර්ණ වූ පරිසර හිතකාමී නිර්මාණශීලි අභිමානවත් දරු පරපුරක් දැයට දායාද කිරීමයි. මේ අරමුණ වෙනුවෙන් අපේ පාසලේ සෑම ගුරුවරයකුම, දරුවකුම කැප වී වැඩ කරනවා. මව්පියන්ගෙන් ලැබෙන සහයෝගයත් අප අගය කරනවා. ප්‍රාථමික වයස් සීමාවල දරුවන් පිළිබඳ දැඩි උනන්දුවක් දක්වන්න අවශ්‍යයි. එය අපේ වගකීමක් කියලායි මම හිතන්නේ.” ඇය තම පාසල පිළිබඳ දක්වන සැලකිල්ල ගැන අප සමඟ මෙසේ පැවසුවා ය.
රූපාන්ති බුලත්සිංහල
ඡායාරූප – පාසලේ ඡායාරූප සංගමය