ආදරණීය දුවේ පුතේ, ග්‍රහලෝක හයක් එකට පෙළ ගැසෙන දුර්ලභ ආකාශ සිදුවීමක් පසුගිය සතියේ සිදු වුණා. මෙම පෙළගැස්මට සිකුරු, අඟහරු, බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස් සහ නෙප්චූන් ඇතුළත් වුණා. මේ ග්‍රහලෝක රාත්‍රී අහසේ එකම සමාන්තර රේඛාවක් ඔස්සේ නිරීක්ෂණය කරන්නට හැකි වුණා. මෙම අසාමාන්‍ය සංසිද්ධිය ඉතා පැහැදිලිව සවස් කාලයේ හිරු බැස යෑමෙන් පසු ආසන්න වශයෙන් මිනිත්තු 90ක් පියවි ඇසට දැක ගැනීමට හැකි වෙනවා. විශේෂිත උපකරණ නොමැතිව දුර්ලභ ග්‍රහලෝක පෙළගැස්මක් නැරැඹීමට ලැබීම තවත් විශේෂිත කාරණාවක් වෙනවා. මෙය ඉතා දුර්ලභ අවස්ථාවක්. ඒක දැක ගැනීමට ලැබීමත් වාසනාවක්. ඉතින් මේ වාසනාවන්ත කතාව පිළිබඳ පුංචි ඔබට කියන්නයි අපේ මේ සූදානම. මේ කතාව කෙතරම් රසවත් ද කියා කියවලා බලන්නකෝ.
ග්‍රහලෝක පෙළගැස්මක් ලෙස පොදුවේ හැඳීන්වෙන මෙම තාරකා විද්‍යාත්මක සංසිද්ධිය සිත්ගන්නා කරුණකි. එනම් පැහැදිලි රාත්‍රී අහසේ පියවි ඇසට දක්නට ලැබීමයි. ජනවාරි 21 වැනි දින ආරම්භ වී ජනවාරි 29 වැනි දින පමණ එහි උච්චතම ස්ථානයට ළඟා තිබිණි. විස්මයජනක සංසිද්ධිය පෙබරවාරි මැද භාගයේදී දැකීමට හැකි විය. ජනවාරි 25 වැනි දින ග්‍රහලෝක හය ( සිකුරු, අඟහරු, බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස් සහ නෙප්චූන් ) වඩාත් හොඳීන් දැක ගැනීමට පුළුවන් විය. පෙළගැස්මේදී මාස දෙකක් අහසේ රැ¼දී තිබේ. පෙබරවාරි අග වන විට බුධ ග්‍රහලෝක පෙළපාළියට එක් වේ. එය අවසානයේදී ග්‍රහලෝක හතක ග්‍රහලෝක පෙළපාළියක් බවට පත් වේ.
පෙබරවාරි 28 සිට මාර්තු 12 දක්වා බුධ ග්‍රහයා එහි උපරිම දර්ශනයට ළඟා වෙයි. ග්‍රහලෝක පෙළපාළිය නැරැඹීමට, ප්‍රධාන වශයෙන් සිකුරු, අඟහරු, බ්‍රහස්පති සහ සෙනසුරු වැනි දීප්තිමත් ග්‍රහලෝක දැකීමට හැකි වේ. මෙහිදී ඔබට ඔබේ පියවි ඇස භාවිත කළ හැකි ය. කෙසේ වෙතත්, යුරේනස් සහ නෙප්චූන් වැනි දුර්වල ග්‍රහලෝකවල වඩා හොඳීන් දැක ගැනීමට නොහැකි ය. මෙහිදී ඔබට දුරදක්නයක් හෝ දුරේක්ෂයක් අවශ්‍ය වේ. (වඩා හොඳ දසුනක් සඳහා අඳුරු සහ නගර ආලෝකයෙන් ඈත් වූ ස්ථානයක් තෝරාගන්න මතක තබා ගන්න.)
නැරැඹීමට හොඳම කාලය
මෙම සිදුවීම නැරැඹීමට හොඳම කාලය හිරු බැස යෑමෙන් මිනිත්තු 45-90කට පමණ පසුව ය. සිකුරු, අඟහරු, බ්‍රහස්පති සහ සෙනසුරු යන ග්‍රහලෝක හතර පියවි ඇසට දැකගත හැකි වනු ඇත . හිරු බැස ගිය පසු යුරේනස් සහ නෙප්චූන් ග්‍රහ ලෝක නැරැඹිය හැකි ය. එහෙත් ඒ සඳහා දුරේක්ෂයක් අවශ්‍ය වේ. මේ නිසා ඔබට මේ ග්‍රහයන් දෙදෙනා දැකගැනීමට අවශ්‍ය නම් දුරේක්ෂයක් හෝ දුරදක්නයක් භාවිත කරන්න. එවිට අහසේ ඈතින් දිස් වන මේ ග්‍රහයන් දෙදෙනා දැක ගැනීමට හැකි වේ.
තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා මහතාගේ අපූරු අත්දැකීම
වර්ෂ 1982දී එංගලන්තයේ සිට පැමිණි පසු මට අපූරු අත්දැකීමක් ලබන්න අවස්ථාව ලැබිණි. ජනවාරි අපේ පොළොවට හිරු ළංවී තිබෙන මාසයකි. ඒ වගේම පෙබරවාරි අධික උෂ්ණත්වයක් ලැබෙන මාසයක් ලෙසත් මට හඳුන්වා දීමට හැකි ය. මෙම මාසයට නවම් මහ කියලත් සිංහල සංස්කෘතියට අනුව හඳුන්වා දීමට හැකියි. මේ කාලයේදී තද හිරු රශ්මියක් ලැබෙනවා . ජ්‍යොතිෂවේදීන් පවසන්නේ අෂ්ට මහා ග්‍රහ යෝගයක් තිබෙන බවයි. ඒ අය එහෙම කිවුවත් තාරකා විද්‍යාඥයෙක් හිතන්නෙ විද්‍යාත්මක ලෙසිනුයි. ඒ කාලයේ මට දුරදක්නයක් තිබුණි. එයින් මම රාත්‍රියට අහස නිරීක්ෂණය කරන්නට පටන් ගත්තෙමි. එතකොට මගේ දුරදක්නයට අපූරු දෙයක් අසුවුණි. ඒ තමයි සිකුරු, බ්‍රහස්පති, අඟහරු, බුධ ඇතුළු ග්‍රහයන් කිහිපදෙනා මට හඳුනා ගත හැකි වීම. ඒ කාලයේදී මට ප්‍රශ්නයක් ඇති වුණි. ඒ තමයි මේ කාලගුණ පෙරළියට මේ ග්‍රහයන් හේතු වෙන්න බැරි ද කියලා විමසීම. ඒ කාලයේදී මම මේ පිළිබඳ පුවත්පත්වලටත් විවිධ තොරතුරු ලියූවෙමි. මේ සෑම දෙයක්ම මම තාර්කිකව ඉදිරිපත් කළෙමි. ඇතැම් පුද්ගලයෝ ඒ තර්ක පිළිගැනීමට මැළි බවක් දැක්වූහ. එහෙත් සතියකට පසු ආන්දෝලනාත්මක දෙයක් සිදු විය. ඒ, මේ පෙළගැස්ම නිසා මා කියූ ලෙසම කාලගුණ පෙරළියක් ඇතිවීමයි. මේ අනුව මා නිරීක්ෂණය කළ 1982 වර්ෂය කාලගුණ පෙරළියක් වූ වසරක් ලෙස ප්‍රකාශ වුණි. ඒ අනුව රූපවාහිනී සංස්ථාවේ කාලගුණය සම්බන්ධ ප්රවෘත්ති ප්‍රකාශ කරන්නටත් මට අවස්ථාව හිමි විය. මෙම ග්‍රහලෝක එකට පෙළගැසීමෙන් අහසේ කිසියම් කාලගුණික වෙනස් වීමක් ඇති කිරීමට හැකියාව ලැබෙන බව පර්යේෂණාත්මකව ඔප්පු කිරීමට මට හැකියාව ලැබිණි. එසේ ඔප්පු කිරීමෙන් පසු මෙය ඉතා අපූරු සිදුවීමක් බව මේ පිළිබඳ නොදත් බොහෝ දෙනා හඳුනාගත්හ. කාලගුණයේ වෙනස්වීමට අනෙකුත් ග්‍රහලෝකවල පිහිටීම වැදගත් වන බව මීට පෙර කිසිවකුත් අවබෝධ කරගෙන නොතිබිණි. මේ ගැන කිසිදු අවධානයක් යොමු නොකළ අවස්ථාවක මගේ සොයා ගැනීම පිළිබඳ බොහෝ දෙනා කතා කළහ. එය මට විශිෂ්ට ජයග්‍රහණයකි.
අප සෑම විටම අභ්‍යවකාශය පිළිබඳ තොරතුරු සොයන්නකු විය යුතුයි. එවිට අපට නොයෙක් අලුත් දේවල් සොයා ගැනීමට හැකියාව ලැබේ. මේ නිසා අහසේ ඇති ග්‍රහ වස්තු මෙන්ම ග්‍රහලෝක පිළිබඳ වර්තමාන තත්ත්වය නිරීක්ෂණය කරමින් ඒ පිළිබඳ නිරන්තරයෙන් තොරතුරු ලබා ගැනීමට හැකියාව ලැබේ. ග්‍රහලෝක පිළිබඳ විස්තර කාලගුණය අනුව එකිනෙකට වෙනස් වේ. ඒවා අපේ පෘථිවියට ද විවිධාකාරයෙන් බලපායි. ඒ බලපෑම මත පෘථිවියේ විවිධ වෙනස්කම් ද ඇති වන අවස්ථා තිබේ. මේ නිසා සෑමවිටම අප අනෙකුත් ග්‍රහවස්තූන් පිළිබඳ සැලකිලිමත් විය යුතුයි. මේ සඳහා සෑම විටම අහස පිළිබඳ නිරීක්ෂණය කළ යුතුයි. වර්තමානයේ තාරකා විද්‍යාව හදාරන දූ පුතුන් ද මෙලෙස අහස නිරීක්ෂණය කිරිමට සහ තාරකා විද්‍යාවේ අලුත් තොරතුරු සෙවීමට යොමු වීම පිළිබඳ අවධානය යොමු කිරීම වඩාත් වැදගත් වේ. මේ නිසා ඔබත් සෑම විටම නිරීක්ෂකයකු වෙනවානම් වඩාත් වැදගත් ය.
පහත දැක්වෙන්නේ ඉදිරි අවුරුදු 100 ඇතුළත පෙළ ගැසෙන ග්‍රහලෝක පිළිබඳ විස්තරයි.
2025 ජනවාරි 21 – පෙබරවාරි 28
සය හෝ හත් ග්‍රහලෝක පෙළගැස්ම- බ්‍රහස්පති, යුරේනස්, නෙප්චූන්, සිකුරු සහ සෙනසුරු. පසුව බුධ ද එකතු වේ.
2040 නොවැම්බර් 4
බ්‍රහස්පති සහ සෙනසුරු විශේෂ එකතුව (Great Conjunction)
ග්‍රහ ලෝක දෙකක් ඉතා ආසන්නයෙන් දක්නට ලැබේ.
2060 අගෝස්තු –
ඇස්තමේන්තුගත ප්‍රමාණය විශාල ග්‍රහලෝක පෙළගැස්ම
සිකුරු, පෘථිවිය, අඟහරු, බ්‍රහස්පති සහ සෙනසුරු සූර්යයාගේ එක් පැත්තක පෙළගැසී සිටීම.
2100 ජූනි
පංච ග්‍රහලෝක පෙළගැස්ම බුධ, සිකුරු, අඟහරු, බ්‍රහස්පති සහ සෙනසුරු එකම අහසේ දෘශ්‍යමාන වේ.
2120 අප්‍රේල් – මැයි
දුර්ලභ හත් ග්‍රහලෝක පෙළගැස්ම බුධ, සිකුරු, පෘථිවිය, අඟහරු, බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස් හෝ නෙප්චූන් සමඟ එකම අහසේ පෙළගැස්මකි.
2140 සැප්තැම්බර් –
ඇස්තමේන්තුගත විශාල බහු ග්‍රහලෝක පෙළගැස්ම
යුරේනස් සහ නෙප්චූන් ඇතුළු බාහිර ග්‍රහලෝක සමඟ පෙළගැස්මකි.
මෙම අවස්ථා දැක බලා ගැනීමට නාගරික ආලෝක දූෂණයෙන් දුරස්ථ, විශාල පරිසරයක සිට නිරීක්ෂණය කිරීම වැදගත් ය.
රුසින් තත්සර
මොරටුව විශ්වවිද්‍යාලය
ප්‍රවීණ තාරකා විද්‍යා ලේඛක අනුර සී. පෙරේරා මහතා සමඟ සිදු කරන ලද සාකච්ඡාවක් ඇසුරෙනි