Home » Blog » ආදරණීය යාළුවෝ

ආදරණීය යාළුවෝ

by thanushika
0 comments

ඔන්න එකමත් එක කාලෙක ලොකු කැලෑවක් තිබුණා. මේ කැලෑවේ සත්තු ගොඩාක් හරිම සතුටින් ජීවත් වුණා. එයාලා හරිම එකමුතුයි. යාළුයි. එනිසාම මේ කැලෑව ගැන හැමතැනම කතාවෙන්න පටන් ගත්තා. එයාලාගේ එකමුතුකම ගැන හැමෝම හරි පුදුම වුණා. ඉතින් මේ ආරංචිය අසල කැලෑවේ හිටපු නරි රාලටත් අහන්න ලැබුණා. හැමෝම උදව් කරන හැටි එකට කෑම හොයාගෙන යන හැටි අනෙක් අයට ආදරෙන් සලකන හැටි එයාටත් අහන්න ලැබුණා. ඉතින් මේ නරි රාලට ඕනෙ වුණා ඒවා ඇත්ත ද කියලා බලන්න. එයා හෙමින් හෙමින් එයා හිටපු කැලෑවෙන් පිටතට ආවා. ඇවිත් අලුත් කැලෑව දිහාට යන්න පටන් ගත්තා. එහෙම යද්දි එයාට හා හාමිව මුණගැහුණා.
“හා හාමි! හා හාමි! කොහේද මේ තකහනියෙම යන්නේ ?” නරි රාල ඇහුවා.

“මම යනවා අපේ වලස් වෙද රාලට බෙහෙත් පැළෑටි වගයක් හොයන්න.” හා හාමි උත්තර දුන්නා.

“මාත් එන්නද ඔයාට උදව් කරන්න. මටත් පුළුවන් බෙහෙත් පැළෑටි හොයන්න.”නරි රාල ඇහුවා.

“අනේ බොහොම ස්තූතියි නරි රාල. ඔයා කොහේද මේ යන්නේ?” හා හාමි ඇහුවා.

“මම මේ යනවා එහා පැත්තේ තියන කැලෑව බලන්න. එහේ හරිම ලස්සනයිලු. එහේ ඉන්න අයත් හරිම හොඳයිලු. අනේ මටත් හරි ආසයි එයාලා එක්ක යාළු වෙන්න.” නරි රාල උත්තර දුන්නා.

“හරිම සතුටුයි යාළුවේ, මාත් ඉන්නේ එහේ තමා. අපි හරි සතුටින් එහේ ජීවත් වෙන්නේ. ඔයාත් එන්න අපිත් එක්ක.” හා හාමි සතුටෙන් කිව්වා.

නරි රාලට හරිම සතුටුයි. එයා හා හාමිත් එක්ක බෙහෙත් පැළෑටි හොයාගෙන හැමතැනම ඇවිද්දා.
හා හාමි එයා ජීවත් වෙන කැලෑව ගැනයි එයාගේ යාළුවෝ ගැනයි ගොඩක් දේවල් නරි රාලට කියලා දුන්නා. බොහොම පුංචි වෙලාවකදී ඒ දෙන්නා ගොඩාක් හොඳ යාළුවො වුණා. වලස් වෙද රාල කියපු බෙහෙත් පැළෑටි ඔක්කොම හොයාගත් හා හාමියි නරි රාලයි ආපහු කැලෑවට යන්න පිටත් වුණා.
නරි රාල නම් ටිකක් බයෙන් තමයි ගියේ. කැලෑ සීමාවෙදි නරි රාල එකපාරටම නතර වුණා.

“යාළුවේ, ඇයි ඔයා මෙතන නතර වුණේ ? දැන් රෑ වෙන්නත් ළඟයි. ඒ නිසා අපි ඉක්මන් කරලා අපේ ගෙදර යමු.” හා හාමි කිව්වා.

“අනේ යාළුවේ, මට නම් දැන් බයයි වගේ . අලුත් කැලෑවෙ අලුත් යාළුවෝ කොහොම අය ද දන්නේ නෑනේ? එයාල මට කැමති වෙයිද?” නරි රාල ඇහුවා.

“අනේ යාළුවේ, ඔයා කිසි දේකට බයවෙන්න එපා. එයාලා හැමෝම හරිම හොඳ කට්ටිය. එයාලා කවදාවත් ඔයාව එළවන්නේ නම් නෑ. ඒ නිසා බය නැතුව මාත් එක්ක යමු.” හා හාමි උත්තර දුන්නා.

මේ දෙන්නා ආපහු යන්න පිටත් වුණා. මුලින්ම වලස් වෙද රාල ගාවට ගිහිල්ලා එයාලා හොයාගත්තු බෙහෙත් පැළෑටි ටික වෙද රාලට දුන්නා. එයාට හරිම සතුටුයි. වෙද රාල මේ දෙන්නටම ස්තුති කළා.
ඒ වෙලාවේ වෙදගෙදර හිටපු අනෙක් සතුන් හැමෝම නරි රාලවයි හා හාමිවයි වට කරගත්තා.

‘කවුද කවුද හා හා හාමි මේ අලුත් යාළුවා? අපටත් අඳුන්නල දෙන්නකෝ” මුව රාල ඇහුවා.

“මේ තමයි නරි රාල. මට මෙයාව මුණගැහුණේ බෙහෙත් පැළෑටි හොයන්න යන අතරමඟදි. එයත් හරි ආසාවෙන් ඉන්නේ අපිත් එක්ක මේ කැලෑවට වෙලා ජීවත් වෙන්න. ඉතින් මම එයාව එක්කරගෙන ආවා.” හා හාමි උත්තර දුන්නා.

වෙද ගෙදර හිටපු සත්තු හැමෝම මේ කතාව අහලා පුදුම වුණා.

“මොකක්ද කිව්වේ ? මේ නරි රාලව ඔයා මෙහෙට එක්කරගෙන ආවා? එයා දැන් එතකොට දිගටම අපිත් එක්ක ඉන්නද හදන්නේ?” එළු හාමි ඇහුවා.

“ඔව් ඔව් යාළුවනේ, එයා අද ඉඳලා අපිත් එක්ක මගේ ගෙදර තමයි ඉන්නේ. අපි හැමෝම එයාවත් අපේ යාළුවෙක් විදියට පිළිගනිමු” හා හාමි උත්තර දුන්නා.

“මොකක්ද කිව්වේ? ඔයා කොහොමද එහෙම එකපාරටම තීරණ ගන්නෙ? මේ කැලෑවේ තීරණ ගන්න රජතුමා මමයි. ඔයාට බෑ එහෙම හිතුණු හිතුණු වෙලාවට හිතුණු හිතුණු අයව මේ කැලෑවට එක්කරගෙන එන්න. අනික මේ නරි හාමිලා කියලා කියන්නේ හරිම කපටි ජාතියක්. අපි කොහොමද එයාව විශ්වාස කරන්නේ. මට බෑ ඔයාලා හින්දා මගේ අනෙක් සත්තුන්ව අමාරුවේ දාන්න. ඒ නිසා ඔයාගේ මේ යාළුවට ආපු කැලෑවකට ආපහු යන්න කියන්න.” මේ කතාව අහගෙන හිටපු සිංහ රාල කේන්තියෙන් කිව්වා.

“අනේ එහෙම කරන්න එපා රජතුමනි, නරි රාලලා කපටියි තමයි. විශ්වාස කරන්න බෑ තමයි. ඒ වුණාට මේ නරි රාල මට අද දවසෙම වෙද රාලාගේ බෙහෙත් හොයන්නත් ගොඩාක් උදව් කළා. මට හිතෙන්නේ එයා ගොඩාක් හොඳ කෙනෙක්. ඒ නිසා අපි එයාට එක අවස්ථාවක් දීලා බලමුකෝ ” හා හාමි බැගෑපත් වුණා.

“මේ මේ ඔයාට එකපාරක් සිංහ රාල කියපු කතාව ඇහුණ නේද? ඔයාට බෑ එහෙම හිතුමනාපෙට තීරණ ගන්න. ඒ නිසා ඔයා සිංහරාල කියන දේ අහනව නම් හොඳයි.” ගව රාල කිව්වා.

මේ කතාවට ඇහුම්කන් දීපු නරි රාලට ගොඩාක් දුක හිතුණා. එයා ඇත්තටම හොඳ කෙනෙක්. ඒ නිසා එයා මෙහෙම කිව්වා.

“අනේ යාළුවනේ මං හින්දා ඔයාලා කරදර වෙන්න ඕනෙ නෑ. ඔයාලා මේ හිටියා වගේ සතුටින් සමගියෙන් සහයෝගයෙන් ඉන්න. මම ආපහු මං හිටපු කැලෑවටම යන්නම්. හා හාමි ඔයාට ගොඩක් ස්තුතියි මාව හොඳ යාළුවෙක් විදිහට පිළිගත්තට. මම ඉන්නේ එහා පැත්තෙ කැලෑවේ. ඔයාලා කාට හරි උදව්වක් ඕන වුණොත් ඒ කැලෑවට එන්න.” එහෙම කියපු නරි රාල දුකෙන් බිම බලාගෙන ආපහු යන්න පිටත් වුණා.

මේ දිහා බලාගෙන හිටපු වෙද රාල ඉස්සරහට ආවා.

“නරි රාල ටිකක් ඔහොම නතර වෙන්න. මට හිතෙන්නේ ඔයා ගොඩක් හොඳ කෙනෙක්. අනෙක් අය කරපු වැරැදිවලට ඔයාට දඬුවම් දෙන්න අපි සූදානම් නෑ. ඔයාටත් පුළුවන් අද ඉඳලා අපිත් එක්ක මේ කැලෑවේ එකට ජීවත් වෙන්න. මේ හැමෝම අද ඉඳලා ඔයාගේත් හොඳ යාළුවෝ.” එහෙම කියපු වෙද රාල වෙද ගෙදර හිටපු අනෙක් සතුන් දිහාට හැරුණා.

“හැමෝම මේ කතාව හොඳට මතක තියාගන්න. මේ නරි රාල තවම අපට කපටි කමක්වත් වංචාවක්වත් කළේ නැහැ. ඉතින් ඒ නිසා කොහොමද අපි කියන්නේ එයා කපටියි කියලා. එයාගේ පරම්පරාවේ අනිත් අය වැරැදි කළා කියලා එයත් වැරැදි කරනවා කියලා අපි එයාව ප්‍රතික්ෂේප කරන එක හොඳ ගුණාංගයක් නෙවෙයි. ඒ නිසා අපි හැමෝම එයාට අපිත් එක්ක ඉන්න ඉඩ දෙමු. කොච්චර නරක අය අතර වුණත් හොඳ ගතිගුණ තියෙන යහපත් අය ඉන්න පුළුවන් කියලා අපි හැමෝම මතක තියාගනිමු.” වෙද රාල අවවාද කළා.

ඒ කතාව පිළිගත් කැලේ යාළුවෝ හැමෝම නරි රාලව බොහොම ආදරයෙන් එයාලගේ කැලෑවට පිළිගත්තා. එයාලා හැමෝම හරිම සතුටින් එකට ජීවත් වුණා. කවදාවත් නරි රාල කාටවත් කරදරයක් හිංසාවක් වංචාවක් කළේ නැහැ. අනෙක් සත්තු එක්ක සහයෝගයෙන් සතුටින් ජීවත් වුණා. හැමෝටම උදව් කළා. හැමෝම නරි රාලට ගොඩක් ආදරය කළා. එයාව හොඳ යාළුවෙක් විදිහට පිළිගත්තා.

මෙතුලි උමල්ජා


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department