යකඩ ගැහැනිය හෙවත් මාග්‍රට් තැචර් 1925 වසරේ ඔක්තෝබර් මස 13 වැනිදා බ්‍රිතාන්‍යයේ ලින්කොල්න්ෂර් ප්‍රාන්තයේ ග්‍රැන්තම්හි උපත ලැබුවා ය. ඇයගේ මුල් නම වූයේ මාග්‍රට් හිල්ඩා ය.
පියා ඇල්ෆ්‍රඩ් රොබර්ට්ස් වූ අතර, මව බියට්‍රිස් එතල් වූවා ය. පවුලේ බාලයා වූ මාග්‍රට්හට සිටියේ මියුරියෙල් රොබර්ට්ස් නම් සහෝදරියකි. මාග්‍රට් කුඩා කාලයේදී ජීවත් වූයේ ග්‍රැන්තම්වල ය. ඇගේ පියා වෙළෙඳසැල් හිමිකරුවකු වූ අතර, ආගම දහමට ඛෙහෙවින් ලැදි පුද්ගලයෙක් වූයේ ය. මේ නිසාම මාග්‍රට් හා සොහොයුරිය වැඩුණේ පියාගේ දැඩි නීති රීති මධ්‍යයේ ය. දේශපාලන කටයුතුවලට ද දැඩි වුවමනාවකින් සහභාගි වූ ඔහු වරක් ග්‍රැන්තම්හි නගරාධිපති ලෙස ද තේරී පත් වූයේ ය.
හන්තින්ග්ටවර් ප්‍රාථමික පාසලෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ මාග්‍රට් එහිදී දක්වන දක්ෂතා හේතුවෙන් ශිෂ්‍යත්වයක් හිමි කරගැනීමට සමත් වූවා ය. ද්විතියීක අධ්‍යාපනය කෙස්ටෙවන් හා ග්‍රැන්තම් කාන්තා පාසලින් ලබන ඈ කැපවීමෙන් වැඩ කරන උත්සාහවන්ත ශිෂ්‍යාවක ලෙස ගුරුවරුන්ගේ සිත් දිනාගත් අතර, ප්‍රධාන ශිෂ්‍ය නායිකා ධුරය ද හෙබෙවූවා ය. 1947දී ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් ඈ පිටවනුයේ රසායන විද්‍යාව සඳහා දෙවැනි පන්තියේ ගෞරව සාමාර්ථයක් සහිතව උපාධිය ලබා ගනිමිනි. පසුව එසෙක්ස් ප්‍රාන්තයට සංක්‍රමණය වූ මාග්‍රට්, බී.එක්ස් නම් සමාගමක පර්යේෂකවරියක් ලෙස සේවය කළා ය.
දේශපාලනය කෙරෙහි එතරම් ඇල්මක් මාග්‍රට්හට නොවුණත් ඇයගේ එඩිතර කතා විලාසය හා පෞරුෂය නිසාම ඇය සුදුසු වන්නේ දේශපාලනයටම බව ඇයගේ මිතුරන්ගේ අදහස විය. මිතුරකුගේ මාර්ගයෙන් ඇයට කෙන්ට් ප්‍රාන්තයේ ඩාර්ෆෝර්ඩ්හි කොන්සර්වේටිව් පක්ෂ අපේක්ෂිකාව ලෙස ඉදිරිපත් වීමට ආරාධනාවක් ලැබුණා ය. පක්ෂයේ ඉහළ බලධරයන් ඇයගේ හැකියාවන් ගැන සැක පළ කළ ද ඔවුන්ගේ සියලූ සැක දුරුකර, තමන්ට දිගු දේශපාලන ගමනක් යෑමට හැකියාව තිඛෙන බව ඔවුන්ට පසක් කිරීමට ඇය සමත් වූවා ය.
1958 වසරේදී පැවැත්වුණු මහ මැතිවරණයෙන් ඇය කොන්සර්වේටිව් පක්ෂයේ පාර්ලිමේන්තු අසුනක් හිමි කරගැනීමට සමත්වන්නීය. ඇයගේ ප්‍රථම ඇමැති ධුරය වූයේ විශ්‍රාම වැටුප් ලබන කනිෂ්ඨ ඇමතිවරියයි. 1964 වර්ෂයේ සිට 1970 වර්ෂය අතර කාලයේ විවිධ ඇමැති ධුර රාශියක් ද දැරූ අතර, කැබිනට් මණ්ඩලයේ සාමාජිකත්වය ද ලැබුවා ය. පක්ෂයේ ඇතැම් තීරණ හා ආකල්ප ඇයගේ දෝෂදර්ශනයට ලක්වූ අවස්ථා එමට විය. අධ්‍යාපන ලේකම්වරිය ලෙස ඇය පාසල්වල අනවශ්‍ය වියදම් කපා හැරීමේ වැඩපිළිවෙළක් ගෙන ගියා ය. ඉගෙනීම් කටයුතුවලට මුල් තැන දිය යුතු යැයි ඇයගේ මතය විය. උතුරු අයර්ලන්තයේ අවි ගත් කණ්ඩායම් අතර වූ ගැටුම්වලට නැවතුමක් තැබීමට මාග්‍රට් තැචර් කටයුතු කරමින් සිටි නිසා ඇයගේ ජීවිතයට තර්ජන එල්ල වූ අවස්ථා බොහෝ විය. 1983 වසරේ පැවැති මහ මැතිවරණයෙන් කොන්සර්වේටිව් පක්ෂයට හිමිවූයේ විශිෂ්ට ජයකි. මාග්‍රට් තැචර් දෙවැනි වරට ද අගමැතිනිය ලෙස පත්වූවා ය.
රජය විසින් ගත් තීරණ බොහෝමයක් පෙර මෙන් පල දැරුවේ නැත. විවිධ බදු වර්ග හඳුන්වාදීමෙන් රටේ ජනතාවගේ අප්‍රසාදය ඇති විය. එමෙන්ම ඇය ගත් ඇතැම් තීරණ නිසා තමන්ට ළඟින්ම සිටි දේශපාලන මිතුරනුත් අහිමිවීමත් සිදු විය. ඒ නිසා තැචර්ගේ ජනප්‍රියත්වය ශීඝ්‍රයෙන් පහත බසිමින් තිබුණි. මේ අවධියේ රටවැසියන් අතර රජය අප්‍රසාදයට ලක් විය. මේ අතර පක්ෂයෙන්ම මතුවූ යෝජනාවකට අනුව 1990 වසරේදී ඇය පක්ෂ නායකත්වයෙන් ද අගමැති ධුරයෙන් ද ඉල්ලා අස්වූවා ය.
1992 වසරේදී ක්‍රියාකාරී දේශපාලනයෙන් සමුගැනීමෙන් පසු ඇය සමාජසේවා කටයුතුවලට ඍජුව සම්බන්ධ වී ක්‍රියා කළා ය. පාර්ලිමේන්තුවෙන් ඉවත් වීමෙන් පසු තමන්ට කැමැති දෙයක් කීමේ හැකියාව ලැබී ඇතැයි ඇය ප්‍රකාශ කළා ය. තෙවරක්ම බ්‍රිතාන්‍යයේ අගමැතිවරිය ලෙස පත්වීමත් ඇය ධුරයේ සිටි කාලයේ කළ දේවල් නිසා ඇයට ලොව පුරාම තිබුණේ ඉහළ පිළිගැනීමකි. ආදරණීය සැමියා වූ ඩෙනිස් තැචර් 2003 වසරේදී හෘදයාබාධයක් සෑදී මියයෑමෙන් පසු ඇය දවස ගෙවූයේ සිය පැරැණි දේශපාලන මිතුරන් සමඟ ය. ආඝාත තත්ත්වය ඇති වන්නට පටන් ගැනීම නිසා වෛද්‍යවරු නිර්දේශ කළ පරිදි කතා පැවැත්වීම ඇය නතර කළා ය. බ්‍රිතාන්‍ය දේශපාලනයේ නොමැකෙන චරිතයක් වූ මාග්‍රට් තැචර් මියයන විටදී ඇයගේ වයස අවුරුදු 87කි. වින්සන්ට් චර්චිල්ගෙන් පසු පූර්ණ රාජ්‍යය ගෞරව සහිතව බ්‍රිතාන්‍යය හිටපු අගමැති මාග්‍රට් තැචර්ගේ අවමඟුල ලන්ඩනයේදී සිදු විය. ලොව පුරා රටවල් 120ක පමණ නියෝජිතයෝ මේ රාජකීය අවමඟුලට සහභාගි වූහ.
වන්දනා අබේසේකර