Home » Blog » තාක්ෂණය අවබෝධයෙන් පරිහරණය කරන්න

තාක්ෂණය අවබෝධයෙන් පරිහරණය කරන්න

හම්බන්තොට පලන්තුඩුව කනිෂ්ඨ විද්‍යාලයේ  විදුහල්පතිනිය - නාමලී මේධාවි මහත්මිය

by thanushika
0 comments

වර්තමානයේ දරුවන් හරිම උනන්දුයි. ඒ වගේම හරිම දක්ෂයි. ඒත් ඒ අයගේ ජීවිතවලට තාක්ෂණය බාධාවක් වී තිබේ. තාක්ෂණය කියන්නේ වර්තමානයට නැතිවම බැරි විෂයයක්. එනිසා දරුවන් ඒ සඳහා යොමු කිරීමේදී කල්පනාකාරී විය යුතුයි. මෙහිදී මව්පියන් අවධානයෙන් සහ අවබෝධයෙන් සිටීම වැදගත් වේ. මෙහිදී ඇති වන ගැටලු පිළිබඳ සහ නගරයෙන් බැහැර පාසලක් එම ගැටලුවලට මුහුණ දෙන්නේ කෙසේද යන්න පිළිබඳ අද ඔබට තොරතුරු ඉදිරිපත් කරන්නේ හම්බන්තොට පලන්තුඩුව කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිනිය නාමලී මේධාවි මහත්මියයි.

” අපේ පාසල නගරයෙන් ඈතට වෙන්න තමයි පිහිටා තිබෙන්නේ. පාසලට ළමයින්ට පැමිණීමට ටිකක් අපහසුයි. ඒත් අපේ පාසල අවට තිබෙන සුන්දර වටපිටාව නම් ඉගෙන ගන්න දුවලා පුතාලාට ගොඩක් වටිනවා. නිදහස් මනසකින් යුතුව අධ්‍යාපනය හදාරන්න පුළුවන්. ඒක සිතට ලොකු සහනයක්. මම හිතන්නේ දරුවකුට අධ්‍යාපනය හදාරන්න නිදහස් මනසක් අවශ්‍යයි. ඒක ලබා දෙන්නේ පාසල පිහිටා තිබෙන වටා පිටාවෙන්. මේ වටාපිටාව අපේ පාසලට හොඳීන්ම තිබෙනවා කියලයි මම හිතන්නේ.”

” අපේ පාසල ආරම්භ වූයේ 1896 වර්ෂයේ ජුලි 23 වැනිදායි. ඒ කාලයේදී අවට පාසල් තිබුණේ නැහැ. ඒ නිසා ගමේ සිටිය බොහෝ දරුවන් ආවේ අපේ පාසලටයි. ඒත් දැන් අවට පාසල් බොහෝමයක් තිබෙනවා. එම නිසා ඒ පාසල්වලටත් අධ්‍යාපනය ලැබීමට දරුවන් යනවා. ඒ නිසා තමයි අපේ පාසලට එන දරුවන් අඩු වෙලා තිබෙන්නේ. ඒ පාසල් පිහිටා තිබෙන්නෙත් නගරය අවට. ඒ කියන්නේ අපේ පාසල හුදෙකලා පාසලක් ලෙස හඳුන්වන්න පුළුවන්.”

” අපේ පාසලට මෙහෙවරක් තිබෙනවා. එහි සඳහන් වෙන්නේ මේ ආකාරයටයි. අප පලන්තුඩුව ගැමි ජීවනාලියේ ආර්ථික හා සමාජීය සමෘද්ධිමත් බව ඇති කිරීමට හැකි නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අනුකූල ජාතික අරමුණුවලට ළඟා විය හැකි අනාගත අභියෝගයන්ට මුහුණ දිය හැකි ආගමික හා සංස්කෘතික දායාදයන්ගෙන් පිරුණු දරු පිරිසක් බිහි කිරීම අපගේ මෙහෙවරයි. මේ මෙහෙවර මුදුන්පත් කරගැනීමට අප දරුවන් මෙහෙය වනවා. ඒ වගේම අපේ පාසලට දැක්මක් තිබෙනවා. ඒ තමයි නැණ ගුණ සපිරි දරු පිරිසක් බිහි කිරීම. මේ දැක්ම ඉදිරියටම ගෙන යෑම අපේ අපේක්ෂාවයි.”

” අපේ පාසලේ දරුවන් සෞන්දර්ය විෂයන්වලට හුඟක් කැමැතියි. ඒ වගේම ක්‍රීඩාවලටත් ගොඩක් කැමැතියි. මේ අංශවලින් ඉදිරියට යන්න අපේ පාසලේ දරුවන් කැමැතියි. අධ්‍යාපනයෙන් පිරිපුන් දරුවන් මෙන්ම නිරෝගීමත් බවින් උසස් දරුවන් පිරිසක් ද වර්ධනය කිරීම අපේ අපේක්ෂාවයි. ඒ වගේම මම තවත් දෙයක් කියන්න කැමැතියි. තාක්ෂණය දරුවන්ට අවශ්‍යයි. එහෙත් පමණ ඉක්මවා තාක්ෂණයට දරුවන් ඇබ්බැහිවීමට ඉඩ දීම එතරම් හොඳ දෙයක් නෙවෙයි. ඒත් අපට තාක්ෂණය නැතුවත් බැහැ. තාක්ෂණය නැතුව අපට ඉදිරියට යන්න බැහැ. තාක්ෂණය කියන්නේ වර්තමානයට අවශ්‍ය දෙයක්. එහෙම වුණා කියලා අපට සාහිත්‍යය, පොත්පත් අමතක කරන්න බැහැ. දරුවන්ට පොතපත කියවන්න අප උනන්දු කරවන්න ඕනේ. ඒ සඳහා මඟ පෙන්වීම අපේ යුතුකමක්.”

” තාක්ෂණය දරුවන්ට එපා කියලා මම කියන්නේ නැහැ. ඒක වර්තමානයට අවශ්‍යයි. තාක්ෂණය නොමැතිව කිසිම දෙයක් කරන්න බැහැ. ඒත් හැම දෙයකම සීමාවක් තිබෙනවා. ඒ සීමා දැනගෙන තමයි අපි කටයුතු කරන්න ඕනේ. එහෙම කළේ නැතිනම් දරුවන් ඒවාට ඇබ්බැහි වෙනවා. ඒක හොඳ දෙයක් නෙවෙයි. තාක්ෂණය දැන ගන්නවා මෙන්ම දරුවන්ගේ නිර්මාණශීලිත්වයත් වැඩි දියුණු කරන්න ඕනේ. මේ සෑම දෙයක්ම සමබර කිරීම ගුරුවරුන්ගේ යුතුකමක්.”

”2000 වර්ෂයේදී අපේ පාසලේ දරුවන් අඩු වෙන්න පටන් ගත්තා. ඒකට හේතුව අපේ පාසලේ අ.පො.ස. සාමාන්‍ය පෙළ දරුවන්ගේ පන්තිය නැති කිරීමයි. ඒ නිසා දරුවන් වෙනත් පාසල්වලට යන්න පටන් ගත්තා. ඊට පස්සේ 2001 වර්ෂයේදී මම මෙම පාසලට ආවා. ඊට පස්සේ මම අ.පො.ස. සාමාන්‍ය පෙළ පන්තිය නැවත පටන් ගත්තා. ඊට පස්සේ පාසලෙන් ඉවත් වෙලා ගිය ළමයිනුත් නැවත පාසලට ආවා. ඒක මට ලොකු සතුටක්. අපේ පාසල ගම ඇතුළේ පිහිටා තිබීමත්, ටික දුරක් ගෙවා නගරයේ සිට අපේ පාසලට දරුවන්ට ඒමට සිදුවීමත් නිසා අපේ පාසලේ දරුවන් අඩු වෙන්න එක හේතුවක්. මේ සෑම බාධකයක්ම ජය ගන්න අපට හැකි වෙලා තිබෙනවා. ඒක ලොකු දෙයක්.”

බාධක ජය ගෙන ඉදිරියට යෑම ලොකු ජයග්‍රහණයක්. මේ පාසලට ඔවුන් බලාපොරොත්තු වෙන ඉලක්කයට යෑමට හැකි වේවා යැයි අපි මිහිර වෙතින් සුබ පතමු.

රූපාන්ති බුලත්සිංහල

ඡායාරූප – පාසලේ ඡායාරූප සංගමය

 


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department