Home » Blog » චීනයේ නව අවුරුදු උත්සවය

චීනයේ නව අවුරුදු උත්සවය

by thanushika
0 comments

ශ්‍රී ලාංකික අප ඇතුළු ග්‍රෙගෝරියානු දින දර්ශනය අනුගමනය කරන ලොව බොහෝ රටවලට ජනවාරි 1 වැනි දින අලුත් අවුරුදු දිනය ලෙස යෙදුණ ද චීන චන්ද්‍ර දින දර්ශනය අනුව චීනයට අලුත් අවුරුද්ද උදා වන්නේ ජනවාරි අග හෝ පෙබරවාරි මුල් සතියේ ය. චීන අලුත් අවුරුදු උත්සවය දින 15ක් පුරා පවත්වයි. ඒ අනුව මෙම වසරේ අලුත් අවුරුද්ද සමරනු ලබන්නේ ජනවාරි 29 සිට පෙබරවාරි 12 දින දක්වායි.

චීන අලුත් අවුරුද්ද චීනයේ වෙසෙන චීන ජාතිකයන් පමණක් නොව බොහෝ ආසියාතික රටවල මෙන්ම ලොව පුරා වෙසෙන විවිධ චීන ප්‍රජාවන් විසින් ද සමරනු ලබයි. චීන අලුත් අවුරුද්ද චීන සංස්කෘතියේ වැදගත්ම නිවාඩු දිනයයි.

වසර 3500කට වැඩි කාලයක සිට චීනයේ අලුත් අවුරුද්ද සමරනු ලබයි. එය මුලින් වසන්තයේ ආරම්භය සැමරීම සඳහා උත්සව දිනයක් වූ අතර, හොඳ ගොවිතැනක් සහ අස්වැන්නක් සඳහා ප්‍රාර්ථනා කරමින් පවත්වන ලදි.

චීන අලුත් අවුරුද්ද වටා බොහෝ කතා සහ මිථ්‍යාවන් පවතින අතර, වඩාත් ජනප්‍රිය කතාව වන්නේ මිථ්‍යා සත්ත්වයකු වන නියාන් ගැන කතාව ය. Nianට සිංහයකුගේ හිසක් ඇති බවත් මුහුද යට ජීවත් වන බවත් විශ්වාස කරන ලදි. Nian වසරේ අවසාන දිනයේ වෙරළට පැමිණ ගවයන් සහ බෝග අනුභවකර මිනිසුන් භීතියට පත් කරන බවත් විශ්වාසය විය. ඝෝෂාකාරී ශබ්ද සහ රතු පැහැය නියාන් බිය ගන්වන බව මහලු මිනිසකු විසින් සොයා ගත් බව විශ්වාස කෙරේ. එවිට නියාන් බිය ගැන්වීමට එදිනට ගම්වැසියන් උණ බම්බු, කඩදාසි සහ රෙදිවලින් සාදන ලද ඇඳුමකින් සැරසී ඇත. (සාමාන්‍යයෙන් එහි ඇතුළත දෙදෙනකු සිටින ලෙස) ඉන්පසු ඔවුහු වටේට නටමින් විශාල බෙරය ගසමින් රතිඤ්ඤා පත්තු කළහ. අද දක්වා පැවැත්වෙන චීන අලුත් අවුරුදු උත්සවයේදී ද සිංහ නැටුම් සහ මකර නැටුම් මෙන්ම රතිඤ්ඤා සහ රතු කඩදාසි පහන් දැල්වීම සිදු කරනු ලැබේ. චීන අලුත් අවුරුද්දේ වැදගත්ම කොටස නව වසර දා පවුලේ සාමාජිකයන් සියලුදෙනා එකතු වීම ය. චීන අලුත් අවුරුද්ද බොහෝ විට වසන්ත උත්සවය ලෙස හැඳීන්වේ.

Gong Xi Fa Cai  යනු චීන අලුත් අවුරුද්දේදී චීන ජාතිකයන් භාවිත කරන පොදු කියමනකි. එහි තේරුම “ඔබට සමෘද්ධිමත් නව වසරක් වේවා! ” යන්නයි.

1990 වසරේ සිට චීනයේ ජනතාවට “ස්වර්ණමය සතිය” (golden week)  ලෙසින් හැඳීන්වෙන අලුත් අවුරුද්ද සැමරීම සඳහා දින හතක නිවාඩු ලබා දෙනු ලැබේ.

චීන අලුත් අවුරුදු උත්සවයේ අවසාන දිනය පහන් කූඩු උත්සවයයි. වීදිවල රතු පැහැති වර්ණවත් පහන් කූඩු එල්ලා තබයි. එම පහන් කූඩුවල ප්‍රහේලිකා ලියා තිබේ.

රතිඤ්ඤා දැල්වීම සහ ගිනිකෙළි සන්දර්ශන පැවැත්වීම මඟින් ඕනෑම නපුරු ආත්මයක් බිය ගැන්වෙන බව චීන ජාතිකයෝ විශ්වාස කරති.

චීන අලුත් අවුරුදු රාශි චක්‍රය

චීන අලුත් අවුරුද්ද චන්ද්‍ර චක්‍රය මත පදනම් වූ චන්ද්‍ර දින දර්ශනය මත පදනම් වේ. චීන රාශි චක්‍රය සතුන් දොළොස් දෙනකුගෙන් යුක්ත ය.

මීයා, ගවයා, කොටියා, හාවා, මකරා, සර්පයා, අශ්වයා, එළුවා, වඳුරා, කුකුළා, බල්ලා සහ ඌරා එම සතුන් 12 දෙනා ය.

මෙම සතුන් දොළොස්දෙනා එක් එක් වසරට වෙන්කර තිබේ. ඒ අනුව මෙම වසරේ සත්ත්වයා වන්නේ සර්පයා ය. චීන ජාතිකයන්ගේ ගතිගුණ සහ පෞරුෂ ලක්ෂණවලට ඔවුන් උපන් එම වර්ෂයට පවරා ඇති සත්ත්වයාගේ පෞරුෂ ලක්ෂණ බලපාන බව විශ්වාස කරයි.

චීන අලුත් අවුරුදු සම්ප්‍රදායන්

චීන අලුත් අවුරුදු උත්සවය වටා බොහෝ චීන සම්ප්‍රදායන් නිර්මාණය වී ඇත. එයින් කිහිපයක් පහත දැක් වේ.

සිංහ නැටුම් සහ මකර නැටුම්

චීන අලුත් අවුරුද්ද පුරාම සිංහ සහ මකර නැටුම් නැරැඹීම සාමාන්‍ය දෙයක් වන අතර, එය සාම්ප්‍රදායික උත්සවවල විශාල කොටසකි. මකරා වාසනාව, සමෘද්ධිය සහ වාසනාව සංකේවත් කරයි.

රතු වර්ණය වාසනාවන්ත ලෙස සලකනු ලබයි. නිවෙස් බොහෝ විට රතු පැහැති කඩදාසි පහන් කූඩු සහ රතු සැරසිලිවලින් සරසයි.

චීන අලුත් අවුරුදු රතු ලියුම් කවරය

රතු ලියුම් කවරයෙහි දමා තෑගි ලබා දීම මඟින් සමෘද්ධිය සහ සතුට සංකේතවත් කරයි. සෑම චීන අලුත් අවුරුද්දකම පවුලේ සාමාජිකයන් වෙත රතු ලියුම් කවරවල දමා කාසි තෑගි ලබා දෙයි.

චීන අලුත් අවුරුදු ආහාර

චීන අලුත් අවුරුද්ද යනු පවුල් එකට එකතු කිරීමයි. චීන පවුල් සාමාන්‍යයෙන් අලුත් අවුරුදු රාත්‍රියේ නැවත එක්වීමේ රාත්‍රී භෝජන සංග්‍රහයක් අනුභව කරති. ඔවුහු වාසනාව, සමෘද්ධිය සහ නව වසර පිළිගැනීම සඳහා නිශ්චිත ආහාර වර්ග කිහිපයක් අනුභව කරති. චීන අලුත් අවුරුද්දේ භාවිත කරන වාසනාවන්ත ආහාර කිහිපයක් පහත දැක් වේ.

Nian Gao (පැණිරස ඇලෙනසුලු සහල් කේක්)

මේවා “අලුත් අවුරුදු කේක්” හෝ “අවුරුදු කේක්” ලෙස ද හඳුන්වයි. “nian” යන වචනය “වසර” යන අර්ථය දෙන අතර, එය සහල් පිටිවලින් සැකසූ පැණිරස හා රසවත් කේක් වර්ගයකි.

අතිරික්ත මාළු

“රරී” යන වචනය චීන භාෂාවෙන් මාළු යන අදහස දෙන අතර, එම උච්චාරණයම “ඉතිරි” හෝ “අතිරික්ත” යන අදහසට ද භාවිත කරයි. මේ නිසා නව වසරේ මාළු අනුභව කිරීමෙන් නව වසරේ මුදල් ඉතුරු කර ගත හැකි බවත් වාසනාව ගෙන දෙන බවත් විශ්වාස කරයි.

චීන ඩම්ප්ලිං

පුරාණ කාලයේ සිට චීනයේ භාවිත කළ කාසියක් වන “ඉන්ගෝට්” කාසිවල හැඩයට ඩම්ප්ලිං සමාන වන අතර, චීන ජාතිකයන් විශ්වාස කරන්නේ එම හැඩැති ඩම්ප්ලිං අනුභවයෙන් නව වසරේ ධනය ගෙන එන බවයි. චීන ජනප්‍රවාදයට අනුව, ඔබ වැඩිපුර ඩම්ප්ලිං අනුභව කරන තරමට, නව වසරේ ඔබට වැඩි මුදලක් ලැබෙනු ඇත යනුවෙන් සලකයි.

ස්ප්‍රින් රෝල්ස්

බොහෝ අය විශ්වාස කරන්නේ ස්ප්‍රින් රෝල්ස්වල රන් වර්ණය නිසා ධනය ගෙන එන බවයි. මේවා භාවිත කරන්නේ නැඟෙනහිර චීනය, ෂැංහයි සහ හොංකොංහි ජනයා ය.

දිගුකාලීන නූඩ්ල්ස්

සාමාන්‍යයෙන් ඉතා දිගු තුනී නූඩ්ල්ස් මේ සඳහා යොදා ගනියි. බොහෝ අය විශ්වාස කරන්නේ මේවා සන්තෝෂය සහ දීර්ඝායුෂ ගෙන දෙන බවයි.

දොඩම් සහ ටැංජරීන්

චීන අලුත් අවුරුද්ද සඳහා යොදා ගන්නා පලතුරු වන දොඩම් සහ ටැංජරීන් වාසනාව සහ සමෘද්ධිය ගෙන දෙන පලතුරු ලෙස සලකයි. ටැංජරීන් සඳහා යෙදෙන චීන වචනය “චෙං” වන අතර, එය වාසනාව යන අර්ථය දෙන වචනයට සමාන වේ. චීන ජාතිකයෝ බොහෝ විට ඒවා තෑගි ලෙස ලබාදී රාත්‍රී ආහාරය අවසානයේ ඒවා අනුභව කරති.

ටැන්ග්යුවාන් (පැණි බත් බෝල/මිහිරි සහල් බෝල)

Tangyuan යනු ඇලෙනසුලු සහල් බෝල වේ. චීන ජාතිකයෝ උත්සවයේ අවසාන දිනයේදී, විශේෂයෙන් පහන් කූඩු උත්සවයේදී මෙම පැණිරස සංග්‍රහ පිරිනමති. මේවා අනුභවයෙන් පවුලේ එකමුතුභාවය සහ වාසනාව බලාපොරොත්තු වේ.

හර්ෂණී ගමගේ

 


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department