Home » Blog » ක්වීන්ස් හෝටලය බවට පත් වූ මහනුවර දුල්ලෑව වලව්ව

ක්වීන්ස් හෝටලය බවට පත් වූ මහනුවර දුල්ලෑව වලව්ව

by thanushika
0 comments

ආදරණීය දුවේ, පුතේ, අද දවසේ අපි මහනුවර නගරයේ නුවර වැවට මුහුණලා පිහිටි බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉදිකරන ලද වර්තමානයේ ක්වීන්ස් හෝටලය වශයෙන් හඳුන්වන මහනුවර දුල්ලෑවේ අදිකාරම්ගේ වලව්ව පිළිබඳ තොරතුරු සොයා බලමු.

මහනුවරදී 1815 මාර්තු දෙවැනි අත්සන් කරන ලද ගිවිසුම් ප්‍රකාරව උඩරට රාජ්‍ය ඉංග්‍රීසින්ගේ පාලන බලයට මුළුමනින්ම යටත් විය. එම ගිවිසුමට අත්සන් තැබූ වලපනේ දිසාව භාර අදිකාරම්වරයා වූයේ දුල්ලෑවේ දිසාවයි. ඔහුගේ මහවලව්ව පිහිටා තිබුණේ මාතලේ දුල්ලෑව ගමේ ය. එය මැද මිදුල් හතකින් සමන්විත අක්කර භාගයක් පමණ භූමියක පිහිටා තිබූ විශාල ගොඩනැඟිලි සංකීර්ණයකි.

ඔහු පාලනයේ පහසුව සඳහා අගනුවර ද වලව්වක් ඉදිකර තිබේ. වර්තමාන රැජින හෝටලය (ක්වීන්ස් හෝටලය) බවට පත්ව ඇත්තේ එම වලව්වයි. ඉංග්‍රීසින් පාලන බලය ලබා ගැනීමත් සමඟ අදිකාරම්තුමා තම ගම වූ මාතලේට ගිය බවත් වර්ෂ 1818දී මහනුවර පිහිටි ඔහුගේ වලව්ව ඉංග්‍රීසි ආණ්ඩුකාර නිල නිවෙස බවට තාවකාලිකව පත් කරන ලද බවත් ඉතිහාස ග්‍රන්ථයන්හි සඳහන් වේ. එහි වාසය කළ පළමු ඉංග්‍රීසි නිලධාරියා ජෝන් ඩොයිලි මහතා ය. එයින් අනතුරුව හමුදාවේ බැරැක්කයක් බවට පත්ව තිබූ මෙම ගොඩනැඟිල්ල පසුව යුද හමුදා රෝහලක් බවට පත්කර ඇත.

එයින් පසුව ක්‍රමයෙන් මහනුවර අවට ප්‍රදේශවලට වතු වගාව ව්‍යාප්ත වීමත් සමඟ නුවරට පැමිණෙන යුරෝපීය ජාතිකයන්ට නවාතැන් ගැනීමට ස්ථානයක් නොවූයෙන් එම ගොඩනැඟිල්ලේ කොටසක ඉංග්‍රීසි ජාතික ස්ටෙන්ස් නම් කාන්තාව විසින් භෝජනාගාරයක් හා නවාතැන්පළක් පවත්වාගෙන යන ලදි. ඒ ස්ටෙන්ස් හෝටලය නමින් ය. එයින් පසුව එය එලිසබෙත් පියාෂෝ නමින් හඳුන්වන ධනවත් කාන්තාවකට විකිණීමට සිදු විය. ඇය, එය විශාල හෝටලයක් ලෙස ඉදි කළා ය. ඇය විසින් එහි නම පියාෂෝ කොටේජ් යනුවෙන් වෙනස් කරන ලද අතර, පසුව එංගලන්තයේ වික්ටෝරියා රැජනගේ පාලනය සිහිපත් වීම සඳහා එහි නම ක්වීන්ස් හෝටලය නමින් වෙනස්කර ඇත.

ඇය විසින් එම හෝටලය වර්ෂ1895 දී කැන්ඩි හෝටල් සමූහයට විකුණා තිබූ අතර, ඔවුන් විසින් එම ගොඩනැඟිල්ල මහනුවර ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉදිකරන ලදි. මෙම ගොඩනැඟිල්ල වර්ෂ 1900 – වර්ෂ1908 කාලයේදී විශාල කොට ඉදිකරන ලද අතර මෙය කාමර අසූවකට අධික ප්‍රමාණයකින් යුක්තව විශාල හෝටලයක් වශයෙන් ප්‍රතිසංස්කරණයකර තිබේ.

ලක්නා නිරෝෂිමාලා


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department