Home » Blog » ඔවදන

ඔවදන

by thanushika
0 comments

නිවේදනයේදී නිවැරැදි බස උච්චාරණය ඉතා වැදගත්

ප්‍රවීණ නිවේදිකාවක සහ වැඩසටහන් නිෂ්පාදිකාවක වූ ඉනෝකා බොතේජු මහත්මිය

ආදරණීය දුවේ, පුතේ, සන්නිවේදනයේදී බස උච්චාරණය කිරීම ඉතා වැදගත්. ඔබ අනාගතයේදී හොඳ නිවේදකයකු වනවා නම් නිවැරැදිව බස උච්චාරණය කිරීමට හුරු විය යුතුයි. මුලින්ම තමන් උච්චාරණය කරන දේ තමන්ට පැහැදිලි විය යුතුයි. නොඑසේ නම් අසාගෙන සිටින අනෙක් අයට එය පැහැදිලි වෙනවායි සිතීම සැක සහිතයි. මේ පිළිබඳ පුංචි ඔබ දැනුම්වත් කිරීමට ඉනෝකා බොතේජු නැන්දා ඔබට ලබා දෙන උපදෙස් මොනවාදැයි අපි විමසා බලමු.

” බස කියන්නේ ඉතා වැදගත් දෙයක්. ලේඛනයේදී මෙන්ම කථනයෙදිත් භාෂාව ඉතා වැදගත් කාර්යයක් ඉටු කරනවා. නිවේදන කලාවේදි මෙය ඉතා ප්‍රබලයි. හඬ පෞරුෂත්වයකදී නිවේදකයකු වටහාගත යුතු මූලික දෙයක් තිබෙනවා. ඒ බස හැසිරවීමේදී නියමිත ස්ථානවලදී හඬ උස් පහත් කිරීමයි. වාක්‍යයක් එක දිගටම කියාගෙන යෑමේදී එයින් අදහසක් ගැනීමට නොහැකි වෙනවා. මේ නිසා අප නියමිත ස්ථානවලදී හඬ ඉහළ පහළ දැමිය යුතුයි. එසේ ඉහළ පහළ දැමීමේදී අප භාවිත කරන භාෂාව පිළිබඳ ඉතා කල්පනාකාරී විය යුතුයි. භාෂාව පිළිබඳ කල්පනා නොකර වාක්‍ය ඉදිරිපත් කිරීම නිවේදකයකුගේ දුර්වලතාවක් ලෙස සලකනවා.”

” වර්තමානයේදී පාසල්වල සන්නිවේදන කව තිබෙනවා. මේවායින් පුංචි ඔබට මුද්‍රිත මාධ්‍ය පිළිබඳ මෙන්ම ගුවන්විදුලි මාධ්‍ය, රූපවාහිනී මාධ්‍ය පිළිබඳ ද අවබෝධයක් ලබලා දෙනවා. මෙවැනි අවබෝධයක් කුඩා කාලයේදිම ලබා ගැනීම ඉතා වටිනවා. මේවා ඉගෙන ගැනීමට මාධ්‍ය පිළිබඳ දැනුම්වත් දක්ෂ ගුරුවරයකු අවශ්‍ය වෙනවා. එසේ දක්ෂ ගුරුවරයකුගෙන් ඉගෙනගැනීමට අපොහොසත් වුවහොත් දක්ෂ නිවේදකයකු වීමට නොහැකි වෙනවා. එහෙත් ඔබ දක්ෂ නිවේදකයකුගෙන් හෝ දක්ෂ නිවේදිකාවකගෙන් ඉගෙන ගතහොත් ඔබට දක්ෂ නිවේදකයකු හෝ නිවේදිකාවක වීමේ හැකියාව තිබෙනවා.”

” නිවේදිකාවක හෝ නිවේදකයකු වීමේදී අප සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් තිබෙනවා. එයින් ප්‍රධාන වශයෙන්ම මතක තබාගත යුතු කරුණ වන්නේ, විශ්වසනීය බවයි. ප්‍රවෘත්තියකදී විශ්වසනීය බවෙන් යුතුව වාක්‍යයක් ප්‍රකාශ කිරීමේදී එහි ඇති විශ්වසනීය බව ග්‍රාහකයාගේ හදවතේ රැඳෙනවා. මෙය සන්නිවේදනයේදී ඉතා වැදගත් දෙයක් ලෙස සලකනවා. ඒ වගේම නිවැරැදි තොරතුරු ඉදිරිපත් කරන්න ඕනෙ. නිවේදනයේදී නිවැරැදි තොරතුරු ඉදිරිපත් කිරීම ඉතා වැදගත් වෙනවා. ඒ වගේම නිවැරැදි තොරතුර ඉක්මනින් අසන්නා නැතහොත් ග්‍රාහකයා වෙත ඉදිරිපත් කළ යුතුයි. මේ ක්‍රමය නිසාම ග්‍රාහක කණ්ඩායම නිවේදකයා වෙත රඳවා ගැනීමට හැකි වෙනවා. අසන්නන් නැතහොත් ග්‍රාහකයන් තමන් වෙත රඳවා ගැනීමට සමත් වීමට නම් සන්නිවේදකයා දක්ෂ විය යුතුයි. නිවේදකයකුගේ දක්ෂතාව තීරණය කරන්නේ එවැනි නිර්ණායකවලින්.”

” ප්‍රවෘත්ති නිවේදකයකුත් සාමාන්‍ය වැඩසටහනක් ඉදිරිපත් කරන නිවේදකයකුත් අතර, වෙනසක් තිබෙනවා කියලා දුවලා පුතාලා දන්නවා නේද? සමහරවිට පාසල්වලත් සන්නිවේදනය උගන්වන නිසා මේ කරුණ පිළිබඳ දුවලා පුතාලාට කිසියම් අවබෝධයක් ඇති. ප්‍රවෘත්ති නිවේදකයකුට වඩා විශේෂාංග නිවේදකයකුගේ ආමන්ත්‍රණය ගොඩක් වෙනස්. ප්‍රවෘත්ති නිවේදකයකු සෑම විටම අවශ්‍ය කරුණු පමණක් නිවැරැදිව ඉදිරිපත් කරනවා. එහෙත් විශේෂාංග නිවේදකයකුගේ ඉදිරිපත් කිරීම මෙයට වඩා වෙනස්. ඔහු හෝ ඇය සෑම විටම පරිසර වර්ණනා හා පුද්ගල වර්ණනාවලින් යුතුව තමන්ගේ පණිවිඩය සමාජගත කරනවා. එතකොට තමයි ඇයට හෝ ඔහුට දක්ෂ නිවේදිකාවක හෝ නිවේදකයකු වීමට හැකියාව ලැබෙන්නේ. විශේෂාංගයක් ඉදිරිපත් කරන නිවේදකයකු සෑම විටම සාහිත්‍යය මෙන්ම විවිධ තොරතුරු පිළිබඳ දැනුම් සම්භාරයක් එකතු කරගත් අයකු විය යුතුයි. එසේ දැනුම් සම්භාරයක් එකතු කරගැනීමට නොහැකි වුවහොත් වැඩසටහන ගලා යන ලෙස නිරායාසයෙන් ඉදිරිපත් කිරීමට හැකියාව නොමැති වෙනවා. මේ නිසා නිවේදකයකු හෝ නිවේදිකාවක සෑම විටම දැනුම එකතු කරන්නකු විය යුතුයි. කෙටියෙන්ම කියනවා නම්, නිවේදකයකු තමන්ගේ වචන කෝෂය සෑම විටම වැඩි කරගන්න ඕනේ. ලස්සන වචන යොදා ගනිමින් වැඩසටහන මෙහෙය වූ විට ඒ අසන අසන්නන් පිරිස වැඩි වෙනවා. ටෙලිවිෂන් මාධ්‍යයේදීත් එහෙමයි. නිවේදිකාව හෝ නිවේදකයා තමන් වටා රොක් වෙන පිරිස වැඩි කරගැනීමට උත්සාහ කරන්න ඕනේ. මේ නිසා දුවේ, පුතේ, නිසි ලෙස නිවේදන කලාව ඉගෙනගැනීමට පුංචි ඔබත් උත්සාහ කරන්න. හැකි සෑම වෙලාවකම පොත් කියවමින් ඔබේ වචන කෝෂය වැඩි කරගැනීමට උනන්දු වෙන්න.”

රූපාන්ති බුලත්සිංහල

 


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department