රිකී ජීවත් වූයේ සැමට අවශ්‍ය සෑම දෙයක්ම තිබූ සුන්දර, අනාගතවාදී නිවෙසක ය. රිකී නිවෙසෙහි වැඩවලට එතරම් උදව් නොකළ ද, ඔහුගේ මව්පියන් ඔහුට නවතම මාදිලියේ මෙහෙකාර රොබෝ කෙනෙක් මිලදී ගත් විට රිකී බෙහෙවින් සතුටු විය. රොබෝ පැමිණි විගස වැඩ ආරම්භ කළේ ය. ඉවුම් පිහුම්, පිරිසුදු කිරීම, රෙදි මැදීම ආදී සියලු කටයතු රොබෝ කඩිසරව සිදු කළේ ය. රිකී තම නිදන කාමරයෙන් පිටව ගියේ සැබැවින්ම කාමරය ඉතා අපිළිවෙළට තබා ය. එහෙත් පසුදා උදෑසන ඔහු අවදි වන විට සියල්ල හොඳීන් පිරිසුදුව හා පිළිවෙළට තිබෙනු ඔහුට දැක ගත හැකි විය. ඒ් අලුත් රොබෝගේ හපන්කමයි.
ඇත්ත වශයෙන්ම, රොබෝ “ඉතා” පිරිසුදු විය. රොබෝ ඒ් තරමටම රිකීගේ කාමරය පිරිසුදුකර තිබිණි. දැන් රිකීට ඔහුගේ ප්‍රියතම ටී ෂර්ට් එක හෝ ඔහුගේ ප්‍රියතම සෙල්ලම් බඩුව සොයා ගැනීමට ද නොහැකි ය. ඔහු කොපමණ සෙවුව ද, ඒ්වා නැවත හමු වූයේ නැත. අනෙක් දේවල් සම්බන්ධයෙන් ද එයම සිදුවන්නට පටන් ගත්තේ ය. රිකී, දිළිසෙන මෙහෙකාර රොබෝ වෙත සැක සහිත ඇසක් යොමු කළේ ය. ඔහු රොබෝ ගැන ඔත්තු බැලීමට සැලැස්මක් සකස් කළේ ය. ඔහු නිවෙස වටා ඇවිදිමින් රොබෝ ගැන අවධානය යොමු කරන්නට පටන් ගත්තේ ය. අන්තිමේදී රොබෝ සැඟවූ සෙල්ලම් බඩුවලින් එකක් රිකී සොයා ගත්තේ ය.
ඉන් පසු ඔහු, ඔහුගේ මව්පියන් වෙත දිව ගොස් පැවසුවේ රොබෝ කැඩී ඇති බවත්,රොබෝ වැරැදි ලෙස වැඩසටහන්ගත කර ඇති බවත් ය. එය වෙනස් කරන ලෙස රිකී ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය. එහෙත් ඔහුගේ මව්පියන් ඔහුට පැවසුවේ කිසිසේත්ම එය කළ නොහැකි බවයි. ඔවුන් අලුත් මෙහෙකාර රොබෝට කැමැති වූ අතර, රොබෝගේ වැඩ ගැන ද සතුටු වූහ. එනිසා රිකීට රොබෝගේ වැරැද්දක් පිළිබඳ යම් ආකාරයක සාක්ෂියක් ලබා ගැනීමට අවශ්‍ය විය. සමහර විට රොබෝ වැරැද්දක් කරන අවස්ථාවක සැඟවී සිට ඡායාරූප කිහිපයක් ගැනීම වැනි දෙයක්.
රොබෝ තමන්ගේ හොඳ දේවල් කෙතරම් සඟවාගෙන සිටිනවා ද යන්න ගැන ඔහු තම මව්පියන් සමඟ නිතරම පවසමින් සිටියේ ය. රොබෝ කෙතරම් හොඳ කෝකියකු වුවත් සිදු කරන වැරැදි ඊට වඩා වැඩියි පවසමින් රිකී තර්ක කළේ ය.
දිනක්, රොබෝ, රිකීගේ කාමරය පසු කරමින් යන විට , රිකී තමන් ගැන කරන පැමිණිලි හඬ ඇසුණි. ඉන් පසු රොබෝ පිරිමි ළමයාගේ සෙල්ලම් බඩුවක් සහ ඔහුගේ ඇඳුම් කිහිපයක් රැගෙන ආපසු පැමිණියේ ය.
“මෙන්න, රිකී බබා, ඔයාගේ ඇඳුමක් සහ සෙල්ලම් බඩුවක්. මම දැනගෙන හිටියේ නැහැ ඒවා ඔයාට ඕනෑ කියලා. මං ඒවා ඉවත් කරන එක ඔයාට කරදරයක් කියලා” රොබෝ ලෝහමය හඬින් කීවේ ය.
“මං කිව්වා හරි නේද? ඔයා තමයි හොරා. ඔයා සති ගාණක් තිස්සේ මගේ දේවල් හොරකම් කරලා අරන් යනවා!” රිකී කෝපයෙන් පැවසුවේ ය.
” මේ හැම දෙයක්ම බිම දාලයි තිබුණේ. ඒ නිසා මං හිතුවා ඔයා ඒවාට කැමැති නැහැ , ඒ්වා ඔයාට අවශ්‍ය නෑ කියලා. මම අනවශ්‍ය දේවල් එකතු කරන්න ක්‍රමලේඛනය කරලා තිබෙනවා. රෑට මම ඒවා ඒකතු කරලා අනෙක් මිනිස්සුන්ට ප්‍රයෝජනයට ගන්න පුළුවන් තැන්වලට යවනවා. මම උපරිම කාර්යක්ෂම යන්ත්‍රයක්. ඇයි ඔයා දන්නෙ නැද්ද?” රොබෝ ඇසුවේ ආඩම්බරයෙන් මෙන් ය.
එය අසා රිකීට ලැජ්ජාවක් දැනෙන්නට විය. ඔහු තම මුළු ජීවිත කාලයම ගත කර තිබුණේ කිසිම ප්‍රයෝජනයක් නැති දේවල් එකතුකර ගොඩ ගසා ගැනීමටයි. එමෙන්ම ඔහු තමන් පාවිච්චි කරන කිසිම දෙයකට සැලකිල්ලක් දැක් වූයේ නැත. ඒවා ප්‍රවේසමින් බලා ගත්තේ නැත. එහෙත් එම දේවලට හොඳීන් සැලකීමටත් ඒවා භාවිතකර සතුටු වන තවත් බොහෝ අය ලෝකයේ වෙනත් තැන්වල සිටින බවත් රිකී වටහා ගත්තේ ය. රොබෝ කැඩී හෝ වැරැදි ලෙස ක්‍රමලේඛනයකර නොමැති බව ඔහු තේරුම් ගත්තේ ය. ඒ වෙනුවට, එම රොබෝ ඉතා හොඳීන් වැඩසටහන්ගතකර ඇත!
එතැන් සිට, රිකී උපරිම කාර්යක්ෂම පිරිමි ළමයකු වීමට තීරණය කළේ ය. ඔහු තමන් භාවිත කරන දේවලට සැබෑ සැලකිල්ලක් දැක්වීය. ඔහු ඒවා පිළිවෙළට තබා ගැනීමට පුරුදු වූ අතර, අවශ්‍ය ප්‍රමාණයට වඩා දේවල් තණ්හාවෙන් ළඟ තබා නොගැනීමට ද කටයුතු කළේ ය. එපමණක් නොව බොහෝවිට, ඔහු දේවල් මිලදී ගෙන, ඒවා අවශ්‍ය අනෙකුත් පුද්ගලයන්ට උපකාර කිරීම සඳහා ඒවා ඔවුන්ට ලබා දීමට ද පුරුදු විය. ඒ සඳහා ඔහුගේ හොඳම මිතුරා වන රොබෝගේ සහාය ලබා ගැනීමට ද රිකී අමතක නොකළේ ය.
මේ කතන්දරය කිය වූ පුංචි ඔයාලාත් මීට පස්සේ රිකී වගේම පිළිවෙළට වැඩ කරන දරුවන් වේවි කියලා මං හිතනවා. මං හරි නේද?
ස්පාඤ්ඤ ජාතික ලේඛක Pedro Pablo Sacrist විසින් රචිත කතාවක් ඇසුරෙනි.
හර්ෂණී ගමගේ