ආදරණීය දුවේ පුතේ, අද දවසේ උරුමයක වගතුග ලිපියෙන් අපේ පොලොන්නරු රාජධානිය පාලනය කළ සාර්ථකම පාලකයා වශයෙන් සැලකෙන පරාක්‍රමබාහු රජතුමාගේ රජ මාලිගාව පිළිබඳ අධ්‍යයනය කරමු. ඉතින් දුවේ, පුතේ, මේ තොරතුරු ඔබත් කියවලා බලන්නකෝ.
පොලොන්නරුවේ ඇතුළු නුවර දක්නට ලැබෙන විශාලතම ගොඩනැඟිල්ල වන්නේ පරාක්‍රමබාහු රජ මාලිගාවයි. මෙය වෛජයන්ති ප්‍රාසාද නමින් චූලවංශයේ හඳුන්වා ඇති අතර, එම අවධියේදී එය මහල් හතක් උසට ගොඩනඟා තිබිණි. වර්තමානය වන විට එයින් මහල් තුනක නටබුන් දක්නට හැකි ය. කාලිංග මාඝ විසින් පොලොන්නරු රාජධානිය ආක්‍රමණය කරනු ලැබූ කාලයේදී මෙම මාලිගාවේ කාමර දාහක් තිබූ බව මහාවංශයෙහි සඳහන් වේ. එහෙත් මාඝගේ ආක්‍රමණ හේතුවෙන් ඒවා විනාශ වී ඇති බව පෙනෙයි. මෙම මාලිගාවෙහි සමහර කොටස් රනින් අලංකාරකර තිබුණ බවට මතයක් පවතියි. ඒවා ඔප්පු කිරීමට තරම් ප්‍රමාණවත් සාධක මෙතෙක් හමුවී නොමැත. එහෙත් මාලිගාවේ බොහෝ බිත්ති අලංකාර සිතුවමින් හැඩගන්වා තිබූ බව ශේෂව පවතින සිතුවම් කොටස් සාක්ෂි දරයි.
මාලිගාවේ බිම් මහලේ නටබුන් වර්තමානය වන විටත් දැකගත හැකි ය. එම මහල පිට බැම්ම බිම් මහලේ සේවා භූමිය, මැද මිදුල, මඟුල් මඩුව, මුරකුටි, ශෛලමය පියගැටපෙළ, ඇතුළු ගර්භය, සෙල් ආසනය, ප්‍රධාන දොරටුව හා රහස් දොරටුව යන කොටස්වලින් යුක්ත ය. බිම් මහලේ ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වන්නේ විශාල අංගණයකට ය. එයින් ඉදිරියට ගිය විට එකසිය දෙකක් දිගින් හා හතළිස් දෙකක් පළලින් යුත් ශාලාවක් හමුවේ. එම ශාලාව විශාල දැව කණු මඟින් ශක්තිමත් වන ආකාරයට නිර්මාණයකර තිබී ඇත. මෙම බිම් මහල වටා එක පේළියකට කාමර පනහක් පමණ වන ලෙස කාමර පේළි තුනක් පිහිටා තිබූ බවට සාක්ෂි හමුවේ. ඒවා බොහෝ දුරට මුරකුටි වශයෙන් භාවිත කරන්නට ඇතැයි විශ්වාස කරයි. මෙම ගොඩනැඟිල්ලේ ඉහළ මාලවල බර දරා සිටින්නේ මෙවැනි දැවැන්ත දැව කණු වන අතර, එම දැව කණු ගඩොල් සහ බදාමවලින් ආවරණයකර අවසානයේ කපරාරු කිරීමෙන් පසුව අලංකාර සිතුවම් ඇඳ තිබේ. මෙහි ඉතිරිව ඇති විශාල බිත්ති අඩි තිහක් පමණ උසකින් හා අඩි පහක් පමණ පළලකින් සමන්විත වේ. එහි ඇති කුඩා බිත්තිවල පළල අඩි තුනක් පමණ වේ.
එම රජමාලිගයෙහි තැනින් තැන විශාල කුහර හා සිදුරු රාශියක් දක්නට ලැබෙන අතර, එම කුහර හා සිදුරු මාලිගයේ ඉහළ මාලවල තිබූ දැව කණු රැඳවීම සඳහා භාවිත කළ ඒවා බවට නිගමනය කරයි. ගොඩනැඟිල්ලේ වහල දරාගත්ත එවැනි කුලුනු 36ක නටබුන් දැකගත හැකි ය. මාලිගයේ පසෙක ශෛලමය පියගැටපෙළක් දැකිය හැකි අතර, එය ඉහළ මහල් හත සම්බන්ධකර තිබූ බවට විශ්වාස කරයි.
මාලිගාවේදී හමුවන නටබුන් අතර විශේෂ ස්ථානයක් හිමිවන්නේ රාජ සභා මණ්ඩපයටයි. එය අඩි හැත්තෑ පහක් පමණ දිගින් , අඩි තිස් තුනක් පළලෙන් හා අඩි එකොළහක් පමණ උස වන ආකාරයට තැනූ කුඩා වේදිකා තුනකින් සමන්විත පාදමක් මත ඉදිකළ ගොඩනැඟිල්ලකි. එය ඇත් රූපවලින්, සිංහ රූපවලින් හා වාමන රූපවලින් කැටයම්කර සරසා තිබේ. එහි වහලය දරා සිටීම සඳහා ශෛලමය කුලුනු දොළහක් තිබූ බවට සාක්ෂි හමු වේ.
මෙහි අපට දක්නට හැකි අනෙකුත් ප්‍රධානතම ස්ථානයක් වන්නේ කුමාර පොකුණ නාමයෙන් හඳුන්වන නාන තටාකයයි. එය ජලය යන්ත්‍ර මඟින් විහිදෙන වතුර මල් යොදා අලංකාරව වර්ෂය පුරාම ජලය සහිතව ස්නානයට සුදුසු පරිදි සකස්කර තිබේ. මෙම පොකුණ පුරාණ ජල තාක්ෂණය පිළිබඳ කදිම නිදසුනකි. එසේම නඳුන් උයන නමින් හැඳීන්වූ මඟුල් උයනෙහි විසිතුරු මණ්ඩප, පොකුණු, ක්‍රීඩා ස්ථාන වැනි අංග රාශියක් ද ඉදිකර තිබේ. වර්තමානය වන විට මෙම මාලිගා සංකීර්ණය ටිකෙන් ටික අභාවයට යමින් පවතින අතර එය සංරක්ෂණය කිරීමට කඩිනම් පියවර ගත යුතුය. මන්දයත් එය පොලොන්නරු යුගයේදී ඉදිකරන ලද වටිනාම නිර්මාණයක් වශයෙන් ඓතිහාසික වැදගත්කමක් උසුලන බැවිනි.
ලක්නා නිරෝෂිමාලා