Home » Blog » පුංචි ලේඛකයෝ

පුංචි ලේඛකයෝ

by thanushika
0 comments

ගිය හකුරට නාඬන්නේ තියෙන හකුර රැක ගන්නේ…

“ඕං ඉතින් ඒ කාලේ කිතුල්ගස් මැදලා රා අරගෙන එයින් පැණි උණූුකරලා හකුරු හදන්න කොයි කවුරුත් වගේ දැනගෙන හිටියා. බොහොම දෙනෙක් මේක රස්සාවටම කෙරුවා.

එක්තරා ගමක තරුණයෙක් උන්නා. මුන්දැට රස්සාවක් තිබුණේ නෑ ඒ වුණාට රස්සාවක් කරන්න ආශාවෙන් හිටියේ.

මිනිස්සු රා ගේනවා, පැණි උණූු කරනවා, හකුරු හදනවා, පොළට ගෙනියනවා, විකුණනවා සල්ලි ගොඩක් හොයාගෙන බඩු මුට්ටුත් අරන් ගෙදර එනවා. මේ තරුණයාටත් මේවා නිතර පෙනුණා. මුන්දැටත් හිතුණා හකුරු හදන්න. ඒ වුණාට හකුරු හැදීම ගැන දැනුමක් තිබුණේ නෑ. තමන්ට පුළුවන් කියා හිතාගෙනම හිටිය නිසා කාගෙන්වත් අහලා දැනගත්තේ නෑ.

ඔන්න ඉතිං හකුරු හදන්න හිතාගෙන කිතුලක් සුද්දකරලා හැර ගහලා මදින්න ජෝඩු කෙරුවා. දැං කිතුල මැදලා මී රා ගන්න පුළුවන්.

දවසක් දා මේ තරුණයා මී රා මුට්ටියක් ගෙදර අරගෙන ආවා. ලොකු වළඳක් අරගෙන, මී රා වළඳට වත්කරලා ළිපේ තිබ්බා. මේ තරුණයා පැණි වළඳ හැඳි ගගා ළිප මුලටම වෙලා උන්නා. ඒවා පැණි පාට වීගෙන එනකොට පදම හරියි කියලා හිතලා කලින් ලක ලෑස්ති කරගෙන හිටපු පොල්කටුවලට හැන්දෙන් හැන්ද පැණි වත්කරා.

දැං හකුරු හරි ගිහිල්ලා ඇති කියලා හිතපු තරුණයා ටික වේලාවකට පස්සේ ඇවිත් බැලුවා. තවමත් පොල් කටුවල පැණි විතරයි. මිදිලා හකුරු වෙලා නෑ. ඉතින් ආයෙමත් පැණි ටික මුට්ටියට දාලා ආයෙමත් ළිපේ තිබ්බා. හැන්ද අරන් හැඳිගාන්න ගත්තා.

ඔහොම හැඳිගාගෙන හැඳිගාගෙන යනකොට ටිකක් තද ගතියක් දැනුණ නිසා පදම හරියි කියලා හිතලා පොල් කටුවට පැණි දැම්මා. ඕං දැන් නං ඉතින් ටිකක් හරි ගිහිල්ලා හකුරු මිදීගෙන එනවා දැකලා තරුණයාට හරි සතුටුයි.

ඊට පස්සේ පොල්කටුවලින් හකුරු ගලවා ගත්තේ ඉක්මනට ඉරිදා පොළට යන්න. ඊට කලින් අහළ පහළ තිබිච්ච අමු කෙසෙල් කොළ කිහිපයක් කපාගෙන ඇවිත් හකුරු පළු දෙක එක ගෙඩියට තියලා මඳ රස්නයෙන්ම අමු කොළවල ගැට ගැහැව්වා. මේවා පෙට්ටියක දමාගෙන ලහි ලහියේම පොළටත් අරන් ගියා.

පොළට අරං ගිහින් සන්තෝසයෙන් ගහක් යටට වෙලා හෙවණෙන් වාඩි වුණා. හකුරු පෙට්ටිය බිම තියලා තවත් කෙසෙල් කොළයක් උඩට හකුරු බෑවා. අනේ දෙවියනේ! හකුරු ටික දියවෙලා අත දිගේ බේරෙනවා.

තරුණයාට දැන් හරිම කනගාටුයි. ඇස් දෙකෙන් කඳුළු කඩා හැලෙනවා. මුන්දෑ ඉතින් කරකියා ගන්නට දෙයක් නැතිව අඬ අඬා සිටියා.

“මොනවද මේ පැණි පෙරෙන හකුරු?”

“මේ හකුරු දියවෙලා නේ…”

“අපොයි මේ හකුරු දිය වෙවී යනවා”

හකුරු ගන්න තරුණයා ළඟට ආපු හැම කෙනාම පෙට්ටියට අත තියලා ඒ වගේම මොනාහරි දෙයක් කිය කියා ආපහු හැරිලා ගියා.

තරුණයාට හොඳටම ඇඬුණා. මෙච්චර මහන්සි වෙලා කිසිම පලක් නොලැබුණු තරුණයාට දැන්නම් හොඳටම දුකයි.

මනුස්සයෙක් මේ වෙච්චි දේ දැකලා අර අඬ අඬ හිටපු තරුණයාගේ හිස අතගාලා මෙන්න මෙහෙම කියනවා.

“ගිය හකුරට නාඬන්නේ
තියෙන හකුර රැකගන්නේ
වේලා කොළ අරගන්නේ
ඇඬුව මිසක් නාඬන්නේ”

ඊට පස්සේ තැණයාගේ හිත සනසලා ඔහුට හකුරු හදන හැටි පහදලා කරලා වයසක මනුස්සයා ආපහු තමන්ගේ ගමන යනවා.

හකුරු ඔතන්නේ වේළුණූු කෙසෙල් පරඬැල් කොළවල කියලා මේ තරුණයා දැනගෙන

හිටියේ නෑ. තිබුණු උදච්චකම නිසා කාගෙන්වත් අහන්න ගියෙත් නෑ. උණූු උණූුවේම තිබුණු හකුරු අමු කෙසෙල් කොළවල ඔතන්න ගිය නිසා තමා හකුරු ටික සේරම මෙහෙම දිය වුණේ.

ඉතින් අර වයසක මනුස්සයාගේ අවවාද පිළිගත්ත තරුණයා ගෙදර ගිහින් ආපහු මුල ඉඳලාම හකුරු හදන්න පටන් ගත්තා. සමහර දේවල් අහළ පහළ අයගෙන් අහගත්තා. හදාගෙන ඉවර කරපු හකුරු මුල් වේළිච්ච පරඬැල් කොළවල එතුවා. ඊට පස්සේ හකුරු මුල් දිය වුණේ නෑ. ඔන්න ඔය විදියට හැමදාම හකුරු හැදුවා. ටිකෙන් ටික මේ තරුණයා දියුණූුවට පත්වුණා.

මොකක් හරි වැඩක් කරන කෙනකුට ඒකෙන් හරි ප්‍රයෝජනයක් ගන්නට හැකියාව ලැබෙන්නේ ඒ ගැන දැනමුතුකම් තිබුණහොත් පමණි. නොදැන කරන වැඩ වරදින ආකාරයත් උත්සාහයෙන් වැඩකර දියුණූු වන්නට හැකි බවත් මෙම ජනකතාවෙන් හොඳින් පැහැදිලි වෙනවා.

එම්. පී. තෙනුරි නවින්මා කීර්තිසේන

9 ශ්‍රේණිය

කු/ මලියදේව බාලිකා විද්‍යාලය

————-
සාර්ථකත්වය

තමන්ට අයිති නොවන ගසකින්
වැටිලා පරවෙලා යනවට වඩා හොඳයි
වැටිච්ච තැන පැළ වෙළා
තමන්ගෙම කියලා
ගසක් හදාගෙන
නැවතත් ජීවිතව සාර්ථකව
පටන් ගන්න එක

සාර්ථකත්වයයි,

කේ. මනුජි යුහන්සා
7 ශ්‍රේණිය

—————-
පරිසරයේ අසිරිය

ගස් වැල්වල මල් පිපිලා
මල් බරවී අතු නැමිලා
පුංචි අපට සුවඳ දීලා
පරිසරේම සුවඳ වෙලා

රතු කහ සුදු මල්
පාට පාට මල්
සුවඳ වෙලා මල්
ගස් පිරිලා මල්

පාට පාට සමනලයා
මල්වල පැණි බීලා ගියා
පුංචි අපිත් සතුටු වෙලා
ලස්සන පරිසරය බලා

ටමාෂි මාලින්ද්‍යා සෙනුදිනී
6 ශ්‍රේණිය


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department