තෛ මාසයේ කෙනකු උපදී නම් එය ඔහුගේ හෝ ඇයගේ යහපතට හේතු වන්නේය යන්න හින්දු භක්තිකයන්ගේ මතයයි. හින්දු භක්තිකයන්ගේ අවුරුද්දේ පළමුවැනි මාසය තෛ මාසයයි. ඉංග්‍රීසි මාස ක්‍රමයට අනුව එය ජනවාරි මාසයයි. සූර්යයා ධනු රාශියේ සිට මකර රාශියට ගමන කිරීම ආරම්භ කිරිම තෛ මාසයේ ආරම්භය ලෙස අපට හැඳීන්විය හැකි ය. එය උදා වන්නේ ජනවාරි 13 හෝ 14 යන දින දෙකෙන් එකක ය. එම දින තෛපොංගල් දිනය ලෙස හැඳින්වේ. විශේෂ උත්සව රාශියක් සමරන හින්දු භක්තිකයන්ගේ ප්‍රධාන උත්සවයක් ලෙස අපට තෛපොංගල් උත්සවය පෙන්වාදිය හැකි ය. 2025 වර්ෂයේදී එය සමරනු ලබන්නේ ජනවාරි 14 වැනි දින ය.”අස්වැන්න නෙළීමේ උත්සවය”යන අරුත තෛපොංගල් උත්සවය නම් වේ. වර්ෂාපතනය හා ඍතු විපර්යාසය ගොවිතැනේ සාරවත් බවට බෙහෙවින් බලපායි. සාර්ථක අස්වැන්නක් සඳහා සූර්යයාගේ බලපෑම කිසවිටකත් අමතක කිරීමට නොහැකි ය.තම කෘෂි කටයුතු සදහා මහෝපකාරී වූ සූර්යයාට කෘතගුණ සැලකීම සඳහා මෙම උත්සවය සමරනු ලැබේ.
හින්දූන් අතර හිරු,සඳු,අහස,පොළොව වැනි ස්වාභාවික වස්තූන්ට පුද පූජා කිරීමේ චාරිත්‍රයක් අතීතයේ සිට පැවත එයි. තෛපොංගල් උත්සවයට ද දිගු ඉතිහාසයක් ඇත. මේ උත්සවයේ ඉතිහාසය පිළිබඳ තොරතුරු පැරැණි වේද ග්‍රන්ථවල සඳහන් වේ. ද්‍රවිඩ සාහිත්‍ය පොත්වලින් ද මේ පිළිබඳ සාධක හමුවේ. හින්දූන්ගේ ඉතිහාසය ආරම්භ වන්නේ “සංඝකාලම්” යුගයෙනි. එම යුගයේ ලියවුණු “පුරානානරු”නම් පොතෙහි ද මෙම උත්සවය පිළිබඳ සඳහන් වේ.
පොංගල් උත්සවය දින තුනක් තිස්සේ පැවැත්වේ. පොංගල් දිනයට පළමුවැනි දිනය “පොගී”උත්සව දිනය ලෙස හැඳීන්වේ.පොගී යන්නෙන් අදහස් කරන්නේ නැති කිරීම යන්නයි. එදින හිරු උදාවීමට පෙර නිවෙසේ තිබෙන සියලුම කැළි කසළ සහ භාවිතයට ගත නොහැකි ලට්ටලොට්ට සියල්ල නිවෙස ඉදිරිපස එළිමහනට ගෙන ගොස් ගිනි තබනු ලැබේ. මේ අනුව පොගී සිරිතෙන් ඔවුහු අනවශ්‍ය දේ ඉවත්කර ඔවුන්ගේ සිත් පිරිසුදුකර ගනිති.
පොංගල් යන දමිළ වචනයේ අර්ථය වනුයේ උතුරා යෑම නොහොත් පිටාර ගැලීමයි.
පොගී උත්සවයට පසු එළඹෙන වැදගත්ම දිනය වන තෛපොංගල් දිනයේදී දමිළ ජනයා උදෑසනින්ම පිබිදී නාගෙන පිරිසුදු වී තම නිවෙස් ඉදිරිපිට මිදුලේ ධාන්‍ය අබරා සකසා ගත් පිටිවලින් කෝලම් අඳිති. පසුව ඔවුහු අලුත් ඇඳුමින් සැරසෙති. ගෘහමූලිකයා විසින් නිවෙස ඉදිරිපිට සුබ මොහොතින් ළිප ගිනි මොලවනු ලැබේ. නැවුම් ලෙස සකසා ගත් අලංකාර කිරි මුට්ටියේ ගෘහණිය විසින් කිරිබත පිසිනු ලැබේ. එයට හකුරු, ගිතෙල්, මුද්දරප්පලම් ආදිය එකතු කරනු ලැබේ. අනතුරුව මිදුලේ එළන ලද පැදුරක පහනක් දල්වා පොංගල් කිරිබත,කහ,පොල්, කෙසෙල් ගෙඩි, උක්ගස්,විවිධ එළවළු වර්ග හා මල් වර්ග තබා හිරු දෙවියන්ට පුද පූජා පවත්වනු ලැබේ.
මෙම කටයුතුවලින් පසුව ඔවුහු සවස කෝවිල් පුද පූජා සදහා යොමු වෙති. එය ‘කණුම් පොංගල්’ ලෙස හැඳීන්වේ. එය නෑගම් යෑම, තම හිතමිතුරන් සමඟ තෑගි බෝග හුවමාරුකර ගැනීම සඳහා වෙන්කළ දිනයකි. තෛපොංගල් දිනයට පසු දිනය ‘මාට්ටු පොංගල්’ ලෙස හැඳීන්වේ. දමිළ භාෂාවේ මාඩු ලෙස හඳුන්වන්නේ ගවයා වන අතර, ගවයා දමිළ ජනතාව ඉතා භක්තියෙන් සලකන සත්ත්වයෙකි. තම අස්වැන්න ලබා ගැනීම සඳහා උපකාරී වූ ගවයන් සඳහා කෘතගුණ සැලකීම මෙහිදී සිදුවේ. මෙම සතුන් නහවා පිරිසුදු කොට, මල් මාලාවලින් අලංකාර කොට කහ වතුර ගල්වා කුංකුම ආලේප කරනු ලැබේ. එදින ගවයන් සඳහා තණකොළ, උක්,පොංගල් බත්,හකුරු,මී පැණි ආදිය ලබා දෙයි. වේන් පොංග්ල්,පොංගල් බත්,වඩේ,චක්කර පොංගල්, පාල් පායසම්, සාම්බාරු කේසරී සහ බර්ෆි යන ආහාර වර්ග මෙදිනට බහුලව සාදනු ලැබේ.
දින තුනක් හතරක් තිස්සේ පැවැත්වෙන මෙම උත්සවය ජාතික නිවාඩු දිනයකි. මෙම උත්සවය ඉහළින්ම සමරනු ලබන්නේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ය. තෛපොංගල් ගොවිතැන හා බැඳුණු සංස්කෘතික සශ්‍රීකත්වය සමරන ආකාරයටත් එවැනි සංස්කෘතීන්හි ජනයා සොබාදහම හා බැඳී ඇති ආකාරයටත් හොඳ නිදසුනකි. එනිසා ලංකාවාසීන්, ලෝකවාසීන් සියලු දෙනාම ජාති ආගම් භේද අතහැර සාමයෙන් සහජීවයෙන් සමගියෙන් මෙවැනි උත්සව සමරමින් ජාතික සහජීවනය ගොඩනඟා ගැනීම ඉතා වැදගත් ය.
ඔබ සියලු දෙනාටම සුබම සුබ තෛපොංගල් උත්සවයක් වේවා!
ස්වේතා ගිමානි