අලුත් අලුත් දේවල් නිර්මාණය කරමින් ඉදිරියට යෑමට බොහෝ දරුවෝ උත්සාහ කරති. නව නිෂ්පාදන කිරීමට පෙලඹෙන්නන් නිසාමයි ලෝකය හැඩ වූයේ. මේ නිසා නව නිපැයුම්කරුවන් පිළිබඳ කතා කිරීම නිරන්තරයෙන්ම වැදගත් වේ. වර්තමානයේ පුංචි දුවලා පුතාලත් නව නිපැයුම් කිරීමට යොමු වීමේ ප්‍රවණතාවක් තිබේ. එවැනි නිර්මාණයක් කළ පුංචි පුතකු පිළිබඳ කතා කිරීමටයි මේ අපේ සූදානම. ඔහු බප/ ගම්/ කරුණාරත්න බෞද්ධ මහා විද්‍යාලයේ ලිතුල තෙව්සර ද සිල්වා පුංචි පුතා ය. ඔහු මීට පෙර ආරක්ෂාකාරීව අහස්කූරක් යවන උපකරණයක් සෑදූ අවස්ථාවේ මිහිර වෙතින්ම පුංචි ඔබට හඳුන්වා දුන්නා ඔබට මතක ඇති නේද? ඉතින් දුවේ පුතේ, අද අපි ඔහු පිළිබඳ කතාව අහමු නේද?
‘‘ මම විවිධ විවිධ නිර්මාණ කරලා තිබෙනවා. කුඩා කාලයේ සිටම මම ගොඩක් කැමැතියි කුමන හෝ නිර්මාණයක් කරන්න. අපි කුඩා කාලයේ සිටම ලෝකය අලුත් විදිහට දකින්න සූදානම් විය යුතුයි. එසේ නොමැතිනම් කවදාවත් අපට ඉදිරියට යෑමට හැකි වන්නේ නැහැ. මේ නිසා තමයි මම විවිධ නිර්මාණ කරන්න පෙලඹුණේ. මුලින්ම මම නිර්මාණ කරන්න ආරම්භ කළේ කොරෝනා කාලයේදී. කොරෝනා කාලයේදී අපට පාසල් යෑමට නොහැකි වෙලායි තිබුණේ. ඒ කාලයේදී අපට කුමන හෝ අලුත් නිර්මාණයකට යොමු වෙන්න අවස්ථාව තිබුණා. ඒ අවස්ථාව තමයි මම ප්‍රයෝජනයට ගත්තේ. මේ කාලයේදී මම අලුත් නිර්මාණ කිහිපයක්ම කළා. එහෙත් ඒවා සමාජගත කිරීමේ අවශ්‍යතාවක් මට තිබුණේ නැහැ. ඒවායින්ම මම අවබෝධයක්, අත්දැකීමක් ගන්න තමයි මම උත්සාහ කළේ. ‘‘
‘‘ කොරෝනා කාලයෙන් පස්සේ මම අහස් කූරක් යවන්නක් සෑදුවා. ඒක බොහෝ දෙනා අතර ජනප්‍රිය වුණා. ඒ සඳහා මට නව නිපැයුම් උගන්වන ගුරුතුමා සහ අපේ පාසලේ විදුහල්පතිතුමිය බෙහෙවින්ම උදව් කළා. ඒ වගේම මගේ අම්මාත් තාත්තාත් මාව ධෛර්යවත් කළා. ඊට පස්සේ තමයි මේ රිළවුන් එළවන උපකරණය සාදන්න හිතුවේ. මේ උපකරණය වර්තමානයේ රිළවුන් බහුලව සිටින ප්‍රදේශවල ජනතාවට බොහොම ප්‍රයෝජනවත් වේවි කියලා මම හිතනවා.‘‘
‘‘ මේ වන විට මම 9 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන්නේ. ඒ නිසා මම කඩඉම් විභාගවලට මේ වනවිට අවතීර්ණ වෙලා නැහැ. ඒ නිසා මට ලැබිලා තිබෙන නිදහස ප්‍රයෝජනයට ගන්න මම උත්සාහ කරනවා. අහස්කූරු යවනය මෙන්ම රිළවුන් එළවන උපකරණයත් බොහෝ ජනප්‍රිය වේවි කියලා මම හිතනවා. මේ රිළවුන් නිසා අද ගොවියන්ට මෙන්ම ගෙවතුවල වගා කරන මිනිසුන්ටත් ප්‍රශ්න ඇති වෙලා තිබෙනවා. ඒ ප්‍රශ්නයට විසඳුමක් ලෙස තමයි අද මම මේ උපකරණය ඉදිරිපත් කරන්නේ. මේ උපකරණය සෑදීමේදී මගේ මව්පියන්ගෙන් මට අවශ්‍ය මුදල්මය සහයෝගය ලැබුණා. ඒවගේම පාසලේ විදුහල්පතිනිය සහ නව නිපැයුම් උගන්වන ගුරුතුමාගෙන් අවශ්‍ය උපදෙස් ලැබුණා. මම හිතන්නේ මම, මගේ පාසල වෙනුවෙන් රටේම අවශ්‍යතාවක් ඉටු කළා කියලයි. මේක අපේ රටට පමණක් නොවෙයි තවත් රටවලට ද ඉතා ප්‍රයෝජනවත් වේවි කියලයි. ඒ වගේම මේ වගේ නව නිපැයුම් අපේ රටට විදේශ විනිමය ලබා දෙන හොඳ මාර්ග කියලාත් හඳුන්වා දෙන්න පුළුවන්. මේ සඳහා පේටන්ට් බලපත්‍රය ලබාගන්න යොමු කරලයි තිබෙන්නේ. රාජ්‍ය අනුග්‍රහය අප වගේ දරුවන්ට නිරන්තරයෙන් ලැබෙනවා නම් හොඳයි කියලයි මම හිතන්නේ.‘‘
මේ වගේ නව නිපැයුම්වලට අවශ්‍ය බලධාරීන්ගේ අවධානය යොමු වීම ඉතා වටිනවා. ඒ වගේම අනෙක් දරුවන්ටත් ලිතුල පුතා ආදර්ශයක්. ඉතින් දුවේ පුතේ, ඔබගේ අනාගතය සාර්ථකය වේවා යැයි අපි මිහිර වෙතින් ඔබට සුබ පතමු.
රූපාන්ති බුලත්සිංහල