Home » Blog » මානව සබඳතා පිළිබඳ දරුවන් දැනුම්වත් කිරීම ඉතා වැදගත්

මානව සබඳතා පිළිබඳ දරුවන් දැනුම්වත් කිරීම ඉතා වැදගත්

නවගමුව බප/ ජය/ සිරි සුමනතිස්ස ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනිය සොනාලි පිගේරා මහත්මිය

by thanushika
0 comments

දරුවන්ට අන්තර් පුද්ගල සබඳතා පිළිබඳ අවබෝධයක් ලබාදීම ඉතා වැදගත් ය. ඔවුන්ට කුඩා කාලයේ සිටම මානව සමාජය පිළිබඳ අවබෝධයක් ලබාදීමට ගුරුවරු මෙන්ම වැඩිහිටියන් ද උත්සාහ ගත යුතුයි. එසේ නොකළහොත් අනාගතයේදී යන්ත්‍ර වැනි දරුවන් බිහිවීමට ඇති ඉඩ ප්‍රස්තාව අධික වේ. මේ තත්ත්වය වර්තමානයේදී ද සිදුවෙමින් පවතී. එයින් අත්මිදීමට නම් වර්තමානයේද මානුෂීය ගුණ දහම් දරුවන්ට කියාදිය යුතුයි. මේ අයුරින් දරුවන්ට මානුෂීය ගුණදහම් කියාදෙමින් මැනවින් අධ්‍යාපනය ලබාදෙන පාසලක් පිළිබඳ කියන්නයි මේ සූදානම. ඒ, නවගමුව බප/ ජය/ සිරි සුමනතිස්ස ප්‍රාථමික විද්‍යාලය පිළිබඳයි.

” අපේ පාසල පටන්ගෙන තිබෙන්නේ වර්ෂ 1865 වර්ෂයේදීයි. ළමයින් ක්‍රමයෙන් වැඩිවෙන්න පටන් ගත්තා. අපේ පාසලේ දරුවන් සිටින්නේ 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වායි. මෙම පාසලේ ඉගෙනුම ලැබූ 6 ශ්‍රේණියෙන් ඉහළ ළමයින් උසස් අධ්‍යාපනය සඳහා වෙනත් පාසල් සඳහා යනවා. මේ වන විට පාසලේ ළමයින් දෙසිය හැත්තෑපහක් සිටිනවා. ඒ වගේම ගුරු මණ්ඩලයේ දාහත් දෙනෙක් ඉන්නවා. මේ සෑම ගුරුවරයකුම පාසලේ දරුවන් වෙනුවෙන් කැපවී සේවය කරනවා. ඒක මට ලොකු සතුටක්. දරුවන්ගේ මනෝ සමාජයීය කුසලතා සංවර්ධනය කරන්න අපි උපරිම කැපවීමෙන් යුතුව කටයුතු කරනවා.”

” දරුවන් අතර තරගය අඩු වෙන එක හොඳයි කියලා තමයි මම දකින්නේ. අවශ්‍ය වන්නේ අන්තර් පුද්ගල සබඳතා පවත්වාගෙන යෑමයි. සෑම විටම අප දරුවන් සමඟ සතුටින් ඉන්නත්, සතුටින් ගනුදෙනු කිරීමටත් අවශ්‍යයි. අනෙකා අවබෝධ කරගැනීමට කුඩා කාලයේ සිටම අප දරුවන්ට පුරුදු කළ යුතුයි. සෑම විටම සහයෝගයෙන් ඉදිරියට යෑමට දරුවන් හුරු කළ යුතුයි. සහයෝගය නොමැති නම් කිසිවක් ජයග්‍රහණය කිරීමට බැහැ. මේ නිසා මුලින් අප දරුවන්ට එක්ව නැඟිටින්න පුරුදු පුහුණු කළ යුතුයි. එසේ කළහොත් අනාගතයේදී දරුවා සමාජගත වූ විට ගැටලු රාශියකට මුහුණ පෑමට සිදු වෙනවා. ළමා කාලයේදී කණ්ඩායම්ගතව ඒකරාශි වී වැඩ කිරීමට දරුවන් පුරුදු පුහුණු කිරීමෙන් ඔවුන්ගේ අනාගතයට යහපතක් සැලසෙනවා. ”

” වර්තමානයේ අප උගන්වන දරුවා අනාගතයේදී අපේ රටේ පුරවැසියකු බව අප හැම විටම මතක තබා ගත යුතුයි. ඒ අයුරින් සිතාගෙන තමයි අපි වැඩ කටයුතු කළ යුතු වන්නේ. දරුවකුට අධ්‍යාපනය පමණක් නොවෙයි ඔවුන්ගේ මානව කුසලතාත් වර්ධනය කිරීම ගුරුවරුන්ගේ යුතුකමක් ලෙසයි මම හිතන්නේ. එය විෂය නිර්දේශයකින් පමණක් කරන්න බැහැ. අපේ පාසලේ මේ සඳහා වෙනම ක්‍රමවේදයක් අප හදලා තිබෙනවා. ඒ තමයි සවස් කාලයේදී පවත්වන චිත්‍ර, නැටුම්, සංගීත පන්ති. මේ පන්ති තුනෙන් කුමන හෝ පන්තියකට දරුවන් සහභාගි විය යුතුයි. එයින් අප අපේක්ෂා කරන්නේ දරුවන්ගේ මනස සුවපත් කිරීමයි. විෂය නිර්දේශය කියන්නේ යම්කිසි රාමුවක්. එයට පමණක් සීමා වී වැඩ කිරීමෙන් දරුවන්ගේ පීඩනය වැඩි වෙනවා. මේ නිසා නිරායාසයෙන්ම දරුවන් රෝගී තත්ත්වයන්ට ගොදුරු වෙනවා. මෙය දරුවන්ට පමණක් නොවෙයි. ඔවුන් ජීවත් වන නිවෙසේ සියලු දෙනාටම ගැටලුවක් වෙනවා. එනිසා දරුවන්ගේ මනස සුවපත්කර තබා ගැනීම ඉතා වටිනවා. සෞන්දර්ය මෙන්ම ක්‍රීඩාවෙනුත් මේ තත්ත්වය ඔවුන්ට උදාකර දෙනවා. මේ නිසා අප මේ පිළිබඳ අවබෝධය ලබාගෙන, ඒ සඳහා දරුවන් යොමු කරන්න අවශ්‍යයි. අධ්‍යාපනයෙන් නිවැරැදි මාවතකට දරුවා යොමු කිරීමට නම් ඔහුගේ හෝ ඇයගේ මනස නිරවුල්ව තැබිය යුතුයි. කුඩා දරුවකුගේ මනස කියන්නේ වටිනා දෙයක්. කුඩා කාලයේදී දරුවකුට ඕනෑම දෙයක් අවබෝධ කරලා දෙන්න පහසුයි. මේ තත්ත්වය අපේ පාසලේ ඇති කිරීමට මම හැම විටම වගබලා ගන්නවා.”

පාසල වෙනුවෙන් ඇය කරන කැපවීම සාර්ථක වේවා යැයි අපි මිහිර වෙතින් ප්‍රාර්ථනා කරමු.

රූපාන්ති බුලත්සිංහල

ඡායාරූප- විද්‍යාලයීය ඡායාරූප සංගමය

 


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department