Home » Blog » ඔවදන

ඔවදන

by thanushika
0 comments

කුඩා කාලයේ සිටම දුවලා පුතාලට ව්‍යාපාරික ඥානයක් තිබීම වැදගත්. එයට හේතුව ඔබ වැඩිහිටියකු වන විට හොඳ ව්‍යවසායකයකු වීම සඳහා ය. කුඩා කාලයේදී අම්මා, තාත්තා, පුංචි ඔබට ඕනෑම දෙයක් රැගෙන දීම නිසා ඔබට වෙළෙඳපොළ සමඟ ගනුදෙනු කිරීමක් අවශ්‍ය නොවේ. එහෙත් ඔබ වැඩිහිටියකු වීමේදී ඔබට වෙළෙඳපොළ සමඟ ගනුදෙනු කිරීමට අවශ්‍ය වේ. මේ නිසා වෙළෙඳපොළ සමඟ අවබෝධයක් පුංචි ඔබටත් අවශ්‍ය වේ. ඉතින් දුවේ පුතේ, අනාගතයේ වෙළෙඳපොළට එකතු වෙන ඔබට ප්‍රවීණ අලෙවි කළමනාකරුවකු වන සුජීව ජයවර්ධන මහතා කියන කතා අපි බලමු.

‘‘ වෙළෙඳපොළක් කියන්නේ ගැනුම්කරුවකු සහ විකුණුම්කරුවකු හමුවෙන ඕනෑම ස්ථානයක් කියලා කෙටියෙන්ම කිව්වොත් නිවැරැදියි. කුඩා කාලයේදී ඔබට වෙළෙඳපොළක් සමඟ ගනුදෙනු කිරීමට අවශ්‍ය නොවේ. එහෙත් ඔබේ මව්පියන් වෙළෙඳපොළ සමඟ ගනුදෙනු කරයි. මෙහිදී ඔබට අවශ්‍ය භාණ්ඩයක් වුවත්, මිලදී ගන්නවාද නැද්ද යන්න තීරණය කරන්නේ ඔබගේ මව්පියන් ය. මේ නිසා ඔබට ඒ පිළිබඳ කිසිදු වගකීමක් නොමැත. එහෙත් වැඩිවියට පත්වීමේදී වෙළෙඳපොළ සමඟ ගනුදෙනු කිරීමේ අවශ්‍යතාව ඔබට ඇතිවේ. මේ නිසා වෙළෙඳපොළ සම්බන්ධයෙන් කිසියම් අවබෝධයක ඔබ සිටීම වැදගත් වේ.

‘‘ වැඩිවියට පත්වූ විට කුමන රැකියාවක් කරන්නේ ද යන්න පිළිබඳ ඔබට අදහසක් කුඩා කාලයේදීම තිබෙනවා නේද? ඒ නිසා ඔබ කුඩා කාලයේදී මෙහෙම කියයි. මම ලොකු වුණාම වෛද්‍යවරයකු වෙනවා. මම මෘදුකාංග ඉංජිනේරුවරයකු වෙනවා. එහෙම නැත්නම් මට මෙහෙම හිතෙනවා. මම ගුරුවරයකු වුණොත් හොඳයි කියලා. මේ ආකාරයට කුමන වෘත්තිකයකු ලෙස ඔබ පත් වුණත්, ඒ වෘත්තීමය කටයුත්ත ඉටු කිරීමේදී ඔබට වෙළෙඳපොළක් සමඟ ගනුදෙනු කිරීමට සිදු වෙනවා. විටෙක ඔබ ගැනුම්කරුවකු වේවි. තවත් විටෙක ඔබ විකුණුම්කරුවකු හෙවත් සැපයුම්කරුවකු වේවි. මේ කුමන අයුරකින් වුවත්, ඔබ වෙළෙඳපොළේ නියෝජිතයකු වේවි. ඒ නිසාම වෙළෙඳපොළ පිළිබඳ දැනුමක් අවබෝධයක් ස්වල්ප වශයෙන් හෝ කුඩා කාලයේදී තිබීම වඩාත් වැදගත් වේ.‘‘

‘‘ සේවයක් සැපයීම, භාණ්ඩයක් සැපයීම, මේ කුමන තත්ත්වයකදී වුවත්, ඔබ වෙළෙඳපොළේ නියෝජිතයකු වේ. මේ නිසා අප අද වෙළෙඳපොළ සම්බන්ධයෙන් ලබා තිබෙන දැනුම අපේ අනාගතය සඳහා වැදගත් වේ. උදාහරණ ලෙස ඔබ අනාගතයේදී ව්‍යවසායකයකු වෙනවා කියා සිතන්න. ඒ කියන්නේ ඔබ අනෙකුත් අයට රැකියා සපයන්නකු ලෙස වෙළෙඳපොළට පිවිසෙනවා කියා කිව්වොත් නිවැරැදියි. එවිට ඔබ කළ යුත්තේ ගැනුම්කරුවාගේ අවධානය යොමු වන ලෙස ගැනුම්කරුවා සතුටු වන ලෙස භාණ්ඩයක් වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමයි. මේ සඳහා ඔබේ අනෙකුත් තරගකරුවන් පිළිබඳ අවබෝධයක් තිබීම වැදගත් කියා ඔබට සිතෙන්න පුළුවන්. එහෙත් වැදගත්ම දේ එය නොවෙයි. නොදන්නාම දෙයක් අලුත් ආකාරයෙන් අනෙක් අයටත් වඩා හොඳීන් වෙළෙඳපොළ වෙත ඉදිරිපත් කිරීමයි.‘‘

‘‘ ඔබ ඉදිරිපත් කරන භාණ්ඩය හෝ සේවාව ලැබීමෙන් පසු පාරිභෝගිකයා හෙවත් ඔබේ ගැනුම්කරුවා සතුටට පත් විය යුතුයි. එසේ නොවුණහොත් ඔබට වෙළෙඳපොළේ රැඳී සිටීමට නොහැකි වේ. ඔබට විකුණුම්කරුවකු හෙවත් සැපයුම්කරුවකු ලෙස වෙළෙඳපොළේ රැ¼දී සිටීමට අවශ්‍ය නම් සෑම විටම පාරිභෝගිකයා සතුටට පත්වන අයුරින් දෙයක් ඉදිරිපත් කළ යුතුයි.

මෙහිදී කරුණු කිහිපයක් පිළිබඳ අවධානය යොමු කළ යුතුයි.

* ගැනුම්කරුගේ අවශ්‍යතාව හඳුනාගත යුතුයි.

*තරගකරුවන් පිළිබඳ අවබෝධයෙන් සිටිය යුතුයි. එහෙත් ඔවුන් සමඟ අනවශ්‍ය තරගයක් ඇති නොකර ගත යුතුයි.

* සෑමවිටම ඔබ, ඔබ වීමට උත්සාහ ගත යුතුයි. ඒ කියන්නේ ඔබ වෙළෙඳපොළට ඉදිරිපත් කරන දේ වෙන කෙනකුගේ දෙයක් නොවෙයි. ඔබේම දෙයක් විය යුතුයි

* තමන් ඉදිරිපත් කරන භාණ්ඩයේ හෝ සේවාවෙහි තමන්ටම ආවේණික දක්ෂතාවක් තිබිය යුතුයි.

* හොඳ ව්‍යවසායකයකුට හොඳ හික්මවීමක් තිබිය යුතුයි.

* ව්‍යවසායකයා වෙළෙඳ පොළට ඉදිරිපත් කරන දේ පිළිබඳ ඔහුටම විශ්වාසයක් තිබිය යුතුයි.

*අභියෝගවලට නොබියව මුහුණ දිය යුතුයි.

* ඉදිරිපත් කරන භාණ්ඩ හෝ සේවය ඉදිරිපත් කරන පිරිස පිළිබඳ අවබෝධය

* ඉදිරිපත් කරන භාණ්ඩයේ හෝ සේවයේ ආකර්ෂණීය බව

ඉතින් දුවේ පුතේ, ඔබට තවත් වැදගත්ම කරුණක් කියන්න කැමැතියි. ඔබ අනාගතයේ ව්‍යවසායකයකු වුවහොත් සෑම විටම වාතාවරණය තේරුම් ගත යුතුයි. ඒ වගේම වාතාවරණයට අභියෝග කරන්න ඔබට හැකි විය යුතුයි. උදාහරණයක් ලෙස විශාල කුණාටුවකදී අනෙකුත් කුරුල්ලන් කූඩුවල සැඟවුණත්, රාජාලියා වලාකුළට ඉහළින් පියාඹනවා. ඒක තමයි වැදගත් වෙන්නේ. ඒ නිසා දුවේ පුතේ, වෙළෙඳපොළේ සෑමවිටම ඔබ රාජාලියකු වීමට උත්සාහ කරන්න.

ඉතින් දුවේ පුතේ, හොඳ අවබෝධයෙන් අධ්‍යාපනය ලැබුවොත් ඔබටත් අනාගතයේදී හොඳ ව්‍යවසායකයකු වීමට හැකියාව ලැබේවි.

රූපාන්ති බුලත්සිංහල

 


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department